පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන හැටි විපක්ෂ නායක පැහැදිලි කරයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා ආණ්ඩුවෙන් ඇසූ ප්‍රශ්නයට අදටත් පිළිතුරක් නොමැති නිසාත් රජයෙන් ඊට නිසි සාධාරණයක් ඉටු නොවීම නිසාත් එළඹෙන ජනාධිපතිවරණයේ දී තමා ජනාධිපතිවරයා ලෙස ජනතාව විසින් තෝරා පත් කර ගත…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා ආණ්ඩුවෙන් ඇසූ ප්‍රශ්නයට අදටත් පිළිතුරක් නොමැති නිසාත් රජයෙන් ඊට නිසි සාධාරණයක් ඉටු නොවීම නිසාත් එළඹෙන ජනාධිපතිවරණයේ දී තමා ජනාධිපතිවරයා ලෙස ජනතාව විසින් තෝරා පත් කර ගත හොත් පාස්කු ප්‍රහාරය සිදු කළ පුද්ගලයන් සොයා ගැනීමට තමා විසින් අනුගමනය කරනා ක්‍රමවේදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැහැදිලි කර සිටියේය.
ඒ අනුව තමා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු මාස 2ක් ඇතුළත් 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ දේශීය සහ විදේශීය සාමාජිකයන් 7-9ත් අතර ප්‍රමාණයකින් සමන්විත කොමිෂන් සභාවක් පත් කරන බවත් ඒ ඔස්සේ අතීත සහ වර්තමාන සමයට අයත් සමස්ත ආරක්ෂක වැඩ පිළිවෙළ අධ්‍යයනය කිරිම මගින් ඊට සීමා නොවූ වගකීමක් ඉටු කරමින් ඕනෑම ආයතනයක ඕනෑම පුද්ගලයකුගෙන් කිසිදු තහංචියකින් තොරව ප්‍රකාශ ලබා ගැනීමේ බලය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
එසේම කොමිෂන් සභාව ස්ථාපිත කර සති හයක් ඇතුළත ඒ හා සමානව එක්ව කටයුතු කිරිමට ස්කොට්ලන්ඩ්යාර්ඩ් සහ එෆ්.බී.අයි ඇතුළු විදේශ ඔත්තු සහ ආරක්ෂක සේවා සේම දේශීය බුද්ධි අංශ සහ ආරක්ෂක අංශවලින් සමන්විත ස්ථිර විමර්ශන කාර්යාලයක් පිහිටු වන බවත් කොමිෂන් සභාවේ නිර්දේශ සහ නියෝගවලට සේම ශ්‍රී ලංකාවේ නීතිවලට යටත්ව නීතිපතිවරයා විසින් අධි චෝදනා ඉදිරිපත් කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්ය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
තවද ඒ සඳහා අවශ්‍ය වන ආකාරයට 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 7 (2) හෝ 24 වැනි වගන්ති සංශෝධනය කරන බවත් ඉහත කී වැරදි සම්බන්ධයෙන් අධි චෝදනා ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් තීන්දු ලබා දීමට ස්ථිර මහාධිකරණයක් පිහිටු වන බවත් ඒ සදහා 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 12 වැනි වගන්තිය සංශෝධනය කිරිමට පියවර ගන්නා බවත් නීතිපතිවරයාගෙන් ස්වාධීන වූ රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට නීති සම්පාදනය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් කියා සිටියේය.