අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හෙළි නොකිරීම බලවත් සැකයක්..!

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හෙළි නොකිරීම බලවත් සැකයක්..!

අපට තියෙන්නේ පාස්කු ප්‍රහාරකයන් හොයන්න බැරි බුද්ධි අංශයක් දැයි ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික අරුණ ශාන්ත නෝනිස් මහතා ප්‍රශ්ණ කර සිටියි. ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික අරුණ ශාන්ත…

අපට තියෙන්නේ පාස්කු ප්‍රහාරකයන් හොයන්න බැරි බුද්ධි අංශයක් දැයි ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික අරුණ ශාන්ත නෝනිස්  මහතා ප්‍රශ්ණ කර සිටියි.

ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික අරුණ ශාන්ත නෝනිස්  මහතා මේ බව කියා සිටියේ සිකුරාදා(20) බත්තරමුල්ල, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී වන අතර එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

මාස 28ක් ගතවී තිබෙන බෝම්බ ප්‍රහාරයෙන් තාමත් දුකින් සහ පීඩනයෙන් ජීවත් වෙන සියලු දෙනාටත් මිය ගිය සියලු දෙනාටත් තුවාල ලැබූ සියලු දෙනාටත් අපගේ බලවත් ශෝකය පළකරනවා. ඒ වගේම යම් ගැටුම් නිසා මියගිය හමුදාවේ සහ පොලීසියේ අය සම්බන්ධයෙන් අපගේ ශෝකය පළ කරනවා. 

දැන්වීම

මේ රටේ බෝම්බ ප්‍රහාරයන් පිළිබඳව ඔබටත් මටත් විශාල අත්දැකීම් ප්‍රමාණයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වසර ගණනාවක තොරතුරු අපි ළඟ තිබෙනවා. මේ අතර බෝම්බ පිපිරවීම් සහ පුපුරවා ගැනීම් වශයෙන් දෙකක් තිබෙනවා. මේ හැම බෝම්බ පුපුරවා ගැනීමකටම වඩා හිතාගන්න බැරි වෙනස්කමක් පාස්කු ප්‍රහාරය තුළ තිබෙනවා.

එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් පිපිරවූ බෝම්බවලින් පසුව එහි වගකීම ඔවුන් බාරගත්තා. බෝම්බ පුපුරවා ගැණීමට කලින් ලබාගත් ඡායාරූප පළ කර තිබෙන ආකාරයත් අපි දැක්කා. මේ බෝම්බ ප්‍රහාරවලට මොකක් හරි හේතුවක් තිබෙනවා. නමුත් පාස්කු බෝම්බ ප්‍රහාරයේ හේතුව කියාගන්න බැරි බවක් තිබෙනවා.

මේ පිළිබඳව දැඩි ව්‍යාකූල බවක් තිබෙන්නේ. මේ නිසා විමර්ශන ක්‍රියාවලිය වඩාත් පුළුල් ලෙස සිදුකළ යුතුයි. නමුත් එදා සිටි ආණ්ඩුවත් ප්‍රහාරයෙන් වාසි ගෙන බලයට පත් වර්තමාන ආණ්ඩුවත් අනුගමනය කරන ක්‍රියාවලිය අපිට පැහැදිලි නැහැ.

මේ දක්වා ලබාදී තිබෙන වාර්තා කතෝලික සභාව විසින් ප්‍රතික්‍ෂේප කරනවා. ඇතුළත් විය යුතු සමහර කරුණු නැති බව දක්වනවා. මේ නිසා ලොකු සැකයක් පවතින්නේ. සැකය දුරු කිරීමේ වගකීමක් ආණ්ඩුවට තිබෙනවා. මේ වගකීම නිසි පරිදි ඉටු නොකරන්න හේතුව මොකක්ද කියලා ජාතික ජන බලවේගය හැටියට අපි ප්‍රශ්න කරනවා. 

මේ මොහොත වනවිට බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ජනතාවගේ පවුල්වල ජීවත්වන අයට බලවත් සැකයක් තිබෙනවා, මේ පිටුපස ඉන්නේ කවුද කියන එක. පාස්කු කොමිෂන් වාර්තාව නිසා තමන් පීඩාවට පත්ව ඇති බව පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර තිබුණා. පහළ මිනිස්සුන්ගේ  පිට වගකීම පටවනවාට වඩා ඉහළ ඉන්න අය හඳුනා ගැනීම වැදගත්.

ඕනෑම ත්‍රස්ත කල්ලියකට පුළුවන් කාගේ හරි නියෝගයක් පිළිපදින්න. එහෙත් ඔවුන්ව මෙහෙය වූයේ කවුද කියන එකයි ප්‍රශ්නය. ජනතාව වෙනුවෙන් මේ රටේ පාලකයන්ගෙන් මම අහනවා, අපේ බුද්ධි අංශවලට හොයාගන්න බැරි පිරිස කවුද කියලා.

පාස්කු ප්‍රහාරකයන් සොයන්න බැරි බුද්ධි අංශයක්ද අපට තිබෙන්නේ? මෙතන සඟවන තොරතුරු ගණනාවක් තිබෙනවා. මේ නිසාම ජනතාව තුළ සැකය වර්ධනය වෙමින් තිබෙනවා.

සැකය දුරු කිරීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට. ඒ වගකීම නොදරන නිසා සෑම මාසයකම 21වැනිදා පවත්වන විරෝධතා ව්‍යාපාරවලට අපි සහයෝගය දක්වනවා.

ඒ, ආණ්ඩුවට විරෝධය දැක්වීමකට වඩා ජනතාවගේ අයිතිය වෙනුවෙන් කටයුතු කිරීමක්. ආණ්ඩුවේ අවධානය සැකයක් තිබෙන තැන්වලට යොමුකර නියම චූදිතයන් නීතිය හමුවට ගෙන එන ලෙස මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් අපි බලකර සිටිනවා. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හෙළි නොකිරීම බලවත් සැකයක්..! | Lanka Newsweek