අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාස්කු ප්‍රහාරයේ තීන්දුව දෙයි-මෛත්‍රී කපෝතියි

පාස්කු ප්‍රහාරයේ තීන්දුව දෙයි-මෛත්‍රී කපෝතියි

තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය වළක්වා ගෙන නැහැ මෛත්‍රීට මිලියන 100ක වන්දියක් ගෙවන්න වෙයි පූජිත්ට මිලියන 75ක්-නිලන්තට මිලියන 75ක් හේමසිරිට මිලියන 50ක් සිසිරට මිලියන 10ක් වන්දි වශයෙන් ගෙවන්න වෙයි 2019…

තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය වළක්වා ගෙන නැහැ  

මෛත්‍රීට මිලියන 100ක වන්දියක් ගෙවන්න වෙයි 

පූජිත්ට මිලියන 75ක්-නිලන්තට මිලියන 75ක් හේමසිරිට මිලියන 50ක් සිසිරට මිලියන 10ක් වන්දි වශයෙන් ගෙවන්න වෙයි  

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 බැගින් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් රුපියල් මිලියන 10ක් ද සිය පුද්ගලික මුදල්වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බව නියම කර තිබේ.

ඊට අමතරව රජයේ විසින් මිලියනයක් වන්දි වශයෙන් ගෙවිය යුතු බවත් නඩු තීන්දුවේ සඳහන් වුණි. ඊට අමතරව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළේය.

දැන්වීම

අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් 12ක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය එම නියෝගය ලබා දුන්නේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී නවාස්, ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

බෝම්බ ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා මිය ගිය පියකු වන නන්දන සිරිමාන්න, සංචාරක ව්‍යපාරිකයකු වන ජනත් විදානගේ, සරත් ඉද්දමල්ගොඩ ඇතුළු කතෝලික පියතුමන්ලා තිදෙනෙකු, ෂැංග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතීඥ මෝදිත ඒකනායක ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් ගොනුකර තිබුණි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පාස්කු ප්‍රහාරයේ තීන්දුව දෙයි-මෛත්‍රී කපෝතියි | Lanka Newsweek