පාලකයින් මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ

වත්මන් පාලකයින් මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකරන බව ගෑස් ආශ්‍රිතව රටේ උද්ගත වී ඇති දැඩි අනතුරුදායක සහ අර්බුදකාරී තත්ත්වයෙන් මනාව පැහැදිලි වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක…
වත්මන් පාලකයින් මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකරන බව ගෑස් ආශ්‍රිතව රටේ උද්ගත වී ඇති දැඩි අනතුරුදායක සහ අර්බුදකාරී තත්ත්වයෙන් මනාව පැහැදිලි වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කර සිටින අතර මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වන ඒ මහතා මෙසේ ද කියා සිටියි.
"ගෑස් ආශ්‍රිතව අපේ රටේ ඇතිවී තිබෙන ගැටලු කිසිවක් ස්වභාවිකව ඇතිවූ තත්ත්වයන් නෙවෙයි. මේ සියල්ල පාලකයන් විසින් නිර්මාණය කරන ලද ගැටලු. ගෑස්වල සංයුතිය වෙනස් කිරීම, සිලින්ඩරයේ බර අඩු කිරීම සහ මිල වෙනස් කිරීම යන ප්‍රෝඩාවන්ට ආණ්ඩුව ඉඩ දුන්නා. සහල් මිල වැඩි වීමේදී, සහල් මාෆියාව කියලා කෑ ගහනවා. නමුත් ආණ්ඩුව සතුව තිබෙන ප්‍රධානම ගෑස් සමාගම කරන ලද ප්‍රෝඩාවන් සියල්ල ආණ්ඩුවේ අනුදැනුම සහ මෙහෙයවීම මත සිදුවූ සිද්ධීන් බව කිව යුතුයි.
මේ නිසා ගිනි ගැනීම් සහ පිපිරී යෑම් දක්වා ප්‍රශ්නය වර්ධනයවී තිබෙනවා. මේ ප්‍රශ්නයට ආණ්ඩුව ගෙන තිබෙන ක්‍රියාමාර්ග කිසිවක් විධිමත් හෝ විද්‍යාත්මක නැහැ. ගෑස්වල රසායනික අනුපාතයන් වෙනස් කිරීමෙන් පුරවැසියන් අමාරුවේ දැමීම සිදු කර තිබෙනවා. විවිධ අය විවිධ හේතු ඉදිරිපත් කරමින් කල් මරණවා. ආණ්ඩුවේ වගකීම ජනතාවට නිසි පිළිතුරක් ලබාදීමයි. ජනතාව මෙතරම් අනතුරකට පත්වී තිබියදී පාලකයන් කිසිදු සැලිල්ලක් නැතිව ඉන්නවා. මෙම සිදු වීමෙන් පවා පෙන්නුම් කරන්නේ මේ රටේ පුරවැසියන්ගේ ජීවිත සහ ආරක්‍ෂාව පිළිබඳව අබමල් රේණුවක තරම්වත් හැඟීමක් පාලකයන්ට නොමැති බවයි. මේ තත්ත්වය ඇති වුණේ කෙසේද කියලා නිසි පරීක්‍ෂණ පවත්වා පිළියම් යොදන ලෙස අපි බල කර සිටිනවා."