පාලකයින්ට ජනතාව ගැන කිසිම කැක්කුමක් නැහැ

මිනිස්සුන්ට කන්න නැහැ-සාක්කු හිස් හැබැයි විශාල මුදලක් වියදම් කරලා නත්තල සමරන්න හදනවා කොළඹ අගරදගුරු චෝදනා කරයි වත්මන් පාලකයින්ට රට-ජනතාව ගැන කිසිම කැක්කුමක් නොමැති අතර ඒ හේතුවෙන් ජනතාව අන්ත අසරණ වී රට…
මිනිස්සුන්ට කන්න නැහැ-සාක්කු හිස්
හැබැයි විශාල මුදලක් වියදම් කරලා නත්තල සමරන්න හදනවා
කොළඹ අගරදගුරු චෝදනා කරයි
වත්මන් පාලකයින්ට රට-ජනතාව ගැන කිසිම කැක්කුමක් නොමැති අතර ඒ හේතුවෙන් ජනතාව අන්ත අසරණ වී රට අරාජික වී ඇතැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ චෝදනා කර සිටිති.
මේ වන විට අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින පුරවැසියන්ට සහන සැලසීම වෙනුවට ඒ ඒ විෂය භාර අමාත්‍යවරුන් ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවන් නත්තල සැමරීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සූදානම් වන බවට ද චෝදනා කර සිටින කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මෙසේ ද කියා සිටිති.
"නත්තල් ළඟ ළඟ එනවා. නත්තල් උත්සවය සමරන්න කොළඹ නගරය විදුලි බුබුළුවලින් සරසන්න සංචාරක ව්‍යාපාරය භාර ඇමැතිවරු ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සැලසුම් කරනවා. කාරණය කුමක්ද..? මිනිස්සුන්ගේ සාක්කු හිස්. ශ්‍රී ලංකාව ලෝකයේ හැම රටකින්ම හිඟා කන රටක් බවට පත් වෙලා. ව්‍යාජ සංදර්ශනවලින් පසු ඉතිරි වන්නේ හිස් සාක්කු විතරයි.
මේ වන විට මුදල් අච්චු ගහලා බෙදා හරිනවා. රටකට මේ ආකාරයෙන් ඉදිරියට යන්න බැහැ. නායකයින්ට දුප්පත් ජනතාව ගැන සැබෑ සැලකිල්ලක් නැහැ. ජනතාව ගැන කැක්කුමක් තිබෙනවා නම් ඔවුන් පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කරන්නේ නැහැ. ඒ වෙනුවට ජනතාව වෙත ගොස් ඔවුන්ගේ දුක් වේදනා ගැන සොයා බලනවා. කෙසේ වෙතත්, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ රාජකාරිය පසෙකලා පාර්ලිමේන්තුවේදී එකිනෙකාට චෝදනා කර ගන්නවා."