අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

පාලකයින්ගේ පළමු වගකීම ජන ජීවිතය යථා වත් කිරීමයි

පාලකයින්ගේ පළමු වගකීම ජන ජීවිතය යථා වත් කිරීමයි

සාධාරණ සමාජයේ පොදු වැඩ පිළිවෙළ ජනපති සහ විපක්ෂය පිළි ගැනීම රටේ වාසනාවක් වෘත්තීය සමිති නායකයින්ට විශාල කාර්ය භාරයක් පැවරෙනවා පාලකයින්ගේ පළමු වන කාර්යභාරය, වගකීම සහ යුතුකම වන්නේ ජන ජීවිතය යථා තත්ත්වයට…

සාධාරණ සමාජයේ පොදු වැඩ පිළිවෙළ ජනපති සහ විපක්ෂය පිළි ගැනීම රටේ වාසනාවක් 

වෘත්තීය සමිති නායකයින්ට විශාල කාර්ය භාරයක් පැවරෙනවා 

පාලකයින්ගේ පළමු වන කාර්යභාරය, වගකීම සහ යුතුකම වන්නේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

රට යළි ගොඩනගා ජනතාව සවි බල ගැන්වීමේ දී වෘත්තීය සමිති නායකයින්ට විශාල කාර්ය භාරයක් සහ වගකීමක් පැවරෙන බව ද කරු ජයසූරිය මහතා පෙන්වා දෙයි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා මේ බව කියා සිටියේ වෘත්තීය සමිති නායකයින් සමග සඳුදා (15) ගාල්ලේ දී පැවැත් වූ විශේෂ සාකච්ඡාවක දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය. 

දැන්වීම

අප ඉතිහාසයේ දරුණුතම අභාග්‍ය සම්පන්න කාලයකට මුහුණ දී ඇති අවස්ථාවක මව්බිම රැක ගැනීමේ ක්‍රියාදාමයේ දී සෑම පුරවැසියෙකුටම විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. මෙහිදී වෘතීය සමිති ව්‍යාපාරය නියෝජනය කරන ඔබතුමන්ලාට අන් අයට වඩා වගකීමක් ඇති බව අපගේ හැඟීමයි. ඔබ නියෝජනය කරන්නේ මිලියන ගණනක් වැඩ කරන ජනතාවයි. රටේ පරිපාලනය, නිෂ්පාදනය සහ එදිනෙදා ජීවිතයට බලපාන සෑම ක්‍රියාදාමයක් ම මෙහෙය වන්නේ ඔබලාගේ සාමාජිකයින් විසිනුයි. අද දින පැවැත්වෙන මෙම සාකච්ඡාවට වෘත්තීය සමිති නායකයින්ට අප ආරාධනය කළේ ඔබගේ වටිනාකම සහ ශක්තිය අප වටහා ගෙන ඇති නිසයි. 

පාලකයින්ගේ පළමු වන කාර්යභාරය වන්නේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමයි. පැය 24 ක විදුලිය සැපයුම, කිරිපිටි, ගෑස් සහ ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලකට ලබා දීම ඉක්මනින් සිදු විය යුතුයි. එවිට කර්මාන්ත, අපනයනය සහ සංචාරක ව්‍යාපාරය ශීඝ්‍ර වශයෙන් දියුණු වනු නියතයි. ගමනාගමනය ද යථා තත්ත්වයට පත් වේවි. 

පසුගිය අවුරුදු දෙකක පමණ කාලයක් අධ්‍යාපනයට බාධා ඇති වූ නිසා එම ක්ෂේත්‍රය ද වහා යථාවත් කිරීමට කටයුතු කළ යුතුයි. අපගේ වටිනාම සම්පත සහ ආයෝජනය විය යුත්තේ අධ්‍යාපනයයි. සම්පූර්ණයෙන් විනාශ වූ කෘෂිකර්මය නැවත පුනර්ජීවනය කළ යුතුයි. මෙහිදී පසුගිය පාලනය වැරදි තීරණ ගත්තා.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම ඔස්සේ පාර්ලිමේන්තුව ශක්තිමත් වනු නියතයි. සර්වබලධාරී එක් පුද්ගලයකු විසින් මිලියන 22ක ජනතාවකගේ ඉරණම විසඳීම වෙනුවට මහජන නියෝජිතයන්ට රාජ්‍ය කරණයේ දී වගකීම පැවරේවී. පක්ෂ විපක්ෂ නියෝජනය කරන පසු පෙළ මන්ත්‍රීවරු බොහෝ දෙනකු අධීක්ෂණ කමිටු ක්‍රමය ගැන දැඩි උනන්දුවක් දක්වා තිබෙනවා. ලෝකයේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල සාර්ථකව පවත්වන අධීක්ෂණ කාරක සභා යළි ස්ථාපිත කිරීම මගින් මෙම මන්ත්‍රීවරුන්ට වගකීම් ඇතිව ජනතා සේවයට සහභාගිවීමට හැකි වනවා. 

ගරු ජනාධිපතිතුමාගේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මුල්වීමෙන් රටේ ප්‍රවීණ විද්වතුන්ගේ අදහස් සහ අපගේ අත්දැකීම් ද උපයෝගී කර ගනිමින් ඉදිරිපත් කළ යෝජනාව දැනටමත් රජය විසින් පිළි ගෙන තිබීම අපි අගය කරනවා. 

2022 සැප්තැම්බර් පළමු වැනිදා සිට අධීක්ෂණ කාරක සභා පාර්ලිමේන්තුවේදී ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ගරු කථානායකතුමන්, සභානායකතුමන් සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් අපව දැනුවත් කර තිබෙනවා. උපදේශක සභාව ද එදින සිට ඇරඹෙනු නියතයි.

අප විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ආර්ථික විද්වතුන් 25 ක් පුද්ගලික අංශයේ දැවැන්තයන් 25ක් සමඟ මහාචාර්ය රොහාන් සමරජීව මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කළ නිර්දේශ රජයටත්, විපක්ෂයටත් අප විසින් යොමු කර තිබෙනවා.
පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ දී විපක්ෂ මන්ත්‍රී  හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ පසුගියදා ජනාධිපතිවරණයට තරඟ කළ ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් තරඟ කළ කණ්ඩායම සිය ආර්ථික ප්‍රතිපත්ති සකස් කළේ අප ඉදිරිපත් කළ අවම පොදු වැඩ පිළිවෙළ අනුව බවයි.

ජාතික වැදගත්කමින් යුත් සෑම ක්‍රියාදාමයක් ගැන අප ව්‍යාපාරය ලොව පුරා විසිරී ඇති බුද්ධිමතුන්ගේ ද අදහස් විමසා Zoom සාකච්ඡා 98 ක් පමණ පවත්වා අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍යය, ව්‍යවස්ථාව, මැතිවරණ ක්‍රමය ආදී විවිධ ක්ෂේත්‍රයන් වෙනුවෙන් වටිනා ප්‍රකාශන නිකුත් කර තිබෙනවා. 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත විශාල බලතල පැවරුණත් එතුමා අසාර්ථක වූයේ විද්වත් මතයට ගරු නොකළ නිසයි. රජයට උපදෙස් දීමට ඒ ක්ෂේත්‍රවල අත්දැකීම් ඇති අය සහ විද්වතුන් 2500ක් පමණ අප හඳුනා ගෙන තිබෙනවා. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ලෙස දේශපාලනයට සම්බන්ධ නොවූ ස්වාධීන ආයතනයක් වශයෙන් අප වෘත්තීය සමිති නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ජාතිය ගොඩනැගීමේ කාර්යයේ දී ඔබගේ කාර්යභාරය ඉටු කරන ලෙසයි. එවිට සතුටින් ජීවත් විය හැකි යහපත් වාසනාවන්ත රටක් බිහි වනු නියතයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න