පාලකයන්ගේ කුමන්ත්‍රණ ජනතාව හඳුනා ගන්න ඕනේ..!

මේ වන විට පාස්කු ප්‍රහාරය සිදු වී මාස 28ක් ගත වී ඇති බවත් ආණ්ඩුව අදාළ වගකිවයුත්තන් හඳුනා නොගැනීම විශාල ප්‍රශ්නයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා චෝදනා කර සිටියි. ජනතා…
මේ වන විට පාස්කු ප්‍රහාරය සිදු වී මාස 28ක් ගත වී ඇති බවත් ආණ්ඩුව අදාළ වගකිවයුත්තන් හඳුනා නොගැනීම විශාල ප්‍රශ්නයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා චෝදනා කර සිටියි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව කියා සිටියේ සිකුරාදා(20) බත්තරමුල්ල, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී වන අතර එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
මේ ප්‍රහාරයෙන් ජනතාව විශාල කම්පනයකට පත්වී තිබුණු මොහොතක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සංවිධාන බලයටත් එන්න පාවිච්චි කළා. ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වන බව කීවේ මේ කම්පනය තිබියෙදීයි. මේ පිළිබඳව පරීක්‍ෂණ කරන බවට පොරොන්දු දී මේ ප්‍රහාරයෙන් භීතියට පත් ජනතාවගේ ඡන්දය ගත්තා.
දැන්වීම
ඒ නිසා මේ ආණ්ඩුවට ප්‍රහාරයෙන් මියගිය, වේදනාවට පත්වුණු, තුවාල ලබපු සියලු දෙනාට සාධාරණය ඉටුකිරීමේ වගකීමක් තිබෙනවා. නමුත් මේ වනවිට ඉතිහාසයේ වැලි තලාවෙන් වැසී යන්න ක්‍රමානුකූලව ඉඩහැර තිබෙනවා.
මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පත්කළ කොමිෂන් සභාව දුර්වල නම් අලුත් එකක් පත්කර තොරතුරු හොයන්න ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට තිබුණා. නමුත් එය එහෙම වෙලා නැහැ.
ප්‍රහාරය සිදුවෙනකොට සිටි ජනාධිපතිවරයා දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ. ඔවුන්ගේ වගකීම් පැහැර හැරීමෙන් ප්‍රහාරය සිදුවුණු බව ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු කණ්ඩායම ප්‍රකාශ කළා. ඒ නිසා ඔවුන්ව පරද්දලා තමන්ව බලයට පත්කර වගකිව යුතු සියලු දෙනාට දඬුවම් ලබාදෙන අවස්ථාව ඉල්ලා සිටියා.
නමුත් දැන් වගකිව යුතු බව ඒ අයම කියපු ප්‍රධානියාව තමන් ළඟ තියාගෙන ඇත්ත වගකිව යුත්තන් සඟවනවාද කියන සැකය කාටත් ඇතිවී තිබෙනවා. හරියට පරීක්‍ෂණ පවත්වන්නේ නැත්තේ මේ කෙළවරේ සිටින අය සහ ආණ්ඩුව අතර සම්බන්ධයක් තිබෙනවාද කියන සැකය ජනතාවට තිබෙනවා.
එහෙම නැත්නම් මේ ආණ්ඩුව බලයට පත්වීම අරමුණු කරගෙන සිදුකළ කුමන්ත්‍රණයක්ද කියන සැකය ජනතාවට තිබෙනවා. කුමන්ත්‍රණකරුවන් කවුද කියලා අපෙන් අහන්න එපා. ආණ්ඩුවට තිබෙන බුද්ධි අංශ යොදවා එය හොයා ගැනීමේ වගකීම ඔවුන්ට තිබෙනවා.
නමුත් ඇල් මැරුණු ප්‍රතිපත්ති නිසා මේ සැකය වර්ධනය වෙනවා. බලයේ ඉන්න ආණ්ඩුවේ වැඩක්නම් මේ ආකාරයෙන් ක්‍රියා කරන බව සාමාන්‍ය ජනතාව දන්නවා. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහත්තයා ඝාතනය කිරීම වගේ උදාහරණ ගණනාවක් තිබෙනවා. පාස්කු ප්‍රහාරයත් ඒ ගොඩට වැටී තිබෙනවා. හරියටම පරීක්‍ෂණවල ප්‍රතිඵල රටට හෙළි නොකිරීමෙන් සැකයේ හස්තය ආණ්ඩුවට එල්ලවීම වළක්වන්න බැහැ.
කලින් සිටි ආණ්ඩුව ප්‍රහාරය වළක්වන්න අසමත්වීමේ වගකීම බාර ගන්න ඕනෑ. ඒ වගේම ප්‍රහාරය පිළිබඳව නිසි පරීක්‍ෂණ නොකිරීමේ වගකීම මේ ආණ්ඩුව බාරගන්න ඕනැ. මේක සෙල්ලමක් නෙවෙයි. මිනිස් ජීවිත 300ක් පමණ අහිමිවීම, මානසිය භීතියක් ඇතිවීම වගේම වර්තමාන ආණ්ඩුව මේ සිද්ධිය දේශපාලනයට යොදා ගැනීම සිදුකර තිබෙනවා.
ආණ්ඩුව වටේ ඉන්න අන්තවාදී කණ්ඩායම් ඒ දිනවල යොදාගත්තා. මේ නිසයි දඩයම කරේ තියාගෙන යන කෙනා දැක්කාම තුවක්කුව බැඳපු කෙනා හඳුනාගන්න පුළුවන් කියලා කතාවක් ඇතිවුණේ. දැන් වෙලා තියෙන්නේ ආණ්ඩුව මේ සැකය තව තවත් තහවුරු කිරීමයි. මේ ප්‍රශ්නය මගහැර යන්න ආණ්ඩුවට කිසිම හැකියාවක් නැහැ.
කාදිනල්තුමා ජනාධිපතිවරයාට යැවූ ලිපියට ලැබුණු පිළිතුර පවා පිළිගන්න බැහැ කියලා ප්‍රකාශ කර තිබුණා. ආණ්ඩුවට එරෙහිව සැකයක් මතුවීම රටක් ලෙස බරපතළ ඛේදවාචකයක්.
අපේ රටේ හැම ආණ්ඩුවක්ම බලය වෙනුවෙන් මිනිස් ජීවිත සමග සෙල්ලම් කළ බව අපි දන්නවා. ධනපති පාලකයින්ට බලය හමුවේ මිනිස් ජීවිත පිළිබඳව කිසිම වටිනාකමක් නැති බව අපි දන්නවා.
මිනිස්සුන් කොපමණ හෝ මරලා බලය ගන්නත් ගත් බලය රැකගන්න ඒ ලෙසම ක්‍රියා කිරීමත් අපි දන්නවා. කොවිඩ් වසංගත තත්වය පවා නොතකා ඔවුන් සුරංගනා ලෝකවල ඉන්නෙ මිනිස් ජීවිතවල වටිනාකමක් නැති නිසා.
ධනපති පාලකයින්ට බලය තරම් මිනිස් ජීවිත වටින්නේ නැහැ. බලය සහ වරප්‍රසාද වෙනුවෙන් ඒ ගොල්ලන්ට ඕනෑම කුමන්ත්‍රණයක් කරන්න පුළුවන් බව ඉතිහාසය ඔප්පු කර තිබෙනවා.
මේ සැකය යොමුවීමට ආණ්ඩුව අකමැති නම් කළ යුත්තේ ඇත්ත වගකිවයුත්තා හේතු සහිතව ඉදිරිපත් කර ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමයි. නමුත් දැන් සිදුවී තිබෙන්නේ කල් මැරීම විතරයි.
නීතිපතිවරයා පහුගිය දවස්වල සඳහන් කර තිබුණේ නඩු පවරන්න තරම්වත් සාක්‍ෂි ඉදිරිපත් වී නැති බවයි. අවසානයේ වෙන්න පුළුවන් මිනිස් ඝාතන සිදුකළත් ඝාතකයෙක් නැති වීමයි. ඒ නිසා අපි ජනතාවට කියන්නේ මේ තුළින් පාඩම් ඉගෙනගන්න කියලා. තමන්ගේ බලය වෙනුවෙන් හෙට වුණත් මේ වගේ කටයුතු කරන්න පුළුවන්.
එය පරද්දන්න ඕනෑ. ඒ පරද්දන්න පුළුවන් මේ රටේ ජනතාවටයි. ඒ වෙනුවෙන් ජනතාව තුළ ජාතික සමගියත් ආගමික සමගියත් තියෙන්න ඕනෑ. ඒ වගේම පාලකයින්ගේ කුමන්ත්‍රණ හඳුනාගැනීමේ හැකියාවත් ජනතාවට තියෙන්න ඕනෑ. ජනතාව රවටමින්, පීඩාවට පත්කරමින් ජනතාවගේ ලේ සහ ජීවිත මතින් බලයට පත් වෙලා බලය පවත්වාගෙන යාමට කරන උත්සාහයන් අපි තේරුම් ගමු.
මේ මැරුණේ රටේ පුරවැසියෝ. ශ්‍රී ලාංකික පුරවැසියන් රැසක් මරා දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුව මුනිවත රකිනවා නම් එය ඉතාමත් බරපතළයි. ඒකට කිසිම සමාවක් දෙන්න පුළුවන්කමක් නැහැ.
ඒ නිසා අපි ආණ්ඩුවට බල කරන්නේ ඉතා ඉක්මනින් නිසි පරීක්‍ෂණයක් කර වගකිවයුත්තන් හෙළි නොකරන්නේ නම් ආණ්ඩුව මේ වගකීම බාර ගන්න ලැහැස්ති වෙන්න ඕනෑ කියලා. ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් බල කරන්න දැනට සැලසුම් කර ඇති ක්‍රියාමාර්ගවලට ජාතික ජන බලවේගය සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා.