අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“පාක්ෂිකයින්ට සලකන අලුත් එජාපයක් බිහි කළ යුතුයි”

“පාක්ෂිකයින්ට සලකන අලුත් එජාපයක් බිහි කළ යුතුයි”

“එජාපය අතීතයට එක්වීම වළකනු බැහැ” (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පාක්ෂිකයින්ට සලකන නායකයින්ගෙන් යුතු අලුත් එක්සත් ජාතික පක්ෂයක් බිහි කළ යුතු කාලය එළැඹ ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ…

“එජාපය අතීතයට එක්වීම වළකනු බැහැ”

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පාක්ෂිකයින්ට සලකන නායකයින්ගෙන් යුතු අලුත් එක්සත් ජාතික පක්ෂයක් බිහි කළ යුතු කාලය එළැඹ ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ පීඨයේ මහාචාර්ය කෙනඩි ඩී ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි.

මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන තත්ත්වය,එම පක්ෂයට අත් වී තිබෙන ඉරණම සහ පක්ෂයේ අනාගත දිසානතිය සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් “lankanewsweek” වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.

මහාචාර්ය කෙනඩි ඩී ගුණවර්ධන මහතා “lankanewsweek” වෙත ලබා දුන් එම ප්‍රකාශය සම්පුර්ණයෙන් මෙසේය.

ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික ප‍්‍රජාව බොහෝ විට දේශපාලනය පිළිබඳ වැඩි ඇල්මක් නොදක්වන බව අගවා පක්ෂ විපක්ෂ සියල්ලන් සමග දැඩි සම්බන්ධතාවයක් දක්වති. විශ්ව විද්‍යාල ප‍්‍රජාව, එනම් මහාචාර්ය අචාර්යවරුන් විශේෂ ඇල්මක් දේශපාලනය කෙරෙහි දැක්වීම අනවශ්‍ය කාර්යයක් බව බොහෝ දෙනාගේ අදහසක් වුවද රටේ පවත්නා පසුබිම උපේක්ෂාවෙන් විග‍්‍රහ කිරීම අපගේ කාර්යයක් බවත් ඊට ඇහුම්කන් දීම හෝ ප‍්‍රතික්ෂේප කිරීම අන් අයගේ කාරියයක් බවත් ප‍්‍රථමයෙන් මතක් කළ යුතුව ඇත.

පසුගිය වකවානුවේදී  අප නොදැකපු ව්‍යුහාත්මක සංවර්ධනයක්  අප රටේ අද දක්නට ඇත. නිදහස සහ නිදහස් මතධාරීන්ට සිය  අදහස් ප‍්‍රකාශ කිරීමට තිබෙන  අයිතිය සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇත.  තවද තොරතුරු දැන ගැනීමේ පනත හේතුවෙන් රට පිළිබඳ ඇල්මක් පොදු ජනයා අතර  වර්ධනය වී ඇත. බැඳුම්කර වාර්තාව පිළිබඳ සෑම කරුණක්ම විවෘතව සහ විනිවිදභාවයකින් යුතුව අධිකරණයේ විභාගවීම යනාදියද  දැනට නීතිමය භාවයක් නොමැති අභ්‍යන්තර තොරතුරු ප‍්‍රකාශ කිරීම යනාදිය ඇතුළත් කිරීමද පියවර ගැනීම ඉතා වැදගත් වේ.

ශ‍්‍රී ලංකාවේ කොටස් වෙළඳපළ අභ්‍යන්තර තොරතුරු හෙළිදරව් කර අධික ලාභ උපයන  පුද්ගලයින් හා ආයතන විශාල ප‍්‍රමාණයක් ඇත. ඇමෙරිකානු එක්සත් ජනපදයේ එස් රාජරත්නම් වැනි ශී‍්‍ර ලාංකිකයන් මේ යටතේ වරදකරුවන් වී ඇත. නමුත් ශ‍්‍රී ලංකාවේ එවැනි දෑ එතරම් ප‍්‍රසිද්ධියට පත් වී නොමැත.

පසුගිය වසර කිහිපය තුළ නීතිමය ව්‍යුහය පෙර නොතිබූ ආකාරයකින් වර්ධනාත්මක තත්වයකට පත් වී ඇත. මීට පෙර මෙවැනි සිදධින් රාශියක් සිදු වුණද ඒවා ප‍්‍රචාරණය වීමක් හෝ ප‍්‍රසිද්ධ වීමක් නොමැත. එසේම ඒ සියලු සිද්ධීන් ඉතා රහසි ගතව සිදුවී ඇත. අද පවතින තත්වය අනුව දේශපාලනික හා දේශපාලනික නොවන රාජ්‍ය හා පෞද්ගලික අංශවල විශාල ප‍්‍රමාණයක පුද්ගලයින් බැඳුම්කරය හා සම්බන්ධ වී ඇත. මෙවැනි දෑ පසුගිය රජය සමයේ  නොතිබූ බව ප‍්‍රකාශ කළ නොහැකි වේ.

පසුගිය රජය සමයේ සෑම වසරක් පාසාම මැතිවරණ පැවැත්විණි. මෙම මැතිවරණ සඳහා විශාල ධනස්කන්ධයක් වියදම් විය. එම දරන ලද වියදම් ඒ ඒ පුද්ගලයින්ට ලබා දී ඇත්තේ කවුරුන්ද සහ  එසේ විශාල මුදලක් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා යෙදවීමට ඔවුන්ගේ ආදායම කෙසේද යන්න සොයා බැලීමේදී පසුගිය රජය සමයේ මෙසේ සිදුවී ඇති විශාල රහස් ගණුදෙනු සොයා ගත හැකි වේ.

ඒ නිසා බැඳුම්කර සිද්ධිය අනාගතයේ විනිවිදභාවී රජයක් නිර්මාණය කිරීමට පසුබිමක් සකස් කර ඇත. මේ සඳහා පවත්නා දේශපාලන පක්ෂ සංශෝධනය වී නව පක්ෂ නිර්මාණය විය යුතුය. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය පූර්ණ සංශෝධනයකට ලක් විය යුතුයි. නව නායකත්වයකින් වගේම තරුණ දක්ෂ උගත් සහ  අත්දැකීම්ලත් පිරිස්වලින් එම පක්ෂය  සමන්නවිත විය යුතුයි. විශෙෂයෙන්ම පාක්ෂිකයන්ට ලැදි එක්සත් ජාතික පක්ෂ නායක පිරිසක්  නිර්මාණය විය යුතුයි. අද ඒ සඳහා සමාජයේ පරිසරයක් නිර්මාණය වෙමින් පවතී.

පවත්නා එක්සත් ජාතික පක්ෂය, සිය පාක්ෂිකයින්ට සාධාරණයක් ඉටු කිරීමට අපොහොසත් වී ඇත. විශේෂයෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල ඉහළ තනතුරු ලබා දී ඇත්තේ පසුගිය රජයේ අති දක්ෂයින්ට නොව පසුගිය රජයෙන් කොන්වූ නමුත් එක්සත් ජාතික පක්ෂයට හිතවත් නොවූ තවමත් හිටපු ජනාධිපතිතුමාට පාක්ෂික පුද්ගලයින් සමූහයකටය. මේ හේතුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් විශාල ලෙස අධෛර්යමත් විය. එසේම සමහර පාක්ෂිකයින්ට ලබාදුන් තනතුරුද විවිධ ඇමතිවරුන් විසින් ඉතා නින්දිත ලෙස ඉවත් කර ඇත.

එක්තරා විශේෂ අමාත්‍යවරයෙකු විසින් කිසි දිනෙක එක්සත් ජාතික පක්ෂයට වැඩ නොකළ එක්සත් ජාතික පාක්ෂිකයෙකු නොවන එක්තරා උපදේශන සමාගමක පුද්ගලයෙකුට තනතුරු තුනක් පවරා දී තිබුණි. තවද එක්සත් ජාතික පක්ෂයට වැඩ කළ පුද්ගලයින්ව නින්දිත ලෙස පුවත්පත්වල දැන්වීම් පවා පළ කරමින් පළවා හැර ඇත. මෙම ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබල නිලධාරියෙකු වීමත් පුදුම සහගතය.

අප දන්නා කාලයේ සිටම එක්සත් ජාතික පක්ෂයේ  සභාපතිවරුන් සහ  මහ ලේකම්වරුන් ඇතුළු නිලධාරීහූ ඉතා ශ්‍රේෂ්ඨ  පුද්ගලයෝ වූහ. ඔවුහූ පාක්ෂිකයින් වෙනුවෙන් දිවි පිදුහ. එවැනි පසුබිමක එකම පුද්ගලයෙකුට මෙසේ  තනතුරු දන් දීම, එම පුද්ගලයා එක්සත් ජාතික  පාක්ෂිකයෙකු නොවීම,ඔහු පක්ෂය වෙනුවෙන් ක‍්‍රියාකාරීව වැඩ නොකළ කෙනෙකු වීම සහ ඔහු තව දුරටත්  එම ඇමතිතුමාගේ පෞද්ගලික උපදේශකනෙකු වීම යනාදී කරුණු හාස්‍ය ජනක වන අතර පාක්ෂිකයින්ගේ උදාසීනත්වය වර්ධනය කිරීමට ද  හේතු වී ඇත.

කෙසේ  වුවද විශ්ව විද්‍යාල එක්සත් ජාතික පක්ෂ ප‍්‍රජාව කිසි දිනෙක අගමැතිතුම හැර නොයන අතර හැකි හැම විටම පක්ෂය ප‍්‍රතිසංස්කරණය කිරීමට වෙර දරයි. නොයෙකුත් සිත් වේදනා පෙරදැරි කර ගෙන ප‍්‍රකාශ ඉදිරිපත් කළත් එක්සත් ජාතික පාක්ෂිකයින් එක්සත් ජාතික පක්ෂය  හැර නොයයි.

ඔවුහූ සෑම විටම එක්සත් ජාතික පක්ෂයේම රැඳී සිටිමින් නව එක්සත් ජාතික පක්ෂ  එකමුතුවක් සකස් කර ගැනීමට වෙර දරති.මේ පිරිස එක්සත් ජාතික පක්ෂය  බලයට පත් කිරීමට ඉතා වෙහෙස මහන්සි වුවද ඒ බව  සමහර මැති ඇමතිවරුන්ට නොදැනීම කණගාටුදායක වේ.

දශක ගණනාවක් ශ‍්‍රී ලංකා ආර්ථිකයට දැවැන්ත මෙහෙවරක් කළ එක්සත් ජාතික පක්ෂය  නව එක්සත් ජාතික පක්ෂයක් ලෙස  දොරට වැඩමවීම සඳහා පෙරට එන ලෙස  සියලුම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිමු. පවත්නා රජය බලයට පත් කිරීමට වෙහෙස මහන්සි වූ  එක්සත් ජාතික පාක්ෂිකයින්ට සේවය නොකළද මෙම රජය විසින් කිසියම් ගුණාත්මක තීරණ රැසක් මහ ජනයා වෙත ලබා දී ඇත.

විශේෂයෙන් එට්කා ගිවිසුම සහ සිංගප්පූරු වෙළඳ  ගිවිසුම මගින් මෙම රටේ වෛද්‍ය සහ  ඉංජිනේරු වෘත්තිකයන්ගේ ඒකාධිපතිවාදය බිඳ දැමීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගෙන ඇත. අද වෛද්‍ය වෘත්තිකයින් ඉතා භයානක ලෙස සිය වෘත්තිය පවිච්චි කරමින්  අසරණ ජනතාව තළා පෙළා දමන අතරම කිසිම අති විශේෂ දායකත්වයක් රටේ සංවර්ධනයට සිදු කර නැත.

දශක ගණනාවක සිට වෘත්තිකයින් රටේ සංවර්ධනය වෙනුවෙන් සිදු කර ඇති මෙහෙවර ඉතා අල්පය. පවත්නා තත්වය පවත්වා ගෙන යෑම සහ සිය වෛද්‍ය වෘත්තිය අධිරාජ්‍යයක් බවට පත්කොට පෞද්ගලික ආදායම් තර කිරීමට වෙහෙසෙන ඔවුන්ගේ ඒකාධිකාරිය මෙම ගිවිසුම මගින් තරගකාරිත්වයකට හැර විය හැකි වේ.

ඒ ඔස්සේ රටේ මහ ජනතාවට ඉතා උසස් සහ ගුණාත්මක සේවාවන් ලබා ගැනීමට හැකි වන අතර නව නිර්මාණ බිහිවීමක්ද සිදු වේ. ශ‍්‍රී ලංකාවේ 1950 හා 1960 ගණන්වල විදේශීය වෛද්‍යවරුන් සේවය කළ බවට සනාථ වූ ලියකියවිලි ඇත. අවාසනාවකට මොවුන් එම තරගකාරිත්වය ඉවත්කර සිය වෘත්තීය පමණක් මේ රටේ තිබිය යුතු බවට දේශපාලනීයකරණය  කර ඇත.

එක්සත් ජාතික පක්ෂයෙහි අනාගතය සාර්ථක වීමට මෙම තීරණ වැදගත් වේ. නමුත් මේවා ජනතාව අතරට ගොස් ඇත්තේ මිත්‍යාවත් සමගය. එක්සත් ජාතික පක්ෂය  සිදු කර ඇති බොහෝ දෑ ජනතාවට ගොස් ඇත්තේ මිත්‍යාවත් සමගය. විරුද්ධ පක්ෂ ඉතා කුරිරු  ලෙස එක්සත් ජාතික පක්ෂයේ  යහපත් ක‍්‍රීයාවන් යටපත් කරමින් බැඳුම්කර ගණුදෙණුව කරළියට  ගෙන එනු ලැබුවද එම ගණුදෙණුවට ඔවුන්ද සම්මාදන් වී ඇත.

එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වී ඇත්තේ පැලැස්තර සංශෝධන නොව ඉතා තර්කානුකූල නැවත බලයට පත් විය හැකි ආකාරයේ පුළුල් ප්‍රතිසංස්කරණයකි. එසේ නොමැති වුවහොත් එක්සත් ජාතික පක්ෂය ද අනෙකුත් කුඩා පක්ෂ වගේ  අතීතයට එකතු වීම නොවැළැක් විය හැකිය.

එසේ නම්  විශ්ව විද්‍යාලවල  රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල වගේම සෑම තැනකම සිටින  එක්සත් ජාතික පක්ෂයට  හිතවත් පාක්ෂිකයින් එකට එකතු වී නව එක්සත් ජාතික පක්ෂයක් බිහි කළ යුතු කාලය එළඔ ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න
“පාක්ෂිකයින්ට සලකන අලුත් එජාපයක් බිහි කළ යුතුයි” | Lanka Newsweek