අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලු දෙනා පෙරට ආ යුතුයි

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලු දෙනා පෙරට ආ යුතුයි

ලෝක ප්‍රජාව හමුවේ ජනපති දුන් ප්‍රතිඥාව අගය කළ යුතුයි ජනපතිගේ ප්‍රකාශයෙන් රට ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති වුණා රට ගොඩනැගිය යුතු ආකාරය ගැන කරූ කරුණු පහළොවකින් විස්තර කරයි කරූ ජනපතිට දුන් උපදෙස් 15…


ලෝක ප්‍රජාව හමුවේ ජනපති දුන් ප්‍රතිඥාව අගය කළ යුතුයි

 
ජනපතිගේ ප්‍රකාශයෙන් රට ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති වුණා 


රට ගොඩනැගිය යුතු ආකාරය ගැන කරූ කරුණු පහළොවකින් විස්තර කරයි 


කරූ ජනපතිට දුන් උපදෙස් 15 මෙන්න..!

රට, ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් සියලු පාර්ශවයන් එක්සත්ව සහ එක්සිත්ව ඇප කැප විය යුතු කාලය එළැඹ ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක ප්‍රජාව හමුවේ දුන් ප්‍රතිඥා අතිශයින් අගය කරන බව පෙන්වා දුන් කරු ජයසූරිය මහතා එම ප්‍රතිඥා හේතුවෙන් රට ගැන ජනතාවට අලුත් බලාපොරොත්තුවක් ඇති වූ බව ද සඳහන් කළේය.

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ බව කියා සිටියේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ දී අඟහරුවාදා (05) සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

දැන්වීම

රට, ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් සියලු පාර්ශවයන් එක්සිත්ව ඇප කැප විය යුතු කාලය මේ වන විට උදාවී තිබෙනවා. අපේ  මව් රට ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මුහුණ නොදුන් මහා ව්‍යසනයක් අභියස සිටින බව  සියලු දෙනා තේරුම් ගෙන තිබෙනවා. රටට ආදරය කරන ජාතික නායකයින් ඇතුළු සියලු දෙනා බුද්ධිමත්ව දුරදිග බලා, සමගි සම්පන්නව ක්‍රියා කළ හොත් මේ සියලු අභියෝගවලට විසදුම් සොයා ගත හැකි බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය දැඩිව විශ්වාස කරනවා.
    
අපක්ෂපාත සහ ස්වාධීන ආයතනයක් වශයෙන් අප ඉදිරිපත් කරන කරුණු මහා සංඝ රත්නය ඇතුළු සියලු ආගමික නායකයන්ගේත්, ගරු ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන්ගේත්, සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේත් අවධානයට සත්භාවයෙන් යොමු  කිරීමට අප තීරණය කළා. මෙම අදහස් රජය විවේචනය කිරීමක් නොව රටේ බහුතරයේ මතය ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ පාලක පක්ෂයේ අවධානයට යොමු කිරීමක් බව කිව යුතුයි.
 
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මුළු රටේම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වුණු ආකාරය වගේම ජන ගහනයෙන් 82%ක් පමණ ජනතාව එම සංශෝධනය ඉදිරිපත් කළ අවස්ථාවේදී අනුමත නොකළ බව සමීක්ෂණවලින් පෙනී ගිය බව මීට පෙර අප සදහන් කළා. ගරු ජනාධිපතිතුමාට උපදෙස් දෙන ගරු උත්තරීතර සංඝ සභාව නියෝජනය කරන මාහිමිපාණන් පවා මෙවැනි දැඩි පනතක් බලාපොරොත්තු නොවූ බව අපට කිහිප අවස්ථාවකදීම දන්වා තිබෙනවා.

මේ අතර ජන සමීක්ෂණ කණ්ඩායම් 2021 සැප්තැම්බර් මස කළ අධ්‍යනයේදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත නොකරන සංඛ්‍යාව 94% දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා කර තිබෙනවා. මහ ජනතාව දරන මතය වන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ 2/3 පාර්ලිමේන්තු බලය යොදා ගෙන සහල් මිල පාලනය කිරීම සදහා ගැසට් 8ක් ගසා, සීනි ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කිරීම සඳහා දැරූ සියලු උත්සාහයන්     බල රහිත වූ බවයි. ඒ හෙයින් ගරු ජනාධිපතිතුමා ඉතා ඉක්මනින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති වූ අසාධාරණය නිවැරදි කරනු ඇතැයි යන්න ජනතා බලාපොරොත්තුවයි.
            
එක්සත් ජාතීන්ගේ සැසිවාරයට ගරු ජනාධිපතිතුමා සහභාගී වීම අප අගය කරනවා. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතිවාසිකම් රැකදීම, පුවත්පත් නිදහස, විරුද්ධ මතවලට කන්දීම, සිවිල් සමාජය සමග සහයෝගයෙන් වැඩ කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වෙනුවෙන් පෙනී සිටින බවට ජගත් මහා ලේකම් ප්‍රමුඛ සියලු බලධාරීන්ටත් එතුමා සදහන් කිරීමත් සමග අලුත් බලාපොරොත්තු ඇති වී තිබෙනවා.

යුරෝපියානු පාර්ලිමේන්තුවේ 600ට වඩා මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය දුන්නේ අප රට කෙරෙහි ඔවුන් දැරූ මතය නිසයි. ගරු ජනාධිපතිතුමාගේ සංචාරයෙන් පසු ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, කිසිම බල කදවුරකට යටත් නොවූ නිදහස් සහ නිවහල් දේශයක් බව මේ සියලු දෙනාට ඒත්තු ගැන්වීමට හැකි වේවායි අප ප්‍රාර්ථනා කරනවා.
            
අපටත්, ඊළග පරපුරටත් ආත්ම ගෞරවයෙන් යුතුව ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම සදහා පහත සදහන් කරුණු ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලාංකික ජනතාවගේ අවධානයට ලක් කරනවා.

(01) නව ව්‍යවස්ථාවක් මගින් 20 වැනි සංශෝධනයෙන් ඇති කළ ඒකාධිපති බලතල වහා ඉවත් කිරීම. මේ සියල්ල ඵල රහිත වූ බව තේරුම් ගත යුතුයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් එම වැරදි නිවැරදි කළ හැකියි.

(02)  ශ්‍රී ලංකාවාසීන්ට තමන්ට කැමැති දේශපාලන නායකත්වයක්, පක්ෂයක් සහ නියෝජිතයින් තෝරා ගැනීමේ නිදහස ලබා දීම රජයේ යුතුකමයි. එම යුතුකම මූලික මිනිස් අයිතිවාසිකමක් වනවා. එම නිසා මැතිවරණ කොමිසම ඇතුළු සියලුම කොමිෂන් සභා දේශපාලනයෙන් බැහැර ස්වාධීන සාමාජිකයින්ගෙන් සමන්විත විය යුතුයි. ඉතා බුද්ධිමත් සේම පිරිසිදු බොහෝ දෙනෙකුද කොමිෂන් සභාවල ඇතත් ආණ්ඩුවේ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන කිහිප දෙනෙකු සිටීම නිසා කොමිෂන් සභා කෙරෙහි විශ්වාසය බිඳ වැටී ඇති බව සඳහන් කළ යුතුයි.

(03) එමෙන්ම සාමාජිකයින් පත් කිරීමේදී විපක්ෂනායකතුමා ප්‍රමුඛ විපක්ෂ නියෝජිතයන්ගේද පූර්ණ එකඟත්වයෙන්පත් කිරීම අනිවාර්යෙන්ම සිදු විය යුතුයි. පසුගිය රජයෙන් සියලු පත්වීම් කළේ ඒ ආකාරයෙන් දෙපාර්ශවයේ එකඟත්වයෙනුයි. වර්තමාන පත්වීම් කර ඇත්තේ ආණ්ඩුවේ තනි මතයටමයි. එහි දැඩි අසාධාරණයක් තිබෙනවා.

(04) එක් රටක් එක් නීතියක් සංකල්පය ඉදිරියේදී අනුගමනය කරන බවට ගරු ජනාධිපතිතුමා සනිටුහන් කර තිබෙනවා. මීට ඉහතදී මිනීමැරුම් සහ කප්පම් ගැනීම් ඇතුළු භයානක අපරාධවලට සහභාගී වූ අයට සමාව ලබා දී ඇති හෙයින් කිසිම අපරාධයකට සහභාගී නොවූ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක තවමත් අත්අඩංගුවේ තබා ගැනීම ඉතා අසාධාරණ බවත් එම ක්‍රියාව සමාජය අනුමත නොකරන බවත් පෙන්වාදීම අපේ යුතුකමයි.

අනුරාධපුර බන්ධනාගාර සිද්ධියේ වගේම කුරුණෑගල බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය කඩා දැමූ තැනැත්තාගෙන් ප්‍රශ්න කිරීමක් පවා නොකර ඔහු නිරුපද්‍රිතව සිටීම දකින විට ජනතාව මෙසේ සිතීම සාධාරණයි. එහෙයින් මනුෂත්වයේ සහ සාධාරණයේ නාමයෙන් රන්ජන් රාමනායකට ඉක්මන් සමාවක් දෙන ලෙස ඉල්ලා අප ඉල්ලා සිටිනවා. මේ තීරණය නිසා ලෝක සම්ප්‍රදාය අනුව අධිකරණයටද කළු ලපයක් ඇතිවූ බව සඳහන් කරන්නේ කණගාටුවෙනුයි.

(05) ආරක්ෂක සේවා සම්පූර්ණයෙන් ස්වාධීන විය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයි. අපගේ පොලිස් සේවාව අති දක්ෂ නිලධාරීන්ගෙන් සමන්විත ගෞරවනීය සේවාවක් වනවා. ඕනෑකමින් විපක්ෂයේ මතධාරීන්ට හිරි හැර කරමින් නමුත් රජයේ වැරදි නොපෙනෙන උසස්වීම් සඳහා විපක්ෂයට හිරි හැර කරමින් ඔවුන් පසුපස එළවමින් පොලිස් සේවයට නින්දා කරන කිහිප දෙනෙකු නිසා පොලිස් ගෞරවයට හානීවීතිබෙනවා. මේ කරුණ ගරු ඇමතිතුමාගේ සහ පොලිස්පතිතුමාගේ අවධානයට යොමු වේවා..!

අපට ඇත්තේ කීර්තිමත් අභීත යුධ හමුදාවක්. අපි ඔවුන් ගැන ආඩම්බර විය යුතුයි. කොවිඩ් වසංගත පාලනයේදී යුධ හමුදාවෙන් ලබා දෙන කැපවීම අප අගය කරනවා. එසේ වුවත් යුධ හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් සාමුහිකව මිනිස් ඝාතනයකට සහභාගීවීම මත ඇතිවූ අපකීර්තිය නිවැරදි කිරීමට ගරු ආරක්ෂක අමාත්‍යතුමා සහ හමුදාපතිතුමා අවශ්‍ය පියවර ගනු ඇතැයි අප විශ්වාස කරනවා.

(06) අවුරුදු 73 නිදහස ලැබූ අප ජාතිවාදී සහ ආගම්වාදී බෙදීම් වගේම අරගල නිසා ආපස්සට ගිය රටක් බව කිව යුතුයි. ඒ ගිනි දැල් නැවතත් ඇති නොවීමට වග බලා ගැනීම රාජ්‍ය නායකයන්ගේ දැඩි යුතුකමක් වනවා. සිංහලයින් බෞද්ධ, ක්‍රිස්තියානි සහ කතෝලික පාර්ශවය වශයෙන් බෙදී සිටිනවා.සිංහල මුස්ලිම් භේදයක් ඇති කිරීමට දරන උත්සාහයක්ද අප දකිනවා. මංතීරු නිසා සංඝයා වහන්සේද බෙදී සිටිනවා. මේ ප්‍රශ්න  ඉතා ඉක්මනින් නොවිසදුණොත් රට නැවතත් ගිනි ජාලාවක් වනු නියතයි. මංතීරු රටට හදිසි අවශ්‍යතාවයක්ද යන්න ගරු ජනාධිපතිතුමා විසින් තීරණය කිරීම වැදගත් බව අපේ හැඟීමයි.

(07) පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික ක්‍රිස්තියානි බැතිමතුන් අතර බලවත් වේදනාවක් ඇති බව දිස් වනවා. මේ සැකය දුරු කිරීමටත්, විශ්වාසය ගොඩනැගීමත් පරීක්ෂණයට අදාළ සියලු විස්තර සහ වාර්තා ඉක්මනින් මුදා හැරීම ජාතික එකමුතුවකට ඉතාමත්ම අවශ්‍ය බව අපේ හැඟීමයි. මේ වන විට පවතින අවිශ්වාසය රටට ජාතික සමඟියට හානි කරයි. අන්තර් ජාතික ප්‍රශ්නයක් වීමට ඉඩ නොදී මේ ප්‍රශ්නය විසදා ගැනීමට වහා පියවර ගන්නා ලෙස බළධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

(8) කොම්පොස්ට් පොහොර පාවිච්චිය පිළිබඳ රජය දැඩි මතයක සිටීම නිසා කෘෂි කර්මාන්තයට බලපෑමක් ඇති බව සනාථ වී තිබෙනවා. ගොවීන් සහ වැවිලිකරුවන් ඇතුළු බොහෝ දෙනෙකු කෘතිම පොහොර ඉල්ලා සිටිනවා. මේ ගැන දැඩි සමාජ අසනයක් ඇති හෙයින් ඒ ගැනද රජයේ අවධානය යොමු කිරීම වැදගත් වනවා.

සමහර ගොවීන් සිටින්නේ දැඩි කෝපයෙන් බව කිව යුතුයි. වැවිලිකරුවන්ගේ සංගමය මඟින් කළ සමීක්ෂණයේදී 2022 තේ නිෂ්පාදනය 40%කින් සහ  රබර් නිපදවීම 20%කින් අඩු වන බව පෙන්වා දී තිබෙන අතර එම තත්ත්වය භයානක සංඥාවක් වනවා. 

(09) කීර්තිමත් රට පිළිගත් පුවත්පත් කතුවරුන් රහස් පොලීසියට කැඳවීම අප කිසි විටෙකවත් අනුමත කරන්නේ නැහැ. නිදහස් මාධ්‍යයක් නැති තැන ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. එමෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් නිරන්තරයෙන් පොලීසියට කැඳවීම පාර්ලිමේන්තු ගෞරවයටද හානි කර බව පෙන්වා දිය යුතුව තිබෙනවා. 

(10) ලෝකයේ බොහෝ රටවල් සිවිල් සමාජ සංවර්ධනයේ හවුල්කරුවන් වශයෙන් සලකා ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ආකාරය අපි දැක තිබෙනවා. ගරු ජනාධිපතිතුමාද ජගත් මහා ලේකම්වරයාට මේ ගැන ප්‍රකාශ කර තිබෙනවා. සිවිල් සමාජ ක්‍රියාකාරකම් රජයට ශක්තියක් වන බව අපගේ විශ්වාසයයි.

අවාසනාවකට ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය සතුරන් සහ රාජ ද්‍රෝහීන් වශයෙන් තවමත් දකින නිසා අදාළ බළධාරීන්ට මේ ආයතන සමඟ සහයෝගයෙන් වැඩ කිරීමේ වැදගත්කම පෙන්නා දෙන ලෙස ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

(11) උපාලි අබේරත්න දේශපාලන පළි ගැනීම් කොමිසමේ නිර්දේශ පවතින තාක් රජයට සහ අධිකරණයේ කීර්ති නාමයට විශාල හානියක් බව නැවත නැවතත් පෙන්වා දීමට කැමතියි.

(12) රාජ්‍ය නිළධාරීන් ඉවත් කර ඒ වෙනුවට උසස් පදවි සඳහා විශ්‍රාමික හමුදා නිළධාරීන් යෙදවීම නිසා රාජ්‍ය සේවයේ විශාල අප්‍රසාදයක් පවතිනවා. විනය රැකිය යුතු අවස්ථාවල විශ්‍රාමික හමුදා නිලධාරීන් යෙදවූවත් අත්දැකීම් ඇති පරිපාලන සේවයේ නිළධාරීන් කොන් කිරීම රටේ රාජ්‍යකරණයට අහිතකර බව පෙන්වා දිය යුතුයි. රාජ්‍යකරණයේදී පරිපාලන සේවාව ප්‍රයෝජනයට නොගත් නිසා රජයට අහිතකර වූ අවස්ථා  අප දැක තිබෙනවා. 

(13) පාසැල් වසා දැමීම නිසා දරුවන් සහ දෙමාපියන් විශාල වශයෙන් අසහනයට පත්ව ඇති ආකාරය අප දකිනවා. දරුවන්ට ළමා විය සහ පාසැල් ඇසුර අහිමි කිරීම මහා පාප කර්මයක් බව කිව යුතුයි. එම නිසා ඉතා ඉක්මනින් පාසැල් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස අප ආයාචනා කර සිටිනවා. ළමා විය නැවතත් ලැබෙන්නේ නැහැ.

(14) යුරෝපීය සංගමයේ නියෝජිත පිරිසක් මේ දිනවල ලංකාවට පැමිණ සිටිනවා. දැනට පැවැති සාකච්ඡා ඉතා සාර්ථක වූ බව ගරු විදේශ ඇමතිතුමාද සඳහන් කර තිබෙනවා. අප ඉල්ලා සිටින්නේ දැඩි මතයක සිට GSP සහනය අහිමි නොකර ගන්නා ලෙසයි. එසේ වුව හොත් එම තත්ත්වය රටට ආර්ථික වශයෙන් ඉතා හානි කර බව සඳහන් කළ යුතුයි.

(15) විදේශ ආයෝජන අපි හැකිතාක් ලබා ගත යුතු අතර, රාජ්‍ය සම්පත් පැවරීමේ දී විනිවිද පෙනෙන ආකාරයට සිදු කිරීම සාමාන්‍ය සිරිත වනවා. 2018 ඉදිරිපත් කළ ප්‍රසම්පාදන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අහෝසි නොකළේ නම් දැනට පැන නැගෙන විවිධ දූෂණ චෝදනා එම කොමිසමේ අධ්‍යයනය ඔස්සේ නවතා ගත හැකිව තිබුණා. බොහෝ බලගතු කොටස් මෙම පනත එළිදැකීම වැලැක්වීමට දැඩිව ක්‍රියා කළ බව සඳහන් කරන්නේ බලවත් කණගාටුවෙනුයි. දූෂණ නවතා රුපියල් බිලියන ගණනින් මහ ජනතා මුදල් ඉතුරු කර ගැනීමට කමිටුව ක්‍රියාත්මක වූයේ නම් හැකිව තිබුණා. ජනතාවගේ නාමයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක කරන ලෙස ගරු ජනාධිපතිතුමාට ආයාචනා සිටිනවා. ලෝකයේ දියුණු වූ රටවල් මේ ක්‍රමවේදය අනුගමනය කරන බව පෙන්වාදීමට කැමතියි. අද රටේ මහ දවල් වංචා සිදු වන බවට ගරු ජනාධිපතිතුමාද දැනුවත්ව ඇති හෙයින් මේ කරුණ ගැන නැවතත් සිතා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

මේ දිනවල රාජ්‍ය සම්පත් විදේශ සමාගම්වලට පැවරීම ගැන ජනතාව සහ වෘත්තීය සමිති අතර විශාල ආන්දෝලනයක් පවතිනවා. යුගදනව්-නිව්ප්‍රෝටස්  ගණුදෙනුව කළ ආකාරය සහ නිව් පෝට්‍රස් ආයතනයට දීර්ඝ කාලීන ඒකාධිකාරයක් ලබා දීම ගැනත් දැඩි ජනතා විරෝධයක් ඇති අතර එම විරෝධය සාධාරණ බව අපගේ හැඟීමයි.

හදිසි නීතිය ඉවත් කිරීමත්, විදේශ සංචාරයේදී ආදර්ශමත් අන්දමින් සිය නියෝජිත පිරිස තෝරා ගැනීමත්, පවුලේ සාමාජිකයින්ට මහ ජන මුදල් වැය නොකිරීමත් ගරු ජනාධිපතිතුමා ගත් පියවර ජනතාව අග යකරන බවද දැන්වීමට කැමතියි. මේ පියවර අනාගත නායකයින්ට ආදර්ශයක් වේවා..!
කොවිඩ් වසංගතය මර්දනය  කිරීම සදහා ගෙන යන වැඩ පිළිවෙළ වඩාත් සාර්ථක කර ගැනීමට නම් විශේෂඥ මතයට ප්‍රමුඛ අවධානයක් යොමු කරවීම අත්‍යාවශ්‍යයි. එන්නත්කරණය අතින් මේ වන විට යම් සාර්ථක අදියරකට යොමුව තිබීම පිළිබඳව සතුටු විය හැකියි.

විනිවිදභාවයෙන් යුතු සැලසුම් සහගතව සිදු විය යුතු එන්නත්කරණ ක්‍රියාවලිය ඉදිරියට පවත්වා ගෙන යාම මගින් මේ වන විටත් සිදුව ඇති අඩුපාඩු සපුරා ගත හැකි වනු නියතයි. ඒ පිළිබඳව රජයේ අවධානය යොමු වනු ඇතයි අපේක්ෂා කරනවා. එමෙන්ම මේ දුෂ්කර අවස්ථාවේ අප රටේ ජනතාවගේ යහපත උදෙසා ඉදිරිපත් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයට,එමෙන්ම අප මිත්‍ර රටවලට අපගේ ගෞරවය  පුද කරනවා. ජාත්‍යාලයෙන් සහ යහපත් චේතනාවෙන් අප ඉදිරිපත් කළ කරුණු රාජ්‍ය නායකතුමන්ගේ සහ ජනතාවගේ අවධානයට යොමු වේවා..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 8
බෙදාගන්න
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලු දෙනා පෙරට ආ යුතුයි | Lanka Newsweek