පළාත් පාලන ආයතන ඵලදායී කිරීම සඳහා ස්ථාවර කමිටු අවශ්‍යයි

අලුතෙන් පත් වන නගර සභා සහ ප්‍රාදේශීය සභාවල ඵලදායීත්වය වර්ධනය කිරීම සඳහා ස්ථාවර කමිටු අනිවාර්ය කරන්නැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක සහ ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා ජනාධිපති…
අලුතෙන් පත් වන නගර සභා සහ ප්‍රාදේශීය සභාවල ඵලදායීත්වය වර්ධනය කිරීම සඳහා ස්ථාවර කමිටු අනිවාර්ය කරන්නැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක සහ ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක සහ ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර ඇති එම ලිපිය මෙසේය.
පසුගිය මැයි 06 වැනිදා පවත්වන ලද පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසු එම සභා වහාම ස්ථාපිත කිරීම සඳහා ඔබතුමා විසින් නියෝග දී තිබීම හා ණය අර්බුදය හා තීරු බඳු පිළිබඳ පවතින ඉතා අවාසිදායක තත්ත්වය යටතේ ඔබ රජය අපේක්ෂා කරන ආර්ථික වර්ධනය හා ක්ලීන් ශ්‍රී ලංකා වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ලා අලුතෙන් පත්වන පළාත් පාලන ආයතන දායකත්වය ඉතා වැදගත් බව ඔබ විසින් අවධාරණය කර තිබීම ගැන අපි ඉතා සතුටට පත් වෙමු.
දැන්වීම
මහජන නියෝජිත මණ්ඩලයක් වෙත පැවරෙන කටයුතු වඩා සුපරික්ෂාකාරීව කිරීම සඳහා අදාළ විෂයන් සඳහා සභාවේ ස්ථාවර කමිටු ස්ථාපිත කිරීම ලොව පුරා පාර්ලිමේන්තුවල මෙන්ම දෙවන හා තෙවන ස්ථරයේ නියෝජිත මණ්ඩලවලද අනිවාර්යය අංගයකි. මෙම කමිටු ක්‍රමය තුළින් අන්තර්ජාතික පිළිගැනීමට ලක් වූ පළාත් පාලන ආයතන කිහිපයක් ලංකාවේ ක්‍රියාත්මක වූ බව සඳහන් කළ යුතුය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේද ස්ථාවර කමිටු මෙන්ම අවස්ථානුකූලව පිහිටුවන කමිටු සඳහා පැහැදිලි ස්ථාවර නියෝග ඇත. රටේ පළාත් පාලන ආයතන ගත් කළ ස්ථාවර කමිටු අනිවාර්ය කර ඇතත් එම කමිටු පිහිටුවීම සඳහා මග පෙන්වීම එම අණ පනත් මගින් ලබා නොදේ. එවැනි මඟ පෙන්වීමක් ලබාදීම සහ සියලු කමිටුවල පුරවැසි සහභාගීත්වය තහවුරු කිරීම සඳහා පළාත් පාලන පනත් තුනට අවශ්‍ය සංශෝධන කෙටුම්පත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කාර්ය මණ්ඩලයේ විසින් 2011 වර්ෂයේ සම්පාදනය කර 2018 වර්ෂයේ නැවත දියුණු කළ බව අපට දැනගන්නට ඇත. නමුත් 2017 සිට පළාත් සභාවන් අක්‍රීයව පැවතීම නිසා එම සංශෝධන ඉදිරියට ගෙනයාමට නොහැකිව ඇත.
පළාත් සභා පිහිටුවන තෙක් නොසිට එක් එක් පළාතේ ගරු ආණ්ඩුකාරවරයා විසින් මහා නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා සඳහා කාරක සභා ඇති කිරීම හා රැස්වීම් පැවැත්වීම සඳහා අතුරු ව්‍යවස්ථා සහිත ගැසට් නිවේදනයක් නිකුත් කිරීම තුළින් සභාවලට එම කමිටු පිහිටුවීම වහා සිදු කළ හැකි බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ විශේෂඥ කමිටුවේ අදහසයි. ඒ සඳහා එම කමිටුව විසින් පත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ කෙටුම්පත් ආශ්‍රයෙන් සම්පාදනය කරන ලද ආකෘතියක්ද අමුණා ඇත.
මේ අවස්ථාවේ රටේ ඉදිරියට අත්‍යවශ්‍ය වැදගත් පියවරක් ලෙස එම මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා සඳහා කාරක සභා ඇති කිරීම හා රැස්වීම් පැවැත්වීම පිළිබඳ අතුරු ව්‍යවස්ථා සහිත ගැසට් නිවේදනය වහා නිකුත් කරන ලෙස ගරු ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.