පවුල් සියයට හැටක් අනාථයි..මාසික ආදායම කඩා වැටිලා

පවුල් 91%ක ගේ මාසික වියදම වැඩි වෙලා-පවුල් 99%ක ගේ කෑම වියදම වැඩි වෙලා අධ්‍යාපනයට-සෞඛ්‍යට බලපෑම් රටේ උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් පවුල් සියයට 60.5%ක ගේ මාසික ආදායම පහළ ගොස් ඇති අතර පවුල් 91%ක…
පවුල් 91%ක ගේ මාසික වියදම වැඩි වෙලා-පවුල් 99%ක ගේ කෑම වියදම වැඩි වෙලා
අධ්‍යාපනයට-සෞඛ්‍යට බලපෑම්
රටේ උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් පවුල් සියයට 60.5%ක ගේ මාසික ආදායම පහළ ගොස් ඇති අතර පවුල් 91%ක ගේ මාසික වියදම වැඩි වී ඇතැයි ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ නවතම සමීක්ෂණයෙන් හෙළිදරව් වී තිබේ.
සිය අදායම අඩුවූ පවුල්වලින් 73.6%ක් එම අර්බුදය මඟ හරවා ගැනීම සඳහා කිසිම ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති අතර එම පවුල්වලින් 6.6%ක් අමතර අදායම් මාර්ගයක් හෝ අමතර රැකියාවක් සොයා ගෙන ඇති බව ද ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මාසික වියදම වැඩි වූ පවුල් අතරින් 99.1%ක ගේ ආහාර වියදම ඉහළ ගොස් ඇති අතර 83 %ක ගේ ගමනාගමන ගාස්තු ඉහළ ගොස් ඇති බව ද ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
දැන්වීම
ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකේය පවුල්වලින් 22%ක් ආර්ථික අර්බුදය හේතුවෙන් ණය බරින් පීඩාවට පත්ව සිටින අතර වයස අවුරුදු 3ත් 21 ත් අතර 54.9%ක ගේ අධ්‍යාපනයට ආර්ථික අර්බුදය විශාල බලපෑමක් එල්ල කර ඇති බව ද හෙළි වී තිබේ.
අධ්‍යාපනයට බාධා එල්ල වූ පවුල් අතරින් 53.2%ක් ලිපිද්‍රව්‍යවලට යන වියදම අවම කර හෝ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමෙන් වැළකී ඇති අතර 44%ක් අලුත් නිල ඇඳුම් මිලදී ගැනීමට යන වියදම කපා හැරීමට හෝ නිල ඇඳුම් මිලදී නොගෙන සිටීමට යොමු වී තිබේ.
ආර්ථික අර්බුදය හමුවේ 29%ක පමණ ජනතාවක් විවිධ රෝගයන්ට ගොදුරු වී ඇති අතර එම පිරිසෙන් 7%ක් සෞඛ්‍ය ප්‍රතිකාර ගන්නා ක්‍රියාපටිපාටිය ආර්ථික අර්බුදය හේතුවෙන් වෙනස් කර ඇති බව ද ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ගැනීමේ ක්‍රියාපටිපාටිය වෙනස් කළ ජනතාවගෙන් 81.7ක් එසේ ක්‍රියා කිරීමට මූලික වූ හේතුව ලෙස සඳහන් කර ඇත්තේ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මුදල් නොමැතිකම බව ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.