පක්ෂය එකතු කරන්න බැරි මෛත්‍රී රට කරන්නේ කොහොමද..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 7

(සුජිත් මංගල ද සිල්වා) ආර්ථික අගාධයකට ඇද වැටී තිබෙන රට ගොඩ ගත හැක්කේ සුකිරි බටිල්ලන්ගේ දේශපාලනයෙන් නොව ඡන්දදායකයාට වග කියන දේශපාලනයකින් පමණක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා…
(සුජිත් මංගල ද සිල්වා)
ආර්ථික අගාධයකට ඇද වැටී තිබෙන රට ගොඩ ගත හැක්කේ සුකිරි බටිල්ලන්ගේ දේශපාලනයෙන් නොව ඡන්දදායකයාට වග කියන දේශපාලනයකින් පමණක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි.
කොළඹ,බත්තරමුල්ලේ පිහිටි ජනතා විමක්ති පෙරමුණේ මුලස්ථානයේදී ඇද (05) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් මේ බව පැවසූ අනුරකුමාර දිසානායක මහතා,සිය පක්ෂය එකට එකතු කර ගැනීමට අසමත් මෛත්‍රීපාල සිරිසේන රට මෙහෙය වන්නේ කෙසේදැයි ද ප්‍රශ්න කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මෙසේ ද කීය.
පසුගිය මාසයකට ආසන්න කාලයක් සංවාදයට ලක්වී තිබුණේ විශ්වාසභංගයයි. එය ඊයේ පැවති ඡන්ද විමසීමෙන් පසුව නිමා වුණා. ඡන්ද විමසීමේ දිනය සහ විශ්වාස භංගය විවාදයට ගන්නා තෙක් සිදු වූ සංවාදවලින් පෙන්නුම් කළා, අපේ රටේ දේශපාලනය කෙතරම් කැත මජර පොර පිටියක්ද කියන එක.
එක් පැත්තකින් විශ්වාස භංගයට අත්සන් කළ අය ඡන්දය දෙන්න හිටියේ නැහැ. විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දෙනවා යැයි ප්‍රකාශ නිකුත් කරපු අය පවා විශ්වාස භංගයට එරෙහිව ඡන්දය පාවිච්චි කළා. මේ සියලූ සිදුවීම් පෙළ ගත්තාම ජනතාවට මෙවැනි කැත මජර දේශපාලකයින්ට අපේ රටේ වගකීම් පවරා දිය යුතුද කියන එක මැනෙවින් ඒත්තු ගන්වා තිබෙනවා. ඒ වගේම මෙවැනි දේශපාලකයින් අපේ රට පාලනය කරනවා නම් එයින් රටට සිදු වන ව්‍යසනය හොඳින් පෙන්වා දී තිබෙනවා.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙම විශ්වාසභංගය ගෙන ඒමට ප්‍රධානම වැඩ කොටසක් සිදු කළා. අවසානයේදී රටේ නායකයා වූ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වූ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා වූ මෛත්‍රීපාල සිරිසේන රට එක තැනකට ගන්නවා තබා තම පක්ෂයත් තම මන්ත්‍රී කණ්ඩායමත් එක තැනකට ගන්න අසමත් වී තිබෙනවා. ඉතින් පක්ෂය එක තැනකට ගන්න බැරි එවැනි නායකයෙකුට රට මෙහෙයවිය හැකිද? මෙම විශ්වාසභංගයෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ කුඩා කල්ලිය වැනෙන සුළු, යටි ගේම්වලින් දේශපාලනය කරන පටු බල වුවමනාවන් වෙනුවෙන් රට අස්ථාවර කිරීමට කටයුතු කරන්නන් බවට තහවුරු වුණා.
විශ්වාස භංගය ඉදිරිපත් කිරීම මහින්ද රාජපක්ෂ කණ්ඩායම විසින් සිදු කළත් එම කණ්ඩායමේ පැහැදිලි බෙදීමක් පෙන්නුම් කළා. මෙම විශ්වාස භංගය ගේන්න උනන්දු වුණේ රාජපක්ෂ කඳවුරේ ගෝඨාභය රාජපක්ෂගේ කල්ලියයි. බැසිල් රාජපක්ෂගේ කණ්ඩායම පක්ෂව සිටියත් නිද්‍රාශීලී ලෙස හැසිරුණා.
මහින්ද රාපක්ෂගේ ක්‍රියාකාරිත්වය බැලූවාම, කථානායකවරයාට විශ්වාස භංගය භාර දෙන මොහොතේ ඔහුගේ මුහුණින් පෙන්නුම් කළේ බල්ලා නාවන්න ඇද ගෙන යන ස්වභාවයක්. මහින්ද රාජපක්ෂත් ඔහුගේ පුත් නාමල් රාජපක්ෂත් විශ්වාස භංගය පිළිබඳව විවාදයේදී කිසිදු ප්‍රකාශයක් කළේ නැහැ. විශ්වාස භංගය ජයග්‍රහණය කරන කිසිදු ක්‍රියාවලියකට ඔහු සහය වුණේ නැහැ. ඔහු කියා සිටියේ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමයි විශ්වාස භංගය දිනවීමට ක්‍රියා කළ යුත්තේ කියලා.
එනිසා මහින්ද රාජපක්ෂ කල්ලියේ පැහැදිලි බෙදීමක් පෙන්නුම් කළා. ගෝඨාභය රාජපක්ෂගේ අර්ශස් කල්ලිය ඇයි මේ තරම් විශ්වාස භංගයට උනන්දු වුණේ? රාජපක්ෂ කල්ලියේ දුෂිතයින් වැඩි පිරිසක් ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ අර්ශස් කල්ලිය තුළයි. මිනිස් ඝාතන, මිග් යානා ගනුදෙනු, මහා පරිමාණ මංකොල්ලකෑම්වල චූදිතයින් සිටින්නේ එතැනයි. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව බිඳ වට්ටවා එම චෝදනාවලින් ගැලවෙන්න ඔවුන්ට වුවමනාවක් තිබෙනවා. දේශපාලනය කියන්නේ ප්‍රලාප සහ වාචාලකම යැයි විශ්වාස කළ එම කණ්ඩායමේ පිරිස් අද ගලේ පහරපු බළලූන් ගණයට වැටී තිබෙනවා. බැසිල් රාජපක්ෂ කල්ලිය නිරන්තරයෙන් උත්සාහ කරමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ සමග ඞීල් දැමීම තුළින් ඔවුන්ට එල්ලවී තිබෙන චෝදනාවලින් බේරීමටයි.
මෙම විශ්වාස භංගයෙන් රට ගැන හෝ ජාතිවාදය ඉස්මතුවීම හෝ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව හෝ සංවාදය ප්රමුඛ වුණේ නැහැ. රාජපක්ෂ කල්ලියට අවශ්‍ය වුණේ තමන්ගේ ඝාතන සහ දුෂණ චෝදනාවලින් ආරක්ෂා වීමටයි. ඒ නිසා මේ විශ්වාස භංගයෙන් අපේ රටේ දේශපාලනයේ පිරිහීමේ ස්වභාවය මනාව පෙන්නුම් කර තිබෙනවා.
ඒ වගේම එක්සත් ජාතික පක්ෂය ඇතුළේ දරුණුතම ගැටුම්, විවේචන, බෙදීම් සමාජ ගත කරන කාල වකවානුවක් බවට පත් වුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මෙහෙය වන්නේත් පක්ෂය මෙහෙය වන්නේත් තමන් වටා සිටින සමීපතම කල්ලියේ වුවමනාවට බවත් ඔහු එජාප පාක්ෂිකයින් ගැන හිතනවා වෙනුවට වටේ ඉන්න ගජමිතුරු කල්ලිය ගැන හිතන බවටත් විශාල විවේචනයක් එල්ල වුණා. එවැනි ප්‍රකාශ සිදු කළ රංගෙ බණ්ඩාර, වසන්ත සේනානායක වැන්නවුන්ගේ සියලූ ප්‍රකාශ ඡන්දය දින රාත්‍රී 9.30 වන විට බැහැර වුණා. ඒ නිසා දේශපාලනයේ යටි ගනුදෙනු මජර කැත තත්වය ඒවායින් හෙළි වුණා.
රනිල් වික්‍රමසිංහ කල්ලියත් මෛත්‍රීපාල සිරිසේන කල්ලියත් මහින්ද රාජපක්ෂ කල්ලියත් ජනතාවට ලබාදුන් කිසිදු පොරොන්දුවක් විශ්වාස කළ නොහැකි තත්වයකට පත් වුණා. විජේදාස රාජපක්ෂ වැන්නවුන් සහ මෛත්‍රීපාල සිරිසේන කල්ලියේ මන්ත්‍රීවරුන් එයට හොඳම උදාහරණයි. ඒ වගේම විශ්වාස භංගය වැනි ඉතාම වැදගත් අවස්ථාවකදී පවා පාර්ලිමේන්තුව මඟ හරින පතෝල මන්ත්‍රීවරුන් 26දෙනෙකුත් හිටියා.
විශ්වාස භංග යෝජනාව ආපු දවසේ සිට ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය ඉතාම ඍජු, පැහැදිලි එකක් වුණා. අපි පැහැදිලිව කිවුවා, විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දෙනවා කියලා. ඒ වගේම විශ්වාස භංගයේ කරුණුවලට අමතරව තවත් කරුණු විශාල ප්‍රමාණයක් එයට ඇතුළත් විය යුතු බව අපි පැහැදිලි කළා. ඒ වගේම පාර්ලිමේන්තු විවාදයේදී ජනවාරි 08 සිට මෛත්‍රී - රනිල් ජනවරමට එරෙහිව කළ සියලූ කටයුතු අපි හෙළිදරව් කළා. රනිල් වික්‍රමසිංහටත් මෛත්‍රීපාල සිරිසේනටත් සත්‍ය වශයෙන්ම විශ්වාස භාංගයක් ගේන්න ඕනෑ. ඒ, ජනවාරි 08 ජනවරමට හවුල් වූ ජනතාව විසිනුයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැනටමත් ජන වරමට පිටුපා හමාරයි.
මෙම විශ්වාස භංග යෝජනාව ඉතාම අපරිණත එකක්. එයින් එජාපය අභ්‍යන්තරයේ තිබුණු අර්බුද සමනය කර දෙන්න සමත් වුණා. ඇමති ධුරවලින් ඉවත් කළ පුද්ගලයින්, මාස දෙකක් පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරන තත්වයකට පත් වුණා. එජාපය තුළ නාමික හෝ එකඟතාවයකට පත්වී තිබෙනවා.
පළාත් පාලන මැතිවරණයෙන් පරාජයට පත් වුණු එජාපයට විශ්වාස භංගය ගෙනා විගඩම්කාරීන් විසින් පාර්ලිමේන්තුවේදී ජයක් අත්කර දී තිබෙනවා. මෙම විශ්වාසභංගයෙන් පසුව රට තුළ මජර දේශපාලනයක් දිග හැරෙමින් තිබෙනවා. අගමැතිවරයාට එරෙහිව ඡන්දය පාවිච්චි කළ ඇමතිවරුන් අගමැතිවරයා යටතේ තව දුරටත් කැබිනට් මණ්ඩලයේ සිටින බව කියනවා. එනිසා ජනතාව තව දුරටත් නරඹන්නන් නොවී වග කිව යුතු දේශපාලනයකට පෙළ ගැසිය යුතුව තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ අපි හැමදාමත් රටටත් ජනතාවටත් වග කියන පක්ෂයක්. අපි කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අපි වග කියනවා. රටට අවශ්‍ය රටටත් තමන්ගේ ඡන්දදායකයින්ටත් වග කියන දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයිද? තව දුරටත් මේ සුකිරි බටිල්ලන්ගේ දේශපාලනයට, ආර්ථික අගාධයට වැටී තිබෙන අපේ රට ගොඩගන්න පුළුවන්කමක් නැහැ. අපේ රට ගොඩ ගත හැකි වන්නේ තමන් කරන ප්‍රකාශ ගැන වග කියන, ඡන්දදායකයාට වග කියන දේශපාලන ව්‍යාපාරයකට පමණයි. ඒ නිසා අපි ජනතාවට කියනවා, තව දුරටත් මේ සුකිරි බටිල්ලන්ගේ දේශපාලනය වෙනුවට රටටත් ජනතාවටත් වගකියන දේශපාලනයක් වෙනුවෙන් පෙළ ගැසෙන්න කියලා.
ඒ වගේම ඊයේ පස්වරුවේ සිරස මාධ්‍ය ආයතනය ඉදිරිපිට පිරිසක් විසින් ඇති කළ සිදුවීම හෙළාදකිනවා. විශ්වාස භංගය ජයග්රහණයෙන් පසුව සිරස මාධ්‍ය ආයතනය ඉදිරිපිටට රැස්වූ පිරිසක් විසින් ගල් ප්‍රහාර එල්ල කරමින් රතිඥ්ඥා පත්තු කරමින් එම ආයතනයේ සේවකයින් යම් කාලයක් අත්අඩංගුවට පත් කර ගැනීම අපි හෙළා දකිනවා.
අපේ රටේ මාධ්‍ය භාවිතය ගැන අපිට විවේචනයක් තිබෙනවා. මාධ්‍ය ආයතනවල දේශපාලනය ගැන අපිට අවබෝධයක් තිබෙනවා. නමුත් මාධ්‍ය ආයතන අපේ අනෙකා බවට පත් කර ගත යුතු නැහැ. මාධ්‍ය ආයතනවලට දේශපාලකයින් පිළිබඳව විවේචනය කිරීමට ඇති අයිතිය අපි පිළිගන්නවා. ඒ වගේම එම දේශපාලකයින්ට ඊට පිළිතුරු ලබාදීමටත් එය ප්‍රචාරය කිරීමටත් මාධ්‍ය ආයතන ඉඩ ලබාදිය යුතුයි. එසේ වුවහොත් පමණයි මාධ්‍ය සහ දේශපාලනය අතර යම් තුලනයක් ඇති වන්නේ. නමුත් එවැනි දේශපාලන විවේචනවලට පිළිතුරුදීමට කොන්දක් නැති අය තමයි මැරයින් ලවා පහර දෙන්නේ.
එනිසා එම ප්‍රහාරය අපි හෙළාදකින අතර මෙවැනි තත්වයන් වර්ධනය වීම වැළැක්විය යුතුයි. මහින්ද රාපක්ෂ පාලනයත් මාධ්‍යයට තර්ජනය පටන් ගත්තේ දුරකථන ඇමතුම්වලින්. අනතුරුව එය මාධ්‍යවේදීන්ගේ අතපය කැඞීම්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, මාධ්‍ය ආයතන ගිනිතැබීම්වලට වර්ධනය වුණා. අදත් එවැනිම ආකාරයෙන් රාජපක්ෂ පන්නයේ ක්රියාකාරිත්වයකට රනිල් වික්‍රමසිංහ අත තබා තිබෙනවා. මෙම සිදුවීම පිළිබඳව මාධ්‍ය ඇමතිවරයාගේ ස්ථාවරය කුමක්ද? ඒ වගේම අපි මෙවැනි සිදුවීම්වලට එරෙහිව ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු කර තිබෙනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්...
මෙම විශ්වාස භංගයෙන් රනිල් වික්‍රමසිංහ පරාජය වෙනවා නම් ඒ මල් වට්ටියටද, ජයග්‍රහණය කරනවා නම් ඒ මල් වට්ටියටද අත ගහන්න බොහෝ අය බලන් හිටියා. ඒ තමන්ට තාන්නමාන්න, වරප්‍රසාද ලබාගැනීම වෙනුවෙන් විනා වංචා දුෂණවලට එරෙහිවීමේ අරමුණින් නෙමෙයි. ඔවුන් කල්පනා කරන්නේ තමන්ගේ පිඟානට වැටෙන මස් කෑල්ලේ ප්‍රමාණයට අනුවයි.
පාර්ලිමේන්තුව කියන්නේ නඩු අහන තැනක් නෙමෙයි. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ වග කිව යුතුයි. අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරු ගිය පසු ඔහු ගියේ මඟුල් ගෙදරකට බවත් ඔහු නැවත පැමිණෙන බවත් ආදී වශයෙන් ප්‍රකාශ නිකුත් කළේ රනිල් වික්රමසිංහයි. නමුත් අද අර්ජුන මහේන්ද්‍රන් මේ රටට ගෙන්වා ගන්න බැරි තත්වයක් ඇති වී තිබෙනවා. මෙම ගනුදෙනුවට එරෙහිව ජනාධිපතිවරයාට විශාල කාර්ය භාරයක් තිබෙනවා. වසර තුනක් ගත වෙලත් ඒ සම්බන්ධව කිසිවක් නොකළ ජනාධිපතිවරයා, නීතිය පසෙක තබා පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ගෙනාවේ දේශපාලන බල සූදුවකට බව පැහැදිලියි. දැන් සිදු වී තිබෙන්නේ, දේශපාලන බල සූදුව පරාජයට පත්වීමයි. නමුත් විශ්වාස භංගයේ කරුණු පරාජය වී නැහැ. එම කරුණු රනිල් වික්‍රමසිංහට එරෙහිව තිබෙනවා.
වරාය විකුණන කොට මලික් සමරවික්‍රම බ්‍රෝකර් වැඬේ කළා. මහින්ද සමරසිංහ ගිවිසුම අත්සන් කළා. රටේ සම්පත් විකුණන කොට මේ අය ඉන්නේ එකට. බදු පනත සම්මත කර ගන්නේ මේ අය එකතු වෙලා. අයවැය සම්මත කර ගන්න කොට මේ සියලූ දෙනා එකට හිට ගන්නවා. මේ නිසා ඔවුන්ගේ දේශපාලනයේ තිබෙන්නේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නෙමෙයි. ඔවුන් තීන්දු තීරණ ගන්නේ තමන්ට ලැබෙන මස් කෑල්ලේ තරමටයි.
විශ්වාස භංගයට සහයදීමත් සමග ජනතා විමුක්ති පෙරමුණ රාජපක්ෂ කණ්ඩායම සමග පෙළ ගැසුණායැයි යම් සංවාදයක් තිබෙනවා. එසේ සිදුවී තිබෙන්නේ අපේ රටේ දේශපාලන බෙදීම් රේඛාව පිළිබඳ අනවබෝධය නිසයි. අපේ රටේ දේශපාලන බෙදුම් රේඛාව රාජපක්ෂ කල්ලිය හා රනිල් කල්ලිය යැයි බොහෝ දෙනා සිතනවා. ඒ බෙදීම වැරදියි. ඒ නිසා විටෙක ජවිපෙ ක්‍රියාමාර්ග රනිල්ට හේත්තු කරනවා. තවත් විටෙක රාජපක්ෂ පැත්තට හේත්තු කරනවා.
එම පැති දෙකට ඔබ්බබෙන් බලන්න ජනතාව සූදානම් නැහැ. ඇත්ත දේශපාලන බෙදීම වන්නේ රනිල්, මෛත්‍රී, මහින්ද කණ්ඩායම එක් පැත්තකටත් ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව මෙහා පැත්තේත් ලෙසයි. අපි දේ්ශපාලන තීන්දු තීරණ ගන්නේ රනිල්ට, මහින්දට පක්ෂපාතීද යන්න අනුව නොව ජනතාවගේ පැත්තේ සිටයි. අද සමහරු කියනවා, රාජපක්ෂ සමඟ සන්ධානයක් ගහන්න යනවා කියලා. රාජපක්ෂලා සමග ගිවිසුම් ගහනවා නම් ගහන්න වෙන්නේ හොරකම් කරන අයට තමන්ගේ පංගුව බෙදාගන්න විතරයි. අපි ඉදිරියටත් විපක්ෂය ලෙස ස්වාධීනව කටයුතු කරනවා. ඒ වගේම අපේ අභියෝගය වන්නේ ඇත්ත දේශපාලන බෙදීම සමාජගතකිරීමයි.
මෙම මාධ්‍ය හමුව සඳහා ජනත විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයාද එක්ව සිටියේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 7