නූපන් පරපුරට ද්‍රෝහී නොවනු-පාර්ලිමේන්තුවේ ගෞරවය තහවුරු කරනු

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරව රටට අනාගතයක් නැහැ ජාතික-ආගමික සහ දේශපාලන සමගිය වෙනුවෙන් පෙරට එනු පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය නොකෙළසනු නූපන් අනාගත පරපුරට ද්‍රෝහී වීමේ පාප කර්මයට අත නොගසා…
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරව රටට අනාගතයක් නැහැ
ජාතික-ආගමික සහ දේශපාලන සමගිය වෙනුවෙන් පෙරට එනු
පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය නොකෙළසනු
නූපන් අනාගත පරපුරට ද්‍රෝහී වීමේ පාප කර්මයට අත නොගසා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් ජාති, ආගම් සහ දේශපාලන සමගිය ඇති කිරීමට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.
දේශබන්දු කරු ජයසූරිය මහතා මේ අදහස් පළ කළේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ දී අඟහරුවාදා (07) සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කියා සිටියේය.
මෑත වකවානුවේදී පාර්ලිමේන්තුවේ සිදු වන සිදුවූ සහ අදටත් සිදු වෙමින් පවතින ඇතැම් ක්‍රියාකාරකම් දකින විට අප බලවත් ලෙස කම්පාවට පත් වනවා. මේ ගැන අප සඳහන් කරන්නේ දැඩි සංවේගයෙන් යුතුවයි.
දැන්වීම
පාර්ලිමේන්තු නියෝජිතයින්ට ගරු මන්ත්‍රීතුමා වශයෙන් ආමන්ත්‍රණය කරන්නේ ඔවුන් සැබවින්ම ගරු කටයුතු විය යුතු නිසයි. ඔවුන්ගේ දින චර්යාව ඒ පදවියට ගෞරවයක් ලෙස පැවතිය යුතුයි. ඔවුන්ගෙන් නිරූපණය විය යුත්තේ රටේ ගෞරවයයි. එබැවින් රටේ ජනතාවට අපහාසයක් සිදු නොවන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැසිරිය යුතුව තිබෙනවා.
අතීතයේදීත් පාර්ලිමේන්තුවේ ඇති වූ සමහර සිද්ධීන් නිසා අපේ පාර්ලිමේන්තුවේ ගෞරවයට සහ කීර්තිනාමයට විශාල හානියක් සිදු වුණා. අදත් එවැනි දේ පුන පුනා සිදු වන බවක් දකින්නට තිබෙනවා. මේ තත්ත්වය ඉතාම කණගාටුවට කරුණක් වනවා පමණක් නොව භයානක ප්‍රවණතාවයක් ද වනවා. මෑතක සිට පාර්ලිමේන්තුවේ දී කාන්තාවන්ට අපහාස කිරීම් වැනි සිද්ධීන් වාර්තා වුණා. එම තත්ත්වය අතිශයින්ම කණගාටුවට කරුණක් වනවා.
එමෙන්ම පාර්ලිමේන්තුවේ දී එකිනෙකාට චෝදනා කිරීම සඳහා අසභ්‍ය වචන පාවිච්චිය සහ චරිත ඝාතනය වැනි සිද්ධීන් ශීලාචාර සමාජය අනුමත කරන්නේ නැහැ. අද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රසිද්ධියේම තර්ජනය කරන සහ පහර දෙන මට්ටමට එම තත්ත්වයන් වර්ධනය වෙලා. විශේෂයෙන්ම අහඹු සිදුවීම් ලෙස නොව සංවිධානාත්මක සහ සැලසුම් සහගතව එවැනි සිද්ධීන් සිදු වන්නේ නම් එවැනි රටකට පාර්ලිමේන්තුවක් අවශ්‍ය වන්නේ නැහැ.
විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමටත් තර්ජන නිසා ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වන තුරු පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව වාර්තා වුණා. එම වාතාවරණය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් වනවා.
ඉතා ඉක්මනින් මේ සිද්ධිය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා මේ ප්‍රශ්නය නිරාකරණය කර ගනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වෙනවා. 2018 ඔක්තෝම්බර් 28 වෙනිදා සිදු වූ අප්‍රසන්න සහ ප්‍රචණ්ඩකාරී සිද්ධිය ද අද සේම ලෝකයාට ක්ෂණිකව ප්‍රචාරය වුණා. ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයම එම සිද්ධිය හෙළා දුටු අතර දින 52 ආණ්ඩුව කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක් පිළි නොගැනීම හේතුවෙන් රටට විශාල අපකීර්තියක් අත් වුණා. මේ කරුණු වේදනාවෙන් වුවත් සුළුවෙන් හෝ සඳහන් කළේ, අපේ පාර්ලිමේන්තුවේ ගරුත්වය ඉදිරියටත් රැක ගැනීමේ උදාර පරමාර්ථයෙනුයි. ඒ සිද්ධියට සහභාගි වූවන්ට මා අනුකම්පා කරනවා.
මහජන නියෝජිතයින් වෙනුවෙන් 2018 වර්ෂයේ දී ආචාර ධර්ම පද්ධතියක් අප ප්‍රකාශයට පත් කළේ පාර්ලිමේන්තුවේ සහ මහජන නියෝජිතයින්ගේ ගරුත්වය රැක ගැනීමටයි. එදා එම එකඟත්වය ඇති කර ගනු ලැබුවේ මුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ එකඟත්වයෙනුයි. එහි සඳහන් වැදගත් කරුණු වන්නේ,
01. සෑම මන්ත්‍රීවරයෙකුම මූලික අයිතිවාසිකම්වලට අදාළ නීතිය පිළිපැදිය යුතුයි.
02. සෑම මන්ත්‍රීවරයකු ම ජාතියේ යහපත සඳහා ක්‍රියා කළ යුතුයි.
03. සෑම මන්ත්‍රීවරයකු ම මහජන සබැඳියාවන් සැලකිල්ලට ගත යුතුය.
04. රජයේ පත්වීම්, කොන්ත්‍රාත්, යම් ප්‍රදාන හෝ වෙනත් යම් ප්‍රතිලාභ සඳහා තැනැත්තන් නිර්දේශ කිරීමේදී කුසලතා මත සිදු විය යුතුය.
එහි ඇතුළත් චර්යා රීති මෙසේය. සෑම මන්ත්‍රීවරයකු ම පාර්ලිමේන්තුවේ පහත දැක්වෙන රීතිවලට අනුකූල විය යුතුය.
A. හෘදය සාක්ෂියට එකඟව කටයුතු කිරීම.
B. මානව අයිතිවාසිකම්වලට සහ ජනතාවගේ නෛසර්ගික අභිමානයට ගරු කිරීම.
C. ජනතාවගේ විශ්වාසය සහ ගෞරවයට යෝග්‍ය වන පරිදි කටයුතු කිරීම.
D. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇති ජීව ගුණයෙන් බැඳී සිටීම සහ බලතල බෙදීමේ න්‍යාය සහ නීතියේ ආධිපත්‍යය යන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක සංකල්ප බලාත්මක කිරීම.
E. තමන් වගකිව යුතු චර්යාව සහ කාර්ය භාරය සම්බන්ධයෙන් වගකිව යුතු වීම.
F. යම් නීතියක් යටතේ තමන්ට භුක්ති විඳීමට හිමිකම් ඇති වරප්‍රසාද භාවිත කිරීම සහ තමා විසින් දරනු ලබන රාජ්‍ය නිලයෙහි කටයුතු අනලස්ව අභිමානයෙන් යුක්තව නිසි සැලකිල්ල ඇතිව ගෞරවයෙන් ඉටු කිරීම.
G. සෑම මන්ත්‍රීවරයෙකුම පාර්ලිමේන්තුව ඵලදායී සහ කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මකවීම සඳහා දායකවීම සම්බන්ධයෙන් පෞද්ගලිකව වග කිව යුතු වෙනවා.
H. සෑම මන්ත්‍රීවරයකුම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කාර්යභාරය, ස්වාධීනත්වය, අයිතිවාසිකම් සහ වගකීම්වලට ගරු කළ යුතුය.
I. සෑම මන්ත්‍රීවරයකු ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ දී විධායකය පාර්ලිමේන්තුවට වග කිව යුතු බව සහතික කිරීමෙහිලා වගකිව යුතුය.
J. කිසිම මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ හෝ එහි මන්ත්‍රීවරයන්ගේ හෝ රටේ කීර්තියට සහ ඒකාග්‍රතාවයට හානි කර වියි හැකි යම් කටයුත්තක් භාර නොගත යුතුය.
මීට අමතරව පොදු දේපළ භාවිතා කිරීම සහ පෙලඹවීම්, පැමිණීම, හැසිරීම් සේම ආචාරශීලීත්වය පාර්ලිමේන්තුවට පැමිණෙන විට සැරසිය යුතු ඇඳුම ගැන ද නීති රීති සඳහන් කර තිබෙනවා. වර්තමාන අර්බුදය මත සියලු ගරු මන්ත්‍රීවරුන්ගේ අවධානය පහත සඳහන් රීති ගැන යොමු කිරීමට කැමතියි.
*මන්ත්‍රීවරයන් ආචාරශීලීව කටයුතු කළ යුතු අතර, දේශපාලන කතාවලදී සහ විශේෂයෙන්ම පාර්ලිමේන්තු විවාදවලදී උචිත භාෂාවක් භාවිත කළ යුතුය.
* කිසිම මන්ත්‍රීවරයකු යම් තැනැත්තෙකුට පහරදීම, හිරිහැර කිරීම හෝ තර්ජනය කිරීම නොකළ යුතුය.
* සෑම මන්ත්‍රීවරයකු ම සිය සාමාජික මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද මහ ජනතාව ද සම්බන්ධයෙන් ගෞරවාන්විතව, ආචාරශීලීව සහ පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානි නොවන ආකාරයෙන් කටයුතු කළ යුතුය.
රටේ උත්තරීතර ස්ථානය වන පාර්ලිමේන්තුව ආදර්ශමත් ස්ථානයක් විය යුතුයි. එකිනෙකාගේ අදහස්වලට ගරු කිරීමටත් ඒ අයිතිය පිළි ගැනීමටත් ගරු මන්ත්‍රීවරුන් නිහතමානි විය යුතුයි. රටේ ප්‍රශ්න විසඳිය යුත්තේ පාර්ලිමේන්තුව තුළිනුයි. COVID-19 වසංගතයෙන් දහස් ගණනක් ජීවිත නැති වන විට විදේශ විනිමය හිඟකම නිසා ජන ජීවිතය අවුල් වී ඇති අවස්ථාවක සිදු විය යුත්තේ සමගියෙන් සහ එකමුතුව එම ප්‍රශ්න පාර්ලිමේන්තුව හරහා විසඳා ගැනීමයි.
එමෙන්ම ජාතික ආගමික සහ දේශපාලන සමගිය මෙරට ඇති නොවුණ හොත් රට තව දුරටත් පිරිහීම වැළැක්විය නොහැකියි. එසේ වුණොත් එම තත්ත්වය අප නූපන් අනාගත පරපුරට කරන ද්‍රෝහිකමක් වනවා. මෙම ආයාචනය සියලු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තුමන්ලාගේ කාරුණික අවධානයට යොමු වේවා..!