අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නීලකාස කම්බ හොරුන් ඇල්ලුවා නම් VAT ගහලා ජනතාව Flat කරන්න අවශ්‍ය නැහැ

නීලකාස කම්බ හොරුන් ඇල්ලුවා නම් VAT ගහලා ජනතාව Flat කරන්න අවශ්‍ය නැහැ

ආණ්ඩුව තෝරු-මෝරු ආරක්ෂා කර හාල්මැස්සන් අල්ලනවා සීනි බදු වංචනිකයන්ට ගත් නීතිමය ක්‍රියාමාර්ග මොනවාද..? සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීම නිසා කෝටි 1000ක් පාඩුයි කාබනික පොහොර මගඩිය නිසා සිදුවූ පාඩුව…

ආණ්ඩුව තෝරු-මෝරු ආරක්ෂා කර හාල්මැස්සන් අල්ලනවා 

සීනි බදු වංචනිකයන්ට ගත් නීතිමය ක්‍රියාමාර්ග මොනවාද..?

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීම නිසා කෝටි 1000ක් පාඩුයි

කාබනික පොහොර මගඩිය නිසා සිදුවූ පාඩුව ගණනය කරලත් නැහැ

නැනෝ නයිට්‍රජන් වංචාව  "Cope" හෝ "Copa" වෙත ඉදිරිපත් කරලත් නැහැ

ගල් අගුරු වංචාවේ සිදුවූ පාඩුව පියවා ගන්නේ කවදාද..?

ගෑස් වංචාවේ වග කිව යුත්තන් කවුද..?

විපක්ෂ නායක ආණ්ඩුවේ නීලකාසා කම්බ හොරකම් හෙළි කරයි 

නීලකාස කම්බ හොරුන් ඇල්ලුවා නම් VAT ගහලා ජනතාව Flat කරන්න අවශ්‍ය නැහැ

හාල්මැස්සන් අල්ලා තෝරු-මෝරු ආරක්ෂා නොකර ආණ්ඩුව හරියට නීලකාස කම්බ හොරුන් ඇල්ලුවා නම් "VAT" ගහලා ජනතාව පීඩාවට පත් කරන්න අවශ්‍ය වන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.

රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවට පත් කර, රටේ ජනතාවට අන්ත දුක්ඛිත අනාගතයක් උරුම කර දුන් පාර්ශ්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන් තීන්දුවෙන් පිළිබිඹු වූ බවත් එසේ හඳුනා ගත් ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩු කබ්රාල්, එස්. ආර්. ආටිගල, පී.බී. ජයසුන්දර, ඩබ්. ඩී ලක්ෂ්මන් සහ සමන්ත කුමාරසිංහ යනාදීන්ට අමතරව තවත් වග කිව යුත්තන් එම ආණ්ඩුවේ සිටියේද සහ ඔවුන්ගේ දූෂණ, වංචා සහ අක්‍රමිකතාවලට එරෙහිව  නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේද යන්න පිළිබඳව බදු බරින් මිරිකුණු ජනතාව ප්‍රශ්න කර සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. 

දැන්වීම

"VAT" ගහනවා වෙනුවට හොරකම් කළ හොරුන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් සමගි ජන බලවේග රජයක් යටතේ මෙම හොරුන්ව නීතිය හමුවට ගෙන විත් සියලු දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බදාදා (24) පාර්ලිමේන්තුවේදී ගෑස්, සීනි, නැනෝ නයිට්‍රජන්, ගල් අගුරු සහ අසූචි පොහොර වංචා සම්බන්ධයෙන් ගත් නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව ස්ථාවර නියෝග 27 (2) යටතේ රජයෙන් ප්‍රශ්න කරමිනි.

ගෑස්, සීනි, නැනෝ නයිට්‍රජන්, ගල් අගුරු සහ අසූචි පොහොර ආදී සෑම හොරකමකටමට විරුද්ධ පරීක්ෂණ ඉබි ගමනින් ගියත් ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට පරාටේ නීතිය ගෙනවිත් ඔවුන්ගේ දේපොළ වෙන්දේසි කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේම 2019-2022 කාලයේ දී සිදුවූ අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධ විශේෂ විගණන විමසුම් සම්බන්ධ ගැටලු ගණනාවක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් වෙන වෙනම ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය. 

ඒ අනුව 2020 ආණ්ඩුව සීනි කිලෝ ග්‍රෑම් එකක් සදහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බදු රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරිම නිසා පාරිභෝගික ජනතාව වෙත සහනයක් නොලැබුණත් රජයට රුපියල් මිලියන 16707ක් පාඩු සිදු වූ ආකාරය 2022.3.23 දින නිකුත් වූ විශේෂ විගණන වාර්තාවේ සදහන් වන බවත් එම වාර්තාව මහා ජන ගිණුම් කාරක සභාව වෙත යොමු කිරීමෙන් අනතුරුව ආදායම් නොලැබී යාමට වග කිව යුතු පාර්ශවය හඳුනා ගැනීමට සී.අයි.ඩී. වෙත 2022 ජුනි 21 දින යොමු කර මාස 19ක් ගත වී ඇති බවත් ඒ සඳහා වග කිව යුතු පාර්ශ්ව කවුරුන්ද කියා ප්‍රශ්න කර සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 

එසේම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය තර්කානුකූල පදනමකින් තොරව අතරමග නතර කිරීම නිසා රුපියල් කෝටි 1000ක පාඩුවක් සිදු වූ බව 2022.11.23 වැනිදා නිකුත් වූ විශේෂ විගණන වාර්තාවේ සඳහන් වන බවත් මෙම විශේෂ විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මාස 13ක් ගත වී ඇතත් "Cope" හෝ "Copa" හමුවේ සලකා නොබැලීමට හේතු කවරේද කියා ප්‍රශ්න කර සිටින බවත් හෙතෙම පැවසීය.

එමෙන්ම මේ අමනෝඥ මෝඩ තීන්දුව නිසා ජපන් රට අදටත් අප රටත් සමඟ අමනාපයකින් සිටින බවත් ඒ නිසා සිදුවූ පාඩුව පියවා ගැනීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද කියා පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි රජයට කියා සිටියේය.

2021-2022 කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96000ක ප්‍රසම්පාදනය නිසා රජයට ඇමරිකානු ඩොලර් 69000ක පාඩුවක් සහ ගණනය කර නොමැති විශාල පාඩුවක් සිදුව ඇති බව 2022.8.26 වැනි දින විගණන විශේෂ වාර්තාවේ සදහන්ව ඇති බවත් මෙම වාර්තාව නිකුත් වී මාස 16ක් ගත වී ඇතත් තවම  "Cope" හෝ "Copa" කමිටුවල සලකා බලා නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා හෙළි කළේය. 

නැනෝ නයිට්‍රජන් දියර පොහොර බෝතලයක් ඇමරිකානු ඩොලර් 5.25ක ට ලබා ගත හැකියාවක් තිබුණත් ඇමරිකානු ඩොලර්  12.45ක් සහ 10ක් යටතේ මිල දී ගැනිමට රුපියල් මිලියන 711ක පිරිවැයක් දරා ඇති බව 2023.12.13 දින විශේෂ විගණන වාර්තාවේ සඳහන් වන බවත් පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා මේ නිසා රජයට සිදුවූ පාඩුව කොපමණ ද සේම මෙම වාර්තාව  "Cope" හෝ "Copa" හමුවේ සලකා බලන්නේ කවදාද කියා රජයෙන් ප්‍රශ්න කර සිටියේය. 

ගල් අඟුරු සමගාම විසින් රුපියල් බිලියන 500කින් යුත් ප්‍රසම්පාදනයක් සුදුසුකම් රහිත සැපයුම්කරුවකුට ලබා දීමට එකඟ වීමට පෙර නිතිපතිගෙන් උපදෙස් ලබා ගෙන නොමැති බවත් එහිදී ප්‍රසම්පාදන කමිටුව සහ තාක්ෂණ ඇගයුම් කමිටුව එම කාර්ය හරියට සිදු කර නොමැති බවට 2022.9.30 වැනි දින විශේෂ විගණන වාර්තාවේ සදහන් වන බවත් එම වාර්තාවේ නිර්දේශ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවද අනුමත කර ඇති මොහොතක රජයට සිදුවූ පාඩුව සේම එම පාඩුව පියවා ගැනීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද කියා ප්‍රශ්න කර සිටින බවත් හෙතෙම සඳහන් කළේය. 

එල්.පී.ජී. ප්‍රසම්පාදනයේදී අඩු මිලක් යටතේ සියාම් ගෑස් ට්‍රේඩින් වෙතින් මිලදී නොගෙන ඕකියුම් ට්‍රේඩින් වෙතින් ඉහළ මිලකට මිලදී ගැනිම නිසා රජයට රුපියල් මිලියන 1138ක අමතර වැයක් දැරීමට සිදුව ඇති බවත් නිසි පරිදි මුදල් ඇස්තමේන්තුවකින් හෝ අරමුදල් සම්පාදනය පිළිබඳ තහවුරුවකින් තොරව ගෑස් ඇණවුම් කිරීම නිසා නැව් ගාස්තු වශයෙන් රුපියල් මිලියන 210ක මුදලක් මාස 5ක කාලයක දී අමතරව ගෙවීමට සිදු වූ බව 2022.12.11 වැනි දින විශේෂ විගණන වාර්තාවේ සදහන් වන බවත් මෙම වාර්තාව පවා "Cope" හෝ "Copa" හමුවේ සලකා බලා නොමැති බවත් ඒ සඳහා වග කිව යුත්තන් කවුරුන්ද කියා හෙළි කළ යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

හෙට අනිද්දා පාර්ලිමේන්තුව කල් දමන බවට ආරංචි වුවත් තමා ඇසු ප්‍රශ්නවලට හරියාකාර පිළිතුරු නොමැති බවත් ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අධික ණය බරින් සිටින ව්‍යාපාරිකයන් 10 දෙනා නම් කරන ලෙස ඉල්ලා සිටියත් අදටත් ඒ සඳහා පිළිතුරු නොමැති බවත් ජනමාධ්‍ය ඉදිරියේ හාල්මැස්සෝ ඇල්ලුවට ණය ගත්ත ගජ මිතුරන් ආරක්ෂා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් චෝදනා කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
නීලකාස කම්බ හොරුන් ඇල්ලුවා නම් VAT ගහලා ජනතාව Flat කරන්න අවශ්‍ය නැහැ | Lanka Newsweek