නීතිය පිලිබඳ ජනතා විශ්වාසය බිඳීයාම බරපතළ ප්‍රශ්නයක්

ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කරන බවට සහතික වී තිබෙන ආයතනයක් වන නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ දේශපාලඥයින්ගේ අධි චෝදනා ඉවත් කර ගැනීම පිළිබඳව පැහැදිලි කිරීමක් නොකිරීම බරපතළ තත්වයක් බව ජාතික ජන…
ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කරන බවට සහතික වී තිබෙන ආයතනයක් වන නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ දේශපාලඥයින්ගේ අධි චෝදනා ඉවත් කර ගැනීම පිළිබඳව පැහැදිලි කිරීමක් නොකිරීම බරපතළ තත්වයක් බව ජාතික ජන බලවේගයේ නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා පවසයි.
ජාතික ජන බලවේගයේ නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා මේ බව කියා සිටියේ ඉරිදා(17) කොළඹ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේ දී වන අතර එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
අද වෙනකොට ඇතිවෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නය විවිධ මහාධිකරණවල විභාග වුණු යම් අධි චෝදනා නඩු සංඛ්‍යාවක් ඉල්ලා අස්කරගෙන තිබීමයි. සමහර පුද්ගලයන්ට විරුද්ධව නීතිමය දැල ක්‍රියාත්මක නොවන බවට අපේ රටේ සාමාන්‍ය මතයක් තිබෙනවා. ඒවා බරපතළ අපරාධ.
දැන්වීම
ඊට අදාළ විමර්ශන ගොණුවක් නැවත විමර්ශනය කරන්න ජ්‍යෙෂ්ඨ නීතිඥ මණ්ඩලයක් නීතිපතිවරයා විසින් පත්කරන අවස්ථා තිබෙනවා. අදාළ සියලු කරුණු විශ්ලේෂණය කර අඩුපාඩුවක් නොවන තත්වයට සියලු තොරතුරු උපදෙස් සහ දත්ත පෙළගස්වනවා. අධිචෝදනා පත්‍රයක් සකස් කිරීම හෝ නොකිරීම සිදුවෙන්නේ ඉන් පසුවයි.
මෙවැනි විමර්ශන සිදුවෙන්නේ සාමාන්‍යයෙන් නීතිපතිවරයාගේ සෘජු අධික්‍ෂණය යටතේයි. අද අපි කතා කරන නඩු අති බහුතරයක් මෙවැනි ක්‍රියාවලියක විමර්ශනයට ලක්වුණු ඒවා. එවැනි අධිචෝදනා පත්‍රයක් ඉවත් කර ගන්නේ මොන පදනමකින්ද කියලා ජනතාව දන්නේ නැහැ.
නමුත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කරන බවට සඳහන් වී තිබෙන ආයතනයකින් මීට අදාළ පැහැදිලි කිරීමක් නොකිරීම බරපතළ තත්වයක්. ජනතාව වෙනුවෙන් වගකීම සහ වගවීම යන දෙකම ඔවුන්ට තිබෙනවා. නීතිපතිවරයා ගන්නා යම් තීරණයකදී වගකීම සහ වගවීම ජනතාවට පෙන්නේ නැත්නම් එතැන බරතපළ දෝෂයක් තිබනෙවා.
ලංකාවේ අපරාධ නඩු සම්බන්ධයෙන් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ අදාල තොරතුරු දක්වා තිබෙනවා. මහේස්ත්‍රාත් අධිකරණයක හෝ මහාධිකරණයක මුල් අවස්ථාවේ නඩු පැවරීම සම්බන්ධයෙන් සියලු ප්‍රතිපාදන ඇතුළත් වෙන්නේ මේ සංග්‍රහය තුළ. මහාධිකරණ විනිශ්චයකාරවරයාගේ එකඟතාවය මත අධිචෝදනාපත්‍ර ඉවත් කර ගැනීමේ හැකියාව නිතිපතිවරයාට තිබෙනවා.
ඒ වගේම චෝදනාවක් ඉල්ලා අස්කර ගැනීමේ හැකියාවත් තිබෙනවා. නමුත් මේ අභිමතය ක්‍රියාත්මක කරන්නේ යම් හේතුවක් නිසාද යන්න පැහැදිළි වෙන්න ඕනෑ. අභිමතානුසාරී බලයක් අත්තනෝමතික ලෙස හෝ නීති විරෝධී ලෙස ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ.
රටේ පුරවැසියන්ට සිදුවුණු පීඩාවකට අදාළ පැමිණිල්ලක් දීර්ඝ ක්‍රියාවලියකින් අනතුරුව අධිචෝදනාවක් හැටියට පත්වුණු පසු අහේතුකව ඉල්ලා අස්කර ගැනීමෙන් වින්දිතයන් ඊළඟට ගතයුතු පියවර කුමක්ද? කරන්නාගොඩ නිදහස් කිරීම සම්බන්ධයෙන් තියෙන්නේ එවැනි තත්වයක්.
ඔහු හිටපු නාවික හමුදාපති වෙන්න පුලුවන්. නමුත් මේ පැමිණිල්ලේ පීඩාවට පත් පාර්ශ්වයට ඒ අගතිය ගැන ඊළඟට කියන්න පුලුවන් කාටද? අධිකරණ පද්ධතිය, නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන පද්ධතිය සම්බන්ධයෙන් විශ්වාසයක් රටේ ජනතාවට නැති වුණොත් සමස්ත සමාජයම විශාල බිඳවැටීමකට ලක්වෙනවා. “උසාවි ගිහින් වැඩක් නැහැ” කියලා මිනිස්සු හිතනවා.
යම් කිසි කාරණයක් දිහා සාධාරණව බලන පැති කිහිපයක් තියෙන්න පුළුවන්. අධිකරණයත් අයත් වෙන්නේ ඒ සාධාරණය සම්බන්ධයෙන් තීන්දු දෙන්න. නමුත් මේ පද්ධතිය ගැන මිනිස්සුන්ගේ අවිශ්වාසයක් ඇති වුණොත් ඇතිවෙන්නේ මොකක්ද? විශාල ධනයක් වැය කරමින් පවත්වාගෙන පද්ධති බිඳවැටීමෙන් කිසිදු සෙතක් වෙන්නේ නැහැ.
අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් යම් වරදක් තිබෙනවා නම් ඒ වරද සිදුවූ තැන දැන ගැනීමේ අයිතියක් ජනතාවට තිබෙනවා. සමහර නඩුවලදී සාක්‍ෂිකරුවන්ගේ මතකය දුර්වල වීමෙන් ඒ සාක්‍ෂිකරුවන් ඉවත් වුණු අවස්ථා තිබෙනවා. එවැනි දේ පිළිගන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී සාක්‍ෂිකරුවන් සංශෝධනය වීමක් වෙන්න පුළුවන්.
නමුත් විමර්ශනවලදී සිදුවුණු යම් අඩුපාඩුවක් පිළිබඳව කිසිදු සඳහනක් නැතිව ආණ්ඩු දෙකක් මාරු වීමෙන් පසුව මෙවැනි දේ සිදුවීම පිළිගන්න බැහැ. ආණ්ඩු වෙනස් වූ පමණින් අධිචෝදනාවල තිබෙන විමර්ශන සටහන් වෙනත් සාක්‍ෂි වෙනස් වෙන්න බැහැ.
දුරකතන අංක සහ වෙනත් දත්ත වෙනස් වෙන්න බැහැ. කොටින්ම චෝදනා පත්‍රයේ කඩදාසිවල සඳහන් කරුණු ආණ්ඩු වෙනස් වීමෙන් වෙනස් වෙන්නේ නැහැ. එහෙම නම් දේශපාලන බලය වෙනස් වන විට අපරාධය, අපරාධයක් නොවෙන්න හැකියාවක් නැහැ.
මේ සමස්තය දිහා බැලුවාම අපටත් බොහොම වගකීමකින් දෙයක් කියන්න සිදුවෙනවා. මේ රටේ ජනතාව විදිහට අපි එකතු වෙලා දණ්ඩ නීති සංග්‍රහහයට, පොදු දේපොළ පනතට හෝ වෙනත් ඕනෑම අපරාධයක් සම්බන්ධයෙන් නීතියකට අලුතින් සංශෝධනයක් ගේන්න වෙනවා. “ලංකාවේ අපරාධ නීතිය හෝ වෙනත් නීතියක් බලයේ සිටින දේශපාලකයන්ට අදාළ නැත.” කියලා යොදන්න වෙනවා.
දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තිබුණු වගන්ති අපට පවා පුදුමයට පත්වෙනවා. ඉතාම අපුල හැඟීමක් ඇතිවෙනවා. නමුත් ඒක තමයි ඒ රටේ එදා තිබුණු නීතිය. මේ රටේ දේශපාලකයන්ට අපරාධ නීතිය අදාළ වෙන්නේ නැහැ කියලා දකුණු අප්‍රිකාවේ නීතිය වගේ එකක් සම්මත කරගත යුතුයි.
එහෙම නොකර මහජනතාවගේ මුදල් විනාශ කරමින් විදේශවලට පවා යන විමර්ශන ගමන් නවත්වා දැමිය යුතුයි. තමන්ම නඩු දාපු නිතිපති දෙපාර්තමේන්තුව ඊලඟවතාවේ කියනවා නම් අධි චෝදනා ඉල්ලා අස්කර ගන්නා බව එවැනි නඩු පවරන්න ඕනෑ නැහැ. අපේ රටේ දේශපාලකයන්ට විරුද්ධව නඩු පවරන්නේ නැහැ කියලා වගන්තියක් එනවා නම් අපටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්.
ඒ අයටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. අන්න එවැනි සාකච්ඡාවකට හරි යන්න වෙනවා. එහෙම නැත්නම් ජාතික ධනය වැය කරලා නිසි ආකාරව නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතුයි. එහෙම නැත්නම් මහජන ධනය නිරර්ථක ලෙස වැය කිරීම නැවැත්විය යුතුයි.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මෙසේ ද පැවසීය.
පහුගිය කාලයේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් පැවරූ නඩු තිබෙනවා. මේ දෙකෙන් අල්ලස් කොමිසමේ නඩු ඉවත්කර ගන්න හේතු වුණේ තාක්‍ෂණික ගැටළු. එම කොමිසමේ කොමසාරිස්වරුන් තුන් දෙනාගේම අත්සනින් අදාළ නඩු ගොණු කර නොතිබූ බව සඳහන් කරමින් ඉල්ලා අස්කර ගත්තා.
නමුත් ඒ නඩුත් නැවත පැවරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා අස්කර ගත් නඩුත් නැවත පැවරීමේ හැකියාව තිබෙනවා. ඉල්ලා අස්කර ගැනීම කියන කාරණය මත ඒ නඩුවල ජීවය අවසන් වෙන්නේ නැහැ. අල්ලස් කොමිසම ඉල්ලා අස්කර ගත් නඩු නැවත පවරන්නේ කවදද කියලා ජනතාව බලාගෙන ඉන්නවා. නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙනුත් මේ හැකියාව තිබෙනවා.