නීතියේ උත්තරීතරභාවය කඩකරන ආණ්ඩුවකට ජාත්‍යන්තර ආධාර නෑ

අසල්වැසි රටවල් කොවිඩ් කාලේ විදේශ වත්කම් වැඩි කරගෙන ආර්ථික කඩා වැටීමට ආණ්ඩුව වග කිව යුතුයි උත්තර දෙන්න බැරුව මුදල් ඇමති හැංගිලා ආණ්ඩුව බලයට පත්වෙලා පලවෙනි අයවැයෙන්ම බිලියන 800 ක් නැති කරගත් බවත්…
අසල්වැසි රටවල් කොවිඩ් කාලේ විදේශ වත්කම් වැඩි කරගෙන
ආර්ථික කඩා වැටීමට ආණ්ඩුව වග කිව යුතුයි
උත්තර දෙන්න බැරුව මුදල් ඇමති හැංගිලා
ආණ්ඩුව බලයට පත්වෙලා පලවෙනි අයවැයෙන්ම බිලියන 800 ක් නැති කරගත් බවත් ආණ්ඩුවේ ප්‍රශ්ණ වලට මුල් වී ඇත්තේ එය බවත් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක (පා:ම) අධිනීතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.
සඳුදා (15) දින 2022 අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමින් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක (පා:ම) අධිනීතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේය.
ගරු කථානායකතුමනි, විවාදය ආරම්භකිරිමට පෙර කොළඹ - මහනුවර මාර්ගය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ගැටළුව පිළිබඳ අවධානය යොමුකරන්න කැමතියි. මොකද කඩුගන්නාව ප්‍රදේශයේ පාර වහලා තියෙනවා. මේක බැරැරුම් ප්‍රශ්ණයක්. මේ පාර අවුරුදු 150 පමණ පරණයි. කන්දට උඩින් රේල් පාර තියනවා. රේල් පාරේ තෙරපීමක් තියෙනවා.
දැන්වීම
ඒ නිසා මම රජයෙන් ඉල්ලිමක් කරනවා මධ්‍යම අධිවේගි මාර්ගයේ මිරිගම - කුරුණෑගල කොටස විවෘත කරන්න කියලා. ඉංජිනේරුවරුන්ගෙන් මම ඇහැව්වා. ඒ අය සුදානම් පාර විවෘත කරන්න. 2020 ජනවාරි මාසයේ අගමැතිතුමාගෙන් මේ ගැන ප්‍රශ්ණයක් ඇහැව්වාම එතුමා කිව්වා 2020 අගෝස්තු වෙනකොට පාර විවෘත කරනවා කියලා. ප්‍රමාද වෙලා හරි දැන් තමා වෙලාව පාර විවෘත කරන්න.
ජෝන්ස්ටන් ඇමතිතුමා මෙතන දැන් කාරණාවක් කිව්වා. ඒ පිළිබඳව අපි විවාදයකට සූදානම්. කෝප් කමිටුව මේ සියල්ල පරික්‍ෂා කරලා කිසිම දෙයක් නෑ කියලා වාර්ථාවක් දිලා තියනවා. 2015 අපි බලයට එනකොට මධ්‍යම අධිවේගි මාර්ගයේ එක බිම් අගලක් මැනලා තිබුණේ නෑ. මම ඇමති කාලේ ඉඩම් කැබලි 20,000 ක් මැන්නා. මැනලා කොටස් 03 කට දේශිය කොන්ත්‍රාත්කරුවන්ට ලබා දුන්නා. අපි පාර භාරදෙනකොට 90% වැඩ අවසන් කරලයි දුන්නේ. ඒක තමා යථාර්තය. අගමැතිතුමා ඒක පිළිගත්තා. කැබිනට් ඇමතිවරයෙක්ට කොන්ත්‍රාත් දුන්නා කිව්වා. මම අහන්න කැමතියි වත්මන් ආණ්ඩුවෙන් එතුමාට පාරවල් හදන්න කොන්ත්‍රාත් දිලා නැද්ද?
ගරු කථානායකතුමනි, මම අරක්කු පෙරන මිනිහෙක් නෙමෙයි, කසිප්පු පෙරන මිනිහෙක් නෙමෙයි අරක්කු පෙරන, බයිබලයෙන් ගහපු, පුටු පෙරලපු මිනිස්සු නෙමෙයි. මම ඉල්ලුවේ පාර අරින්න විතරයි. උත්තර නැති උනාම අපහස කරනවා.
ගරු කථානායකතුමනි, වත්මන් ආණ්ඩුව බලයට පත්වු ගමන්ම බිලියන 800 ක් නැති කරගත්තා. ආණ්ඩුවේ ප්‍රශ්නවලට මුල එතන තියෙන්නේ. යහපාලන රජය බලයට එනකොට අපේ ආදායම මිලියන 1000 යි. අපේ අවුරුදු හතර හාමාර තුල අපි ආදායම මිලිියන 2000 කට ආසන්න ගාණකට ගෙනාවා. ආදායම දෙගුණයක් කර ගත්තා.
අපි ජිවන වියදම පාලනය කලා. රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කලා. අපි රජයට බදු ගත්තේ පොඩි මිනිහගෙන් නෙවේ. අපි බදු ගත්තේ ලොකු ලොකු කොම්පැනි වලිනුයි. සමෘද්ධිය දෙගුණයක් කලා, ළමුන් රක්‍ෂණය කලා, ඉල්ලපු සෑම වෘත්තීය සමිති ඉල්ලීම් අපි ලබා දුන්නා. ගුරුවරුන්ගේ ප්‍රශ්ණය 2020 මුල් කාර්තුවේදි අපි විසදන්න හිටියේ. විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්ණය අපි 2020 ජනවාරි විසදන්නයි හිටියේ.
ගරු කථානායකතුමණි, මෙතන මුදල් ඇමතිතුමත් නෑ. නියෝජ්‍ය ඇමතිතුමත් නෑ. මුදල් ඇමති තුමා එන්නේ නැ. අපි කාටද කථා කරන්නේ? අපිට ඔනේ නිල වශයෙන් උත්තර දෙන්න පුළුවන් කෙනෙක්. කවුද ඉන්නේ මෙතන? උත්තර දෙන්න බැරුව මුදල් ඇමති හැංගිලා. මම ප්‍රශ්ණ අහන්නේ මට උත්තර දෙන්න පුලුවන් කෙනෙක්ගෙන් හාල්පාරුවන්ගෙන් ප‍්‍රශ්ණ අහන්න සුදානම් නෑ.
ආණ්ඩුවේ අපේක්‍ෂිත ආදායම ලැබෙන්නේ නැ කියලා ආණ්ඩුව පිලි අරන් තියනවා. මේ අයවැයේ කාර්තුවෙන් කාර්තුවටයි මුදල් වෙන් කරන්න යෝජනා කරලා තියෙන්නේ. එකෙන්ම පේනවා ආණ්ඩුවට ආදායම ගැන විශ්වාසයක් නෑ. මෙකෙන්ම පේනවා ආණ්ඩුවේ අස්ථාවරභාවය.
මුදල් ඇමතිතුමා හිටියානම් අහන්න හිටියේ රටේ දැවෙන ප්‍රශ්න දෙකටම උත්තර තියෙනවාද? එක මේ ඩොලර් ප්‍රශ්ණය, යහපාලන ආණ්ඩුවට ඕන තරම් ඩොලර් තිබුණා. නමුත් අද ඩොලර් නෑ. බැංකුවට කථා කලාම එක බැංකුවක් කිව්වා ඩොලර් 100 යි තියෙන්නේ කියලා. ලැජ්ජයි කියන්න. අපි අහනවා ඩොලර් ප්‍රශ්ණයට උත්තරයක් තියෙනවාද? අනිත් කාරණය ණය, ණය ගෙවන්නේ කොහොමද? ගෙවන මාර්ගයක් තියෙනවාද? එවාට උත්තර නෑ.
කොහොමද ඩොලර් හොයන්නේ? අපනයනය වැඩි කරගන්න ඕනේ. නමුත් අපනයනය ගැන වචනයක්වත් කථා කරලා නෑ. මම කියන්නේ කාලීන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඔනේ. මුදල් ඇමතිතුමාට ඉන්න කියන්නේ එකයි. අපිට උදව් කරන්න පුළුවන් එතුමාට. පාර්ලිමේන්තු සම්ප්‍රදාය දන්නේ නෑ. එන්නේ නැතිව මාධ්‍ය සාකච්ඡා තියනවා හවසට. ලැජ්ජයි.
රටේ රාජ්‍ය සේවකයෝ බරක් කිව්වා කොච්චර අපහාසාත්මක කථාවක්ද? මේ රාජ්‍ය සේවකයෝ රටට බරක්ද? ෙම් අය තමා රාජ්‍ය සේවය නම ලක්‍ෂයේ ඉදලා 17 ලක්‍ෂය දක්වා වැඩි කලේ. එක්සත් ජාතික පක්‍ෂය, සමගි ජන බලවේගය හැමදාම කිව්වා පුද්ගලික අංශයට මේ රටේ කාර්්‍යභාරයක් තියෙනවා කියලා. මේ අය ඡන්දය ගන්න රාජ්‍ය සේවය වැඩි කරලා දැන් කියනවා බරක් කියලා. රාජ්‍ය සේවයට අපහාස කරන්න එපා. නිදහස් අධයාපනයට පසු ළමයි ඉගෙන ගෙන රාජ්‍ය සේවයට බැදිලා තියෙනවා. අපි රාජ්‍ය සේවයේ වටිනාකම තේරුම් අරගෙන අපි රුපියල් 10,000 කින් පඩි වැඩි කෙරුවා.
අපේ රටේ 80% ක් ඉන්නේ ගොවියෝ. රසායනික පොහොර ප්‍රශ්ණයේදි කාබනික පොහොරවලට පරිවර්ථනය ගැන ගොවියත් සමග සාකච්ඡා කෙරුවාද? සාකච්ඡා කෙරුවේ නෑ. සෞභාග්‍යයේ දැක්මේ තියෙන්නේ අවුරුදු 10 කින් කරනවා කියලා. අවුරුද්දෙන් කරනවා කියලා නෑ. මේක මුදල් නැතිකම නිසා සිද්දධ වෙච්ච දෙයක්. කන්ද උඩරට පලාතේ තේ අස්වැන්න 50% ක් අඩුවෙලා. හසලක, මිනිපේ, මයියංගනයේ කිසිම ගොවියෙක් ගොවිතැන ආරම්භ කරලා නෑ. රසායනික පොහොර නැතිව කාබනික පොහොර හදාගන්න කිව්වා. 12,500 ක් දෙනවා කිව්වා ඒකත් තාම හරියට දීලා නෑ. ඇයි මෙහෙම කරන්නේ මුළු රටම අනතුරේ දැමිමක් මේ කරන්නේ.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ කියලා තිබුණා මේක පතොල අයවැයක් කියලා. මේ අය අහනවා අපි ආවොත් කොහොමද රට පාලනය කරන්නේ කියලා? ඩොලර් හොයන්නේ කොහොමද? ණය ගෙවන්නේ කොහොමද කියලා. අපි ඒකට උත්තරයක් දෙන්නම් අපි ආණ්ඩුව නම්ල තමුන්නාන්සේලාටත් කියන්නේ ජාත්‍යන්තරය සමග කථා කරලා මේ ණය නැවත ගෙවන්න දීර්ඝකාලීන කාලරාමුවක් හදාගන්න.
අවුරුදු 5 න් ගෙවනවානම් කථා කරලා අවුරුදු 10 න් ගෙවන්න හදා ගන්න. එතකොට හුස්ම ගන්න ඉඩක් ලැබෙනවා එක අවුරුදුදකට ඩොලර් මිලියන 6 ක් ගෙවන්න ඔනේ ඇමෙරිකානු ඩොලර් ගෙවන්න පුළුවන්ද? මේ අවුරුද්දේ දේපල වික්කා. ඊලඟ අවුරුද්දේ මොනවද විකුණන්නේ?
ජාත්‍යන්තරයත් එක්ක කථා කරන්න අපිට පුළුවන් ඒක කරන්න මොකද අපි ජාත්‍යන්තරයත් එක්ක වැඩ කරන පක්‍ෂයක්. අපේ ආණ්ඩුව 2015 ආවා විතරයි GSP+ සහණය දුන්නා. මොකද ඒ අය දැන ගත්තා අපේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන, සුළු ජාතින්ට හිරිහැර නොකරන, මානව හිමිකම් ආරක්ෂා කරන ආණ්ඩුවක් කියලා. නිතීයේ උත්තරිතරභාවය කඩ කරන සුළුජාතින්ට හිරිහැර කරන ආණ්ඩුවකට ජාත්‍යන්තර ආධාර නෑ. ඒක තේරුම් ගන්න. මේ ආණ්ඩුවට අද ඩොලර් තියා රුපියල්වත් නෑ.
කණගාටුවෙන් හරි කියනවා ගෝඨාභය යන්නේ මහින්ද රාජපක්‍ෂ ගිය පාරේ. එතුමා යුද්ධය දින්නා ඉතිහාසයට එක් වුණා. නමුත් මානව හිමිකම් වැනි ප්‍රශ්ණවලදි දුර්වල උණා. 2012, 2013, 2014 අපේ රටට විරුද්ධව යෝජනා ආවා. 2015 ආර්ථික සම්භාධක එන්න තිබුන නිසයි. එදා එතුමා ඡන්දයකට ගියේ. මේ ආණ්ඩුවත් යන්නේ ඒ පාරේමයි.
පලවෙන් අවුරුද්දෙම UNA එක තරහා කරගත්තා. අපිට විරුද්ධව යෝජනාවක් සම්මත උනා. යුරෝපා හවුල කිව්වා GSP+ සහනය ගැන යලි සලකා බලන්න වෙනවා කියලා. ලබන මාර්තුවේ මොනවා වෙයිද දන්නේ නෑ UNA එක රැස් වුනාම. අපිට පුළුවන් ජාත්‍යන්තරයත් එක්ක කථා කරලා මේ ණය දීර්ඝ කාලයකට ගෙවන්න හදා ගන්න තමුන්නාන්සේලා එහෙම කරොත් ඉදිරි අවුරුදු 2 කරගෙන යන්න පුළුවන්.
ගරු කථානායකතුමනි, මේ අය මොන දේටත් කියන්නේ කොවිඩ් කියලා. නමුත් අසල්වැසි එකම රටකවත් පෝලිම් තියනවාද භාණ්ඩ මිළදි ගන්න. ඉන්දියාවේ, පාකිස්ථානයේ බංගලාදේශයේ. අවට එක රටකවත් පෝලිම් නෑ. කොවිඩ් කාලයේ මේ රටවල් තමන්ගේ විදේශ වත්කම් වැඩි කරගෙන තියෙනවා. ඉංදියාව 2019 විදේශ සංචිත 424 ඩොලර් මිලියන 2021දි 612ට නැග්ගා සංචිත වැඩි වෙලා. බංගලාදේශයේ 32.4 ඩොලර් මිලියන. 2021දි 44 ඩොලර් මිලියන, හැම රටේම විදේශ සංචිත වැඩි වෙලා. ලංකාවේ විතරයි විදේශ සංචිත අඩුවෙලා තියෙන්නේ. මෙකට ආණ්ඩුව වග කියන්න ඕනේ.
අද ජනතාවට මොන පැත්තකින් හරි සහණයක් තියෙනවාද? සහනයක් නෑ පාසල් අවුල් වෙලා, රාජිත සේනාරත්න ඇමති කාලේ බෙහෙත් මිළ කොච්චර අඩු කලාද. සේනක බිබිලේ වාර්ථාව ගෙනල්ලා බෙහෙත් මිළ පාලනය කලා. අද ඇතැම් බෙහෙත් 100% මිල වැඩි වෙලා කෝ ජනතාවට ජිවත් වෙන්න සහනයක්? අපේ රටේ මිළ පාලනයක්වත් තියනවාද? අවුරුදු 33ක් මම පාර්ලිමේන්තුවේ ඉන්නවා මම කිසි දවසක දැකලා නෑ ආණ්ඩුවක් මිළ පාලනය අත් හැරපු. ආණ්ඩුවට පාලනයක් නෑ වෙළඳ මාෆියාව මේක බදාගෙන කටයුතු කරනවා.
අද මුදල් ඇමතිතුමා මෙතන නෑ. උත්තර දෙන්න කෙනෙක් නෑ නිල උත්තර. රටේ ජනතාව අද අසරණ වෙලා ඉන්නේ. එක කාන්තාවක් මම දැක්කා කියනවා අපේ රට විකුනනවා නම් අපිත් එක්කම විකුණුවානම් ඉවරයි කියලා. මේවා අහනකොට අපිට ලැජ්ජයි.
සෞභාග්‍යයේ දැක්මේ තියෙන එක පොරොන්දුවක්වත් ආණ්ඩුව ඉටුකරලා නෑ. මේක තමා ඇත්ත. මම කලින් කිව්වා වගේ ජාත්‍යන්තරයත් එක්ක කථා කරලා රටේ ණය නැවත කථා කර ගන්න. තමුන්නාන්සේලාට ඒක කරන්න පුළුවන් ජාත්‍යන්තරයත් එක්ක හොදින් ඉන්නවා නම් විතරයි. කැත්තට පොල්ල වගේ ඉදලා මේක කරන්න බෑ. මේක තමා එකම විසදුම. අපිට පුළුවන් ඒක කරන්න. අපිට ඉන්නවා ජාත්‍යන්තරයත් එක්ක කටයුතු කරන්න පුළුවන් නායකයන් ඒක ලෝකයම දන්නවා.