නීතිපතිවරයාගේ ක්‍රියා කලාපයට විද්වතුන්ගේ විරෝධය..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

නීතිපති ධූරයේ වගකීම පැහැර හැරලා..! නීතිපති ඉල්ලා අස්විය යුතයි-නැති නම් ඔහුට විරුද්ධව නඩු පැවරිය යුතයි..! (රංජිත් සමරසිංහ) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ අති…
නීතිපති ධූරයේ වගකීම පැහැර හැරලා..!
නීතිපති ඉල්ලා අස්විය යුතයි-නැති නම් ඔහුට විරුද්ධව නඩු පැවරිය යුතයි..!
(රංජිත් සමරසිංහ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු පෙත්සම් විභාගයේදී රජයේ නීතිපතිවරයා ලෙස ජයන්ත ජයසූරිය මහතා ජනාධිපතිවරයා වෙනුවෙන් අධිකරණයේදී කරුණු ඉදිරිපත් කළ ආකාරය සම්බන්ධයෙන් රටේ විද්වතුන් සහ නීති විශාරදයෝ සිය විරෝධය පළ කර සිටිති.
මේ සම්බන්ධයෙන් ප්‍රවීණ මාධ්‍යවේදී සහ “රාවය” ප්‍රධාන කර්තෘ වික්ටර් අයිවන් මහතාගේ ස්ථාවරය මෙසේය.
“මෙම අර්බුදයේදී නීතිපතිවරයා අනුගමනය කළ පිළිවෙත එම තනතුරේ ගෞරවයට හේතු නොවන අතර, නීතියට පටහැනි සේම නින්දාසහගත බවද කිව යුතුය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂාව භාර ප‍්‍රධාන නිලධාරියා හා රැකවල් දුතයා වන්නේ නීතිපතිවරයාය. මෙම අර්බුදය ජනතාවගේ ඡන්ද බලයට හෙවත් පරමාධිපත්‍යය බලයට අදාළ ප‍්‍රශ්නයක් ලෙසද සැලකිය හැකිය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡ්දයේ විශේෂයෙන් සඳහන් කර ඇති ඡන්දය දීමේ අයිතිය, මූලික අයිතිවාසිකම් පිළිබඳ අධිකරණ බල ක්ෂේත‍්‍රය තුළ අඩංගු කරන ලදි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂාව භාර ප‍්‍රධාන රාජ්‍ය නිලධාරියා වන්නේ නීතිපතිවරයාය.
එහෙත් මෙම අර්බුදයේදී නීතිපතිවරයා පෙනී සිටියේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් නොව, ජනතාවගේ මූලික අයිතිවාසිකම් ඉතාමත් නරක ආකාරයකින් උල්ලංඝනය කළ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙනි.
ඔහු ජනාධිපතිවරයාගේ නීති විරෝධී නියෝග අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් නිෂ්ප‍්‍රභ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා පමණක් නොව, ජනාධිපතිවරයා කර තිබූ ව්‍යවස්ථා උල්ලංඝනයන් නීතියට අනුකූල බවද කියා සිටියේය.
නීතිපතිවරයා ලැජ්ජා බය ඇති පුද්ගලයකු නම් තමන් දරන තනතුරෙන් ඉල්ලා අස්විය යුතුය. එසේ නැතිනම් තනතුරේ වගකීම නීතියට අනුකූලව ඉටු නොකිරීම ගැන ඔහුට එරෙහිව නඩු පැවරිය යුතුය.”
මේ සම්බන්ධයෙන් “lankanewsweek” වෙත අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක මහතා,වික්ටර් අයිවන් මහතාගේ ස්ථාවරය අනුමත කරමින් කියා සිටියේ නීතිපතිවරයා යනු රජයේ නීති උපදේශකයා විනා ජනාධිපතිවරයාගේ සේවාදායකයකු හෝ නීති උපදේශකයකු නොවන බවය.
මේ නඩු විභාගයේදී තමා ජනාධිපතිවරයා හමුවූ බවටත් ඒ අනුව ඔහුගේ උපදෙස් අනුව පෙනී සිටින බවටත් අධිකරණය හමුවේ කළ ප්‍රකාශයෙන් පැහැදිළි වන්නේ ඔහු ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහුගේ අයිතීන් ආරක්ෂා කිරීමේ පරමාර්ථය ඇතිව සාමාන්‍ය නීතීඥවරයකු,නොඑසේ නම් ජනාධිපතිවරයාගේ සේවාදායකයෙකු ලෙස ක්‍රියා කළ බවයි.
මේ තත්ත්වය නීතිපති ධූරයෙන් බලාපොරොත්තු වන කාර්ය භාරයට මුළුමනින්ම විරුද්ධ වන අතර නීතිපතිවරයාගෙන් අප බලාපොරොත්තු වන්නේ ඔහු රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටිමින් සිය මතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉදිරිපත් කරනු ඇති බවයි.නීතිපතිවරයා සිය වගකීම,යුතුකම සහ රාජකාරිය පැහැර හරිමින් මේ සිද්ධියේදී ක්‍රියා කර ඇති බව මේ අනුව පැහැදිළි වනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2