නිවසක් පාසා ඇහෙන්නේ ආණ්ඩුවට එරෙහි ශාපයයි

අහසත් විකුණපු ආණ්ඩුවක් ලෙස මේ ආණ්ඩුව ඉතිහාස ගත වෙලා රටේ හැම නිවසක් නිවසක් පාසාම ඇහෙන්නේ මේ පාපකාරී ආණ්ඩුවට එරෙහිව ශාප කිරීම් බව යැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.…
අහසත් විකුණපු ආණ්ඩුවක් ලෙස මේ ආණ්ඩුව ඉතිහාස ගත වෙලා
රටේ හැම නිවසක් නිවසක් පාසාම ඇහෙන්නේ මේ පාපකාරී ආණ්ඩුවට එරෙහිව ශාප කිරීම් බව යැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රටේ උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කියා සිටියි.
"ඒ ශාපය කුස ගින්නෙන් දැවෙන ජනතාවගේ ශාපයයි. ඒ ශාපය කිරි ඉල්ලා අඬන දු දරුවන්ගේ වේදනාව දරා ගන්න බැරිව දෙමව්පියෝ කරන ශාපයයි. ඒ ශාපය අධ්‍යාපනය අහිමි වෙච්චි දූ දරුවන් නගන ශාපයයි. ඒ ශාපය රැකියා අහිමි වෙලා ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත්හැර ගන්න වෙච්ච තරුණ තරුණියන්ගේ ශාපයයි. ඒ ශාපය අස්වැන්න පාළු වෙච්ච කුඹුරු දිහා බලා ගෙන හූල්ලන ගොවියන්ගෙන් එන ශාපයයි.
බියක්-සැකක් නැතුව පැයක් විදුලිය දෙන්න බැරි තැනට මේ රට තල්ලු වෙමින් යනවා. තව ටික දවසකින් අලුත් අවුරුද්ද උදා වෙනවා. නමුත් අපේ රටේ සෞභාග්‍යයේ මාසය සමරන්න චීනෙන් හාල් ගෙන තැනට මේ රට පත්ව තිබෙනවා. රටේ ජනතාව හිරි වට්ටලා...ජනතාවට පීඩනයේ නිර්වින්දන එන්නත් විදලා රටේ තිබෙන දේශීය සම්පත් ටික විකුණන මෙහෙයුම මේ වෙන කොට ආණ්ඩුව අරඹා තිබෙනවා. අහසත් විකුණපු ආණ්ඩුවක් විදිහට මේ ආණ්ඩුව ඉතිහාස ගත වී තිබෙනවා."