අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නිදි යහනේදී තරුණයා මැරූ සැකකරුවෙකු අත් අඩංගුවට

නිදි යහනේදී තරුණයා මැරූ සැකකරුවෙකු අත් අඩංගුවට

(ජයකාන්ත ලියනගේ - බළපිටිය) කොස්ගොඩ දූවේමෝදර ප්‍රදේශයේදී පසුගිය 31 දින අළුයම වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරීමට අදාලව ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය සැකකරුවෙකු අයිස් මත්දව්‍ය මිලිග්‍රෑම් 5500 ක්ද සමග…

(ජයකාන්ත ලියනගේ - බළපිටිය)

කොස්ගොඩ දූවේමෝදර ප්‍රදේශයේදී පසුගිය 31 දින අළුයම වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරීමට අදාලව ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය සැකකරුවෙකු අයිස් මත්දව්‍ය මිලිග්‍රෑම් 5500 ක්ද සමග අද (03) අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉසෙඩ් පී එම් ලියාකාත් මහතා වෙත අද (03) සවස ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මෙසේ  අත් අඩංගුවට ගෙන ඇත්තේ ඛෙත්තාරාම පාර, කෝම්මල, වඩුමුල්ල, බෙන්තොට ලිපිනයේ පදිංචි කළුආරච්චිගේ දේශාන් චතුනික (23) නැමැති අයයි.

සැකකරු මෙම ඝාතනයට සම්බන්ධ බවට වැදගත් තොරුතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙන බවත් සැකකරු ඝාතනය සදහා යතුරු පැදිය ධාවනය කර තිබෙන බවට තොරතුරු අනාවරණය වූ බවත් ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය කියයි. සැකකරු සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශණ සිදුකරන බවත් වෙඩි තැබීම සිදුකරන ලද අය සහ ටී - 56 ගිනි අවිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවට පොලීසිය විශ්වාස කරන බවත් ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

දැන්වීම

පසුගිය 31 දින අළුයම 5.15 ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ටි - 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කරන ලද තුයියාදුර අරුන් මෙන්ඩිස් ගුණසේකර (23) නැමැති අයගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත් අඩංගුවට ගෙන තබේ. ඝාතනයට ලක් වූ අය සිය නිවසේ ජනේලයක් විවෘත කර නිදාගෙන සිට ඇති බවත් ගිනි අවිය ජනේලයෙන් ඇතුලට දමා වෙඩි ප්‍රහාර එල්ල කර තිබූ බවට පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූ බවත් කොස්ගොඩ පොලීසිය කියයි.

ඝාතනයට ලක් වූ අයගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පසුගිය 31 දින බළපිටිය මහේස්ත්‍රාත් ආර් ඩී ජනක මහතා විසින් සිදුකරන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී පී බී ඩබ්ලිව් ලේල්වල මහතා විසින් සිදුකර තිබේ. ඝාතනයට ලක් වූ අයගේ ශරීරයේ වෙඩි පහරවල් 11 ක් තිබූ බවත් එම වෙඩි පහරවල් 11 ම සිරුර පසාරු කරගෙන ගොස් තිබූ බවත් අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවේ සදහන් වේ. වෙඩි පහරවල්වලින් පපුව ප්‍රදේශයේ අභ්‍යන්තර ඉන්ද්‍රීයන්ට සිදු වූ බහුවිධ තුවාල හේතුවෙන් මරණය සිදුව තිබෙන බවද එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.

වෙරළ පැත්තේ සිට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවත් වෙඩි තැබීමෙන් පසු කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුවෙන්ම සැකකරුවන් පලාගොස් තිබූ බවත් පොලිස් පරීක්ෂණ වලදි තහවුරු කරගෙන තිබුණි. වෙඩි තැබීම සිදුකර ලද යතුරු පැදිය එදිනම දහවල් ඉදුරුව අතුරුවැල්ල පාලම යට සගවා තිබියදී කොස්ගොඩ පොලීසිය මගින් සොයා ගෙන තිබුණි. මෙම යතුරු පැදිය දැනට කොස්ගොඩ පොලීසිය භාරයේ තිබෙන බව කොස්ගොඩ පොලීසිය කියයි. ජාත්‍යන්තර පාසැලක අධ්‍යාපනය ලැබූ මියගිය තරුණයා සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කරමින් සිට ඇති බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

මියගිය අයගේ පියා වන ආයු විරාජ් මෙන්ඩිස් නැමැති අය අගම්පොඩි ශෂී ප්‍රභාත් ද සොයිසා නොහොත් ශෂී නැමැති අය සමග ආරවුලක් ඇතිකර ගෙන තිබෙන බවත් එම ආරවුලෙන් පසු ශෂී නැමැති අය විදේශගතව ඇති බවත් පොලීසිය කියයි. කප්පම් ලබා ගැනීමකට අදාලව ඇති වූ මෙම ආරවුල හේතුවෙන් ශෂී නැමැති අය විදේශයක සිට මුදල් යොදවා මෙම ඝාතනය සිදුකර තිබෙන බවට පොලිස් පරික්ෂණ වලදී තහවුරු වූයේ යැයි පොලීසිය කියයි. මියගිය අයගේ පියා වන ආයු නැමැති අය පාතාල කල්ලි නායක කොස්ගොඩ සුජීගේ හිතවතෙකු බවත් ශෂී කොස්ගොඩ සුජීට එරෙහි පාර්ශවයක් සමග එකතු වී ඇති බවත් පොලීසිය කියයි. 

ආයු නිමැති අය කොස්ගොඩ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකු වන අතර විදේශිකයෙකු සමගද හවුල් ව්‍යාපාරද පවත්වාගෙන ගොස් තිබේ. ඔහු පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ කොස්ගොඩ ප්‍රදේශයේ හෝටල් දෙකක් මිල දී ගෙන තිබූ බවත් පසුව එක් හෝටලයක් ඉතා අඩු මුදලකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාට විකුණා තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.
ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරි උපදෙස් පරදි, ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය, ඇල්පිටිය ජීව විද්‍යාත්මක පරීක්ෂණාගාරය සහ කොස්ගොඩ පොලිසිය වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබයි.
ඝාතනයට ලක් වූ අය, වෙඩි තැබීම සිදුකරන ලද ජනේලය, මියගිය අය පදිංචිව සිටි නිවස සහ වෙඩික්කරුවන් පිටව ගිය කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානය ඉහත ඡායාරූප වල දැක්වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
නිදි යහනේදී තරුණයා මැරූ සැකකරුවෙකු අත් අඩංගුවට | Lanka Newsweek