නායකයින් දෙන්නා කරත්තේ බැඳපු එළ හරකයි මී හරකයි වගේ..!

මෙවැනි නායකයින්ට රටට නායකත්වය දෙන්න බැහැ..! එළ හරකා කවුද..? මී හරකා කවුද..? (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ක්‍රියා කරන්නේ කරත්තයේ බැඳපු එළ හරකයි මී හරකයි වගේ යැයි ජනතා විමුක්ති…
මෙවැනි නායකයින්ට රටට නායකත්වය දෙන්න බැහැ..!
එළ හරකා කවුද..? මී හරකා කවුද..?
(සුජිත් මංගල ද සිල්වා)
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ක්‍රියා කරන්නේ කරත්තයේ බැඳපු එළ හරකයි මී හරකයි වගේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානානයක මහතා පවසයි.
එළ හරකා ගොඩට අදින විට මී හරකා මඩට අදින්නේ යැයි ද අනුර කුමාර දිසානායක මහතා, කුරුණෑගලදී පැවැති ජනතා විමුක්ති පෙරමුණේ විරු සමරු උත්සවයට එක් වෙමින් වැඩිදුරටත් අවධාරණය කළේය.
දැන්වීම
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීය.
71 අරගලය පිළිබඳ සහෝදර සහෝදරියන්ගේ කැපකිරීම්, ධෛර්ය පිළිබඳව කතා කරන්න හොඳම කාලයක තමයි අද අපි ජීවත් වෙන්නේ. ආර්ථික අර්බුදයක රටට ගිලිලා. සමාජය පිරිහිලා. නීතියේ විධානයේ ආධිපත්‍ය කඩාවැටිලා. මිනිස්සු මහ මඟ වෙඩි තබා ඝාතනය කරනවා. ධනපති පංතිය පාලනයක් ලෙස අසමත් වෙලා. පුළුල් සමාජ පරිවර්තනයක් සඳහා අත්දැකීම් ධෛර්ය එකතු කර ගැනීමට සාකච්ඡා කළ යුතු කාලයක් තමයි මේ.
ලෝකය පුරා සමාජය ඉදිරියට පැමිණ තිබෙන්නේ සටන් ව්‍යාපාරවල ඉතිහාසයත් සමඟයි. මාක්ස් ප්‍රකාශ කළ ආකාරයටම ඉතිහාසය වූ කලී පංති සටන්වල ඉතිහාසයයි. වහලා වහල් හිමියාට එරෙහිවත් ප්රවේණිදාසයා ඉඩම් හිමියාට එරෙහිවත් නිර්ධන පංතිය ධනපති පංතියට එරෙහිවත් අරගලයක් නොතිබෙන්නට අපේ සමාජය මේ තාක් දුරට වර්ධනය වෙන්නේ නැහැ. 70 වකවානුව වන විට අපේ රටේ දුබල ධනවාදය අර්බුද රැසක් නිර්මාණය කොට තිබුණා.
තරුණ තරුණියන් අපේක්ෂාභංගත්වයට පත්කර තිබුණා. ගොවියන්ට ජීවත්විය නොහැකි වටපිටාවක් ගොඩ නගලා තිබුණා. පැවැති ධනපති පංතියට එරෙහිව විප්ලවීය අරගලයක් නොකර පිළිතුරු සෙවිය නොහැකි වටපිටාවක් නිර්මාණය වෙලා තිබුණා. පීඩකයාගෙන් පීඩිත පංතියට බලය අත්පත් කර ගැනීමෙන් තොරව මේ අර්බුදයට උත්තර සෙවිය නොහැකි තත්වයක් උදා වෙලා තිබුණා. අද එදාටත් ටත් වඩා ඒ අවශ්‍යතාවයක් මතුවෙලා තිබෙනවා.
එදා ඒ වෙනුවෙන් පක්ෂයක් හදනවා. මතවාදය ගෙනියනවා. පංතිය සංවිධානය කරනවා. නමුත් ධනපති පංතිය එවැනි ආකාරයේ නිර්ධන පංතියට සංවිධානය වෙන්න, වර්ධනය වෙන්න ඉඩදෙන්නේ නැහැ. ලෝකයේ කොහෙත් එහෙමයි. අවලාද ලෙස මතවාදී ප්‍රහාර එල්ල කරනවා. එදා පත්තර මෝල්වල හිමිකරුවන් ඔවුන්ගේ අතේ තිබියදී විද්‍යුත් නාලිකා ඔවුන් අතේ තිබියදී අපේ මතය ගම් දනව්කරා ගෙනියන්න 71 අරගලයේ සහෝදර සහෝදරියන් සමත් වුනා. 71 අරගලයේදී සතුරාගේ කුමන්ත්රණකාරී ක්‍රියාමාර්ගවලට හසුනොවී වැඩකරන ආකාරය පිළිබඳව පාඩම් කියාදී තිබෙනවා. අද අපේ සහෝදර සහෝදරියන් ස්ථාවරභාවයෙන් දෙගිඩියාවෙන් තොරව තමන් තුළ ගොඩ නගාගන්නා විශ්වාසයෙන් පමණයි ධනපති පංතියට එරෙහිව අරගලයක් කළ හැකි වන්නේ. 71 සහෝදර සහෝදරියන් අරගලය පිළිබඳවත් දේශපාලන ව්‍යාපාරය පිළිබඳවත් තමන් පිළිබඳවත් අචල විශ්වාසයකින් කටයුතු කළා. අදත් අප ඔවුන් සමරන්නේ ඒ නිසයි.
මේ ගොඩ නැගී තිබෙන සමාජ ක්‍රමය වෙනුවට නව සමාජයක් ගොඩනගා ගැනීමේ සාමූහික අරගලයක් අපිට තිබෙනවා. එය ජයග්‍රහණය කරගත හැකි වන්නේ තමන් තුළ විකල්ප මිනිසෙක් ගොඩ නගා ගැනීමෙන් පමණයි. මේ සමාජ යන්ත්රයේම ඇණයක්වූ කෙනෙක්ට විකල්ප මිනිසෙක් වෙන්න බැහැ. නමුත් 71 අරගලයේ විරුවන් අපිට පෙන්වා දුන්නා සමාජ යන්ත්රයේම ඇණයක්, මුරිච්චියක් නොවී සමාජ ව්‍යාපාරයක වැඩ කරන්නේ කොහොමද කියලා.
දේශපාලන ව්‍යාපාරයක් පංතිය පෙළගැස්විය හැකි ජයග්‍රහණ ලබාගත හැකි ව්‍යාපාරයක් හදන්න විශාල කැපවීමක් අවශ්‍යයි. අපේ‍්‍රල් විරුවන් අපිට එය කියාදී තිබෙනවා. අදටත් එවැනි ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි දේශපාලනය ඉගෙන ගන්න ඕනෑ. දේශපාලනයේ සිදුවෙන සිදුවීම් පිළිබඳව අවබෝදය ලබාගන්න ඕනෑ. මාධ්‍යවලින් යන ප්‍රවෘත්තියෙන් පමණක් දේශපාලනය කියවා ගන්න යෑම හොඳ දෙයක් නෙවෙයි. ප්‍රවෘත්තිය කියවන්න කලින් එම මාධ්‍යය කියවා ගන්න ඕනෑ.
දේශපාලනය පිළිබඳව හොඳ අවබෝදයක් සහිත මිනිසෙක් අපිට අවශ්‍යයි. 71 අරගලයට සම්බන්ධ වුනේ පක්ෂයට සම්බන්ධ වෙලා වසර හයක් පමණක් ගත වුණු සහෝදර සහෝදරියන්. නමුත් ඔවුන් මනාව දේශපාලන උපාය උපක්‍රම තෝරගත්තා. 71 විරුවන්ගෙන් ඒ පාඩම අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ විශේෂ වන්නේ ඇයි? අපි හැම අවස්ථාවකදීම කොතරම් අසීරු වුනත් නිවැරදි තීන්දුව ක්‍රියාත්මක කරන්න කැපවෙන පක්ෂයක් වීමයි.
71 පරම්පරාවට ඒ ගෞරවය උත්තමාචාරය පුදකරන්න ඕනෑ. අපිට පොත් ගණනාවක් කියවලා ලබාගන්න බැරි අත්දැකීම් විශාල ප්‍රමාණයක් 71 අරගලයෙන් ලබාදී තිබෙනවා. අපේ‍්‍රල් 05 සැමරුම කැලැන්ඩරයේ තවත් එක දිනයක් නොවී නිසි වටිනාකමින් නිසි බරින් අපි ගරු කරනවානම් ආචාරය කරනවා නම් කළ යුත්තේ අද රට මුහුණදී සිටින අර්බුදය පියමන් කිරීම සඳහා 71 විරුවන්ගේ අත්දැකීම් අපේ ජීවිතවලට එක් කරගන්නේ කොහොමද කියන කාරණය සිතා බැලීමයි. මේ අර්බුදය පියමන් කිරීම සඳහා සමාජ පරිවර්තනයක් අවශ්‍යයි. ඒ අරගලය වෙනුවෙන් 71 විරුවන්ගේ ජීවිත අභාෂය ලබාගමු.
අද දේශපාලනය ගතවෙමින් තිබෙන්නේ අර්බුදකාරී ගැටුම්කාරී චලනයන් සහිතවයි. ක්ෂණික නූඞ්ල්ස් වගේ. ඒ අස්තාවරත්වය හදලා තිබෙන්නේ ධනපති පංතියේ අර්බුදයයි. ධනපති පංතියක් ලෙස ඔවුන්ගේ දේශපාලනය අසාර්ථක බව ඕනෑවටත් වඩා ඔප්පු කර තිබෙනවා. විගඩම්කාරී විකට පාලනයක්. තීන්දුවක් ගන්න බැහැ. ඇමතිවරු ඉල්ලා අස්වෙනවා. විශ්වාසභංග එනවා. එයින් විගඩම්කාරීත්වය හොඳටම පෙන්වලා දී තිබෙනවා. ධනපති පංතියේ පක්ෂ අසාර්ථක වෙලා.
රටේ නායකයින් දෙන්නා කරත්තේ බැඳපු එළ හරකයි මී හරකයි වගේ. මී හරකා මඩට අදිනවා. එළ හරකා ගොඩට අදිනවා. එකට ආණ්ඩුව කරන ගමන් ජනාධිපති අගමැතිට විශ්වාසභංග ගේනවා. විශ්වාස භංගයට අත්සන් කරපු අය අගමැති එක්ක කැබිනට් එකේ ඉන්නවා. පක්ෂ ඇතුලේ අභ්‍යන්තර අර්බුද ඇතිවෙලා. එදා පක්ෂ ඇතුලේ අර්බුද හැදුණේ බලකණු අතර. අද පක්ෂ නායකයා සමඟ අර්බුදය හැදෙන්නේ පක්ෂයේ වාටියේ ඉන්න අය සමඟ. මේවා පක්ෂද? එජාපය තවදුරටත් පක්ෂ නෙවෙයි. රනිල් වටේ ඉන්න කණ්ඩායමක් පමණයි. සාමාජිකයින් අමතක කරලා. මහින්ද රාජපක්ෂ කල්ලියේ තවත් කල්ලි දෙකයි. බැසිල් කල්ලිය සහ ගෝඨාභය අර්සස් කල්ලිය. මහින්ද අද ගිරයට අහුවුණු පුවක් ගෙඩිය වගේ. මහින්ද රාජපක්ෂ විශ්වාසභංගය භාරදෙන්න ගියේ බල්ලා නාවන්න අරගෙන යනවා වගේ. ගෝඨාගේ අර්සස් කල්ලිය විශ්වාසභංගයට පක්ෂයි. බැසිල් කල්ලිය විරුද්ධයි. ගෝඨා කල්ලිය හිතනවා රනිල් එලවලා හොරකම් චෝදනාවලින් බේරෙන්න. බැසිල් කල්පනා කරනවා රනිල් එක්ක ඞීල් එකක් දාලා බේරෙන්න.
මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් අර්බුදයක. ඔහු රටේ ජනාධිපති, ශ්‍රීලනිපයේ නායකයා. නමුත් තමන්ගේ මන්ත්‍රී කණ්ඩායම එක තැනකට ගන්න බැරිවෙලා තියෙනවා. නායකයෝද මේ? ජනතාවගේ වගකීම් භාරගන්න පුළුවන් නායකයෝ නෙමෙයි. පක්ෂත් අර්බුදයේ පක්ෂ ඇතුලේ නායකයොත් අර්බුදයේ. පහුගිය දවස්වල මාධ්‍ය සාකච්ඡා ටික කියවලා බැලූවොත් රටේ දේශපාලනයේ මොනතරම් සුකිරිබටිල්ලන් ඉන්නවද කියලා තේරුම් ගන්න පුළුවන්.
අද අපේ රටේ ඉන්නේ එහාට මෙහාට පනින ඕනෑම ගානකට විකිණෙන දේශපාලකයින්. ඔවුන් සමඟ දේශපාලනය කරන්න පුළුවන්ද? අද ධනපති පංතියට නායකයින් නැහැ. ලැජ්ජා නහර කපපු මිනිස්සු ඉන්නේ. වගකීමක් නැති මිනිස්සු අද ඒ පක්ෂවල ඉන්නේ. පක්ෂ නායකයා කරන දේ ගැන සාමාජිකයා දෙගිඩියාවෙන්. මහින්ද විශ්වාසභංගයට ඡන්දේ දෙන්න එයිද නැද්ද කියලා පාක්ෂිකයා බයෙන් හිටියේ. ජනතා විමුක්ති පෙරමුණ පමණයි කරන ප්‍රකාශ පිළිබඳව ජනතාවට වගකියන දේශපාලන ව්‍යාපාරය වෙන්නේ. ජවිපෙ මන්ත්‍රී කණ්ඩායමේ හයදෙවා තීන්දුව ගන්නවා. ඉඳගන්නෙත් එකට නැගිටින්නේ එකටයි.
අද අපේ රට විශාල ආර්ථික අර්බුදයක. පිං කැටේට, ජනතාවගේ වැටුපට, විශ්‍රාමයට බදු ගහනවා. ඒ තරමට ආර්ථික අර්බුදය තීව්රර වෙලා. සමාජයේ සුවිශේෂී අර්බුද ඇතිවෙලා. මිනී මරනවා. අපරාද මංකොල්ල කෑම්, පාතාලයේ වෙඩි තැබීම් උත්සන්න වෙලා. සමාජය ව්‍යසනයකට මුහුණ දීලා. ජාතිවාදය උත්සන්න කරලා. නැවත යුද්ධයකට ජාතිවාදී පසක් නිර්මාණය කරමින් ඉන්නවා. එදත් දෙමළ ජනතාව අසාධාරණයට පත්වෙමින් බිත්තියට හේත්තු වුණා. ප්රභාකරන් නිර්මාණය වුනා. අදත් මුස්ලිම් ජනතාව සැකයකින් බියකින් ඉන්නවා. රටේ එක් ජන කණ්ඩායමක් විසින් තව ජන කණ්ඩායමක් බියට පත්කරමින් තිබෙනවා. අලි ගහනවට අපි බයයි. ඒ බිය වගේ නෙමෙයි ජන කණ්ඩායමක් විසින් තවත් කණ්ඩායමක් බිය ගැන්වීම.
ඒ බියේ ප්‍රමාණය තේරුම්ගත හැක්කේ ඒ බියට මුහුණ දුන්නාමයි. එය අතිශය අමානුෂිකයි. ප්රභාකරන් වර්ගයේ නායකයෙක් බිහිවෙනකල් ඔවුන් බියෙන් පසුවෙනවා. හකීම්ලා බදුර්දීන්ලා ජාතිවාදය වපුරනවා. ඒ වගේම රාජපක්ෂ කඳවුරට ජාතිවාදය තමයි දේශපාලනය වෙලා තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ ජාතිවාදය වර්ධනය වෙන්න ඉඩදීලා තිබෙනවා. ජාතික සමගිය ගැන කතා කරන අය දේශද්‍රෝහීන්, ජාතියක් ආගමක් නැති අය ලෙස හංවඩු ගහනවා. ඒ නිසා දේශපාලන බලයකින් පමණක් මේ ජාතිවාදී දේශපාලනය පරාජය කළ හැකි වන්නේ. ධනපති පංතිය තමයි ජාතිකත්වය අතර ගැටුම් ඇති කරන්නේ. ජවිපෙ අපි ජාතික සමගිය වෙනුවෙන් බලකේන්ද්‍රයක් නිර්මාණය කරමින් ඉන්නවා. අපි කියනවා හැප්පිලා බලමු කියලා.
71 විරුවන් වීරවරියන් අපිට උගන්වා තිබෙන්නේ සත්‍ය, නිවැරදි දේශපාලනය වෙනුවෙන් පරිත්‍යාගයෙන් අප්‍රතිහත ධෛර්යෙන් යුතුව කටයුතු කිරීමටයි. ජාතිවාදයට එරෙහිව ජාතික සමගියේ සංස්කෘතික මධ්‍යස්ථානයක් ගොඩ නැගිය යුතුයි. එතනින් නතර නොවී බෙලහීන අසාර්ථක ධනපති ක්‍රමය බිඳවැට්ටවීම සඳහා ප්‍රබල බහුජන ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතුව තිබෙනවා. ඒ අභියෝගය ජයගැනීම සඳහා 71 විරුවන් ලබාදුන් ආදර්ශයන් උකහාගන්න බව අපි මේ 05වෙනිදා සපථ කර සිටිනවා. රට පිළිබඳව මානව පරපුර පිළිබඳව හැඟීමක් තිබෙන කිසිවෙකුට මේ අරගලය ප්‍රතික්ෂේප කරන්න බැහැ. ඒ වෙනුවෙන් 71 අරගලය කියවාගමු. අපේ ජීවිත අරගලය වෙනුවෙන් මුහහත් කර ගනිමු.
තංගල්ලේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ විරු සමරු උත්සවයේදී ජනතා විමුක්ති මහ ලේකම් ටිල්වින් සිල්වා මෙසේ පැවසීය
අපි මේ එකතුවෙලා ඉන්නේ අපේ පංතියට දේශපාලනය කිරීමේ අයිතිය වෙනුවෙන් සටන් කර දිවි පිදු විරුවන් වීරවරියන් සැමරීමටයි. ජවිපෙ අපි කාටත් 1971 අරගලය කියන්නේ විශේෂ එකක්. අපි කාගේත් ඇසට කඳුලක් එන, හදවත බරවෙන, ඒ වගේම සහෝදරත්වය සාමූහිකත්වය පිළිබඳව හැඟීමක් ඇතිවෙන දවසක් තමයි අපේ‍්‍රල් 05, එයට හේතුව තමන්ට කිසිවක් බලාපොරොත්තු නොවී පොදු ජනයා වෙනුවෙන් දිවි පිදු විරුවන් සමරන දිනයක් වීමයි. ඉපදෙන හැම කෙනෙක්ම මිය ඇදෙනවා. ඇතැම් අය තමන් විසින් මරණය තෝරගන්නවා. ඒ සියලූ දෙනා පිළිබඳ මතකය ටික කලකින් නැතිවෙලා යනවා. නමුත් ජනතාව වෙනුවෙන් දිවිපිදු අය කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒක අපේ‍්‍රල් 05ට පමණක් අදාල දෙයක් නොවේ. ලෝකයේ කොතනක හෝ රට වෙනුවෙන් අරගල කර දිවි පි¥වන් සදාකාලිකව ඉතිහාසයට එක්වෙනවා. ඒ වගේම අපේ පක්ෂයේ සහෝදර සහෝදරියන් පිරිසක් මරණය හමුවේ නැවත ඉපදුණු පිරිසක්, මිය නොගිය පිරිසක් බවට පත්වෙලා ඉන්නවා. ඒ නිසයි අපිට අපේ‍්‍රල් අරගලය පිළිබඳව මතකය වැදගත් වෙන්නේ.
අපේ‍්‍රල් විරුවන් කියන්නේ මලක් තියලා පහනක් පත්තු කරලා වඳින පුදන සංකේතයක් නෙවෙයි. ආගමික සංකේතයකුත් නෙවෙයි. අපි විසින් කරන සටනට අපේ දේශපාලනයට අලූත් ජවයක් අලූත් ධෛර්යක් අලූත් අත්දැකීමක්, පාඩමක් එක් කරගන්නා දිනයක් සමයි අපේ‍්‍රල් සැමරුම කියන්නේ. 71 අරගලයට සම්බන්ධවූ සහෝදර සහෝදරියන් මෙන්ම 77න් පසු 88-89න් පසු පක්ෂයට සම්බන්ධවූ සහෝදර සහෝදරියන් මේ සැමරුම් අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා. ඇතැම් අය 71 අරගලය ගැන අහලා තිබෙනවා පමණයි. මේ අරගලය කියන්නේ විශේෂ එකක්. අරගලයට සම්බන්ධ වූ සහෝදර සහෝදරියන් තබා ගිය මතකයන් ඉතාම ගැඹුරුයි. අමතක කරන්න බැරි සටහන් තබලා ගියා. ජවයක් ශක්තියක් පාඩම් රැසක් සමාජයට එක් කළා.
අද අපේ රට අතිශය සමාජ ආර්ථික දේශපාලන අගාධයක ගිලිලා. මිනිස්සු ආර්ථික අමාරුවට අමතරව පීඩාවන්වලට මානසික ආතතියට ලක්වෙලා. ප්‍රශ්න ගොඩන ජීවත් වෙනවා. ඒ නිසා සියලූ දෙනාට වෙනසක් අවශ්‍ය වෙලා තිබෙනවා. පොදු සමාජයට වෙනසක් ඕනෑ වුනාට තමන්ගේ පීඩාවෙන් මිදෙන මඟ පිළිබඳව පොදු සමාජයට, ජනතාවට අවබෝධයක් නැහැ. 71 දිවි පිදු සහෝදරවරුන් තමන්ට එල්ල වුනු පීඩාව, අසාධාරණය, අයුක්තිය වින්දා; අයුක්තිය අසාධාරණය දැක්කා.
ඒ වගේම පීඩාවෙන් මිදෙන මාර්ගයත් දැක්කා. මේ සියලූ පීඩාවන්ට, අර්බුදසයන්ට හේතුවෙලා තිබෙන ධනවාදී සමාජ ක්‍රමයෙන් මිදෙන්න නිවැරදි මාවත ඔවුන් දැක්කා. තේරුම් ගත්තා. ඒ මාර්ගය වෙනුවෙන් 71කේ සහෝදර සහෝදරියන් දිවි පිදුවා. අපි අද මේ මුහුණ දීලා තිබෙන ධනවාදයේ අර්බුදය ඔවුන් මීට අවුරුදු 47කට 50කට කලින් දැක්කා. ඒ නිසා තමයි ඔවුන් අපිට විශේෂ වන්නේ. මේ අර්බුදයට තිබෙන එකම විසඳුම සමාජවාදය පමණයි කියන එක විශ්වාස කළ ඒ වෙනුවෙන් සටන් කළ පිරිසක් තමයි 71 විරුවෝ. අද අපි ඉන්නේ එදාටත් වඩා විශාල අර්බුදයක. ආර්ථික, සමාජීය, සංස්කෘතික, දේශපාලන අර්බුදයක් තිබෙනවා. රට යා යුතු මඟ තොරගන්න බැරිව ඉන්නවා. අපි මුහුණදී තිබෙන ඛේදවාචකයන්ට විසඳුම සොයා ගැනීමේදී තමයි අපිට අපේ‍්‍රල් විරුවන්ගේ වැදගත්කම තිබෙන්නේ. ඒ නිසා තමයි අපිට මේ දිනය වැදගත් වෙන්නේ.
71 අරගලය කියන්නේ මොකක්ද? 71 අරගලය කියන්නේ පංති ප්රතිවිරෝධය උත්සන්න වීමෙන් ඇතිවූවක්. මේ අරගලයට විරුද්ධ ධනපති පන්තිය හා මේ අරගලයෙන් පලාගිය පුද්ගලයින් ජනතා විමුක්ති පෙරමුණේ විනාශය ප්‍රාර්ථනා කරනවා. 71 අරගලය පිළිබඳ විකෘති කිරීම් කරනවා. ඒ කාලේ වගේම මේ කාලයේදීත් බොරු ප්‍රචාර යවනවා. 71 අරගලය ජවිපෙ ජයග්‍රහණය කළොත් 55න් ඉහළ අය මරනවා කිව්වා. 5න් පහළ ළමයි මරණවා කිව්වා.
එදා ඇතැම් අය මේ පට්ටපල් බොරු විශ්වාස කළා. විරුවන්ගේ කීර්තිනාමය විනාශ කරන්න ඒ අරමුණු පළුදු කරන්න බොරු අවලාද ගැහුව්වා. 71 අරගලය අහම්බයක් නොවෙයි. පුද්ගලික අරමුණක් නෙවෙයි. ඒ මොහොතේ තිබුණ සමාජ සාධකයන් විසින් නිර්මාණය කළ අරගලයක්. එය තමයි ජවිපෙ නියෝජනය කළේ. එය පංති සටනේ එක අවස්ථාවක්. අපේ සමාජයේ පංති බිහිවූදා සිට පංති සටනක් තිබුණා. ඒක කාගේවත් පුද්ගලික කැමැත්ත නොවේ. ඒ සටන විටෙක සැඟවිලා තිබෙනවා. තවත් වෙලාවක එළිමහනේ සටනක් බවට පත්වෙනවා. අවි ඇතුව හෝ නැතුව. රුසියාවේ, කියුබාවේ, වියට්නාමයේ, චීනයේ එම සටන් ජයග්රහණයෙන් කෙළවර වුණා. ලංකාවේදී 71 අරගලය පරාජයට පත්වුණා.
එවකට තිබුණ වමේ පක්ෂ වම පාවාදුන් නිසා අලූත් වමක අවශ්‍යතාවයක් ඇති වූනා. ඒ අලූත් වම හදන්න රෝහණ සහෝදරයා මුල් වුණා. රෝහණ සහෝදරයා රුසියාවේ ඉගෙන ගත්තා. ඔහුට මාක්ස්වාදය ගැන දැනුමක් තිබුණා. ධනපති පංතිය පක්ෂ හදලා නිර්ධන පංතියේ පක්ෂ ලෙස පෙන්වමින් ඉන්නවා. රනිල් විශ්වාසභංගයෙන් දිනනකොට රතිඤ්ඤා පත්තු කරන්නේ අපේ පංතියේ මිනිස්සු. ඒ නිසා අපේ පංතියට පක්ෂයක් හදන්න රෝහණ සහෝදරයා කටයුතු කළා. ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණ.
අපේ පංතියට පක්ෂයක් හදනකොට ධනපති පංතියේ පාලකයින් කළබලයට පත්වුණා. ඒ නිසා ජවිපෙ පසුපස මර්දනය හඹා ආවා. හමුදාව, පොලිසිය ශක්තිමත් කරලා නීති හදලා මර්දනය පටන් ගත්තා. 71 වන විට ඉතාම බිහිසුණු මර්දනයක් තිබුණා. ඒ නිසා ජවිපෙට තීරණය කරන්න සිදුවුණා ධනේෂ්වරය ඉදිරියේ වහල්ලූ වෙනවද දේශපාලනය කිරීමේ අයිතිය වෙනුවෙන් සටන් කරනවද කියලා.
අපේ පක්ෂයේ නායකයෝ සාමාජිකයෝ ඝාතනය කරන්න සැලසුම් කරන වෙලාවක පක්ෂයට සිදුවුණා ආත්මාරක්ෂාව වෙනුවෙන් ආයුධ අතට අරගෙන සටන් කරන්න. 71 අරගලය නිර්මාණය වුනේ ඒ ආකාරයටයි. ජවිපෙ වටා සිටි පිරිස් සටන් කළේ දණින් වැටී ජීවත්වනවාට වඩා දෙපයින් සිට මිය යන එක ගෞරවයක් කියලයි. ධනපති පංතියට එරෙහිව ලංකාවේ අවිගත් පළවෙනි අරගලය තමයි 71 අරගලය කියන්නේ. ඒ ගෞරවය 71 විරුවන්ට තිබෙනවා.
අද මේ සමාජයේ ජීවත් වන මිනිසුන් දිනාගෙන තිබෙන අයිතීන් නිකන් ඉඳලා දිනාගත් දේවල් නෙවෙයි. සටන් කරලයි දිනාගත්තේ. නමුත් ඒ අයිතිවාසිකම් භුක්තිවිඳින ගමන් ඇතැම් අය අරගලවලට ගරහනවා. ස්පාටකස්ලා වහල්භාවය අහෝසිකර ගැනීමට මහා සටනක් කළා. වැඩවසම් ක්‍රමයට එරෙහිව ගොවියන් ඉඩම් හිමියන්ට එරෙහිව අරගලයක් කළා. වැඩවසම් ක්‍රමය අහෝසි කරලා ධනවාදය ආවා. ධනවාදයේත් මුල් අවධියේ මිනිස්සුන්ට අයිතිවාසිකම් තිබුණේ නැහැ. අයිතිවාසිකම් දිනාගත්තේ සටන් කරලා. ඒ නිසා මේ සමාජය වඩා යහපත් තැනක් කරන්න අපිත් අරගල කළ යුතුව තිබෙනවා. අපේ අනාගත පරපුරට අපිත් යමක් දිනාදිය යුතු නැද්ද?
අද ධනවාදය දුඟද හමන මළකදක් බවට පත්වෙලා. හැම තැනින්ම ඒ දුඟද හමනවා. පාර්ලිමේන්තුවෙන්, විශ්වාසභංගවලින්, ජාතිවාදය වැපිරීමෙන් ඒ දුඟද අපිට දැනෙනවා. ධනවාදයට මිනිස්සුන්ට අලූත් යමක් දිනා දෙන්න බැහැ. ඒ නිසා ධනවාදය අහෝසි කරලා කාටත් අයිතිවාසිකම් ලැබෙන සමාජවාදී අලූත් සමාජ ක්‍රමයක් බිහිකරන්න අරගල කළ යුතුව තිබෙනවා. ඒ සඳහා අත්දැකීම් අපේ‍්‍රල් විරුවන්ගෙන් ලබාගන්න පුළුවන්. 71 අරගලය කළේ ඉතාම බුදධිමත් පිරිසක්. එය සවිඥානික අරගලයක්. අවි අතට අරගෙන අරගල කරන්නේ නූගත් මිනිසුන් නෙවෙයි. ඒ නිසා මේ අරගලය ඉතාම සුවිශේෂීයි. තනි තනියෙන් පීඩාවට උත්තර හොයන්න බැහැ කියලා තේරුම්ගත් සාමූහික අරගලයක්. අද ප්‍රවාහන අර්බුදය ආවාම තනියෙන් කාර් එකක් ගන්න කල්පනා කරනවා. පාසලට ළමයින් දාගන්න බැරිවුනාම තමන්ගේ දරුවා කොහොම හරි ඉස්කොලේකට දාගන්න උත්සහ කරනවා. බෙහෙත් නැති වුණාමත් ඒ විදියමයි.
බොහෝ පිරිස් දේශපාලකයින් පස්සේ යන්නේ තමන්ගේ වැඬේ කරගන්නයි. තමන්ගේ වැඬේ කොහොම හරි කරගන්න තමයි එහෙම හිතන්නේ. නමුත් මේ ධනවාදයේ ප්‍රශ්නවලට තනි තනියෙන් උත්තර හොයන්න පුළුවන්කමක් නැහැ. දෙවියන් පස්සේ ගිහින් උත්තර ලැබෙන්නේ නැහැ. එකම උත්තරය අපි සියලූ දෙනා එකතු වෙලා මේ සමාජක්‍රමය වෙනස් කරන්න අරගල කිරීම පමණයි. ඒ පාඩම මුලින්ම අපිට ඉගැන්වූවේ අපේ‍්‍රල් විරුවන්. සැබෑ මිනිස්සුන්ගේ ජීවිතයක් ලබාගන්න පොදු සටනක් ඔවුන් කළා. ඒ නිසයි 71 විරුවන් අදටත් සමරන්නේ.
ධනවාදී සමාජය අපිට ඉගැන්වූවේ ප්රතිලාභ සඳහා වැඩකරපන් කියලා. ඒ නිසා මිනිස්සු වැඩ කරන්නේ පුද්ගලිකව ලැබෙන දේවල් නිසයි. ආත්මාර්ථකාමී තැනකට පත්කරලා තිබෙනවා. නමුත් සමාජවාදය කොමියුනිස්ට්වාදය ඊට වඩා වෙනස්. තමන් ගැන නොහිතා මිනිස්සුන්ට වැඩ කරන්න තමයි සමාජවාදයේදී උගන්වන්නේ. අඩුම තරමේ කීර්තිය බලාපොරොත්තු වෙන්නේ නැහැ. 71 සහෝදරවරු තමයි එය අපිට උගන්වපු පළමු පරම්පරාව. ඔවුන් අපිට ඉගැන්වුවා තමන් ගැන නොහිතා අනුන්ට වැඩ කරන විදිහ.
71 විරුවන් ජාතිවාදී තැනකට අරගලය ගෙන ගියේ නැහැ. ජාතික සමගිය ඇතුව වැඩ කළා. සටන තිබෙන්නේ ධනවාදයට එරෙහිව මිසක අනෙකුත් ජාතිකත්ව අතර නොවෙන බව 71 විරුවන් අපිට පෙන්වලා දුන්නා. කැපවීම් පිළිබඳව අපිට ඉගැන්වුවා. හොඳ පෞද්ගලික ජීවිත ගත කිරීමට හැකියාව තිබියදී ඒවා අත්හැරියා. රෝහණ සහෝදරයා තමන්ගේ නිවැරදි දේශපාලන මතය වෙනුවෙන් වෛද්‍ය අධ්‍යාපනය අතහරිනවා. පක්ෂයේ පළමු පූර්ණකාලීනයා බවට පත්වෙනවා. වේල් ගණන් බඩගින්නේ හිටියා. හැතැප්ම ගණන් පයින් ඇවිද්දා. එහෙම ආදර්ශ හදපු පක්ෂයක්.
මේ පක්ෂය පිටුපස මහා දැවැන්ත කැපකිරීමක් තිබෙනවා. එවැනි පක්ෂයක් මර්දනය කරන්න හදන වෙලාවේ තමයි සියලූ දේ අත්හැරලා දිවි පුදන්න වුනත් ලෑස්තියි කියලා සටන් කළේ. එවැනි පක්ෂ ගොඩක් නැහැ. එකයි තියෙන්නේ. ඒ ජනතා විමුක්ති පෙරමුණයි. 71 විරුවන්ගේ ආර්ශනයන් තිබෙන නිසා අපිට මේ පක්ෂය ජයග්‍රහණය තෙක් අරගෙන යන්න ධෛර්ය ශක්තිය තිබෙනවා. ඒ විශ්වාසය අපිට තිබෙනවා. 71 විරුවන් අප මරා දැමුවද අප නැගූ හ`ඩ නොමියෙනු ඇත’ කියලා සටන් පාඨය තෝරගත්තේ ඒ නිසයා.
71 අරගලය අපතේ ගිය අරගලයක් නෙවෙයි. අරගලයෙන් පස්සේ අපේ රටේ විශාල වෙනසක් සිදුවුණා. අද කුහක බුද්ධිමතුන් එය සඟවන්න උත්සහ කරනවා. 71 විරුවන් තරුණ පරපුරට ආදර්ශයක් දුන්නා තම අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් සටන් කරන්න පුළුවන් කියලා. සමාජයට අලූත් ඇහැක් ලබාදුන්නා අලූත් විදියට දකින්න.
71දීත් ලංකාවේ තිබුණේ මහ රැජිණගේ ආණ්ඩුවක්. ඒ නිසා 71 අරගලය ධනපති විරෝධී අරගලයක් පමණක් නෙවෙයි අධිරාජ්‍ය විරෝධී අරගලයක්. 71 ජනරජ ව්‍යවස්ථාව ගෙනත් බි්රතාන්ය සමඟ තිබුණු සම්බන්ධය ඉවත් කළේත් 71 අරගලයෙන් පසුවයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසක් ආවේ 71 අරගලයෙන් පසුවයි. ඒ වගේම අපේ සමාජයට කළා සංස්කෘතික බලපෑමක් සිදු කළා. 71 නැගිටීම පදනම් කරගනිමින් නාට්‍ය, චිත්‍රපට, ගීත නිර්මාණය වුණා. ජනතා විමුක්ති පෙරමුණ විමුක්ති ගී නිර්මාණය කළා. ඒ නිසා 71 යනු අමතක කරන්න බැරි ගැඹුරින් කියවාගත යුතු අරගලයක්.
අද 1971 වඩා ධනවාදය අර්බුදයට ගිහින් තිබෙන්නේ. අලූත් බදු පනත ගෙනල්ලා සියලූම ජනතාවට බදු ෆයිල් විවෘත කරන්න ආණ්ඩුව කටයුතු කරනවා. ධනවාදය අර්බුදයට ගිහින්. අලූත් නිෂ්පාදන මාර්ග හැදුවේ නැහැ. ආදායම් හොයන්නේ නැතුව වියදම් කරන රටක් බවට පත්වෙලා. අපනයන වියදමට වඩා ආනයන වියදම් වැඩි වෙලා. විශාල ණය උගුලක රට හිර කරලා. අනවශ්‍ය වියදම් වැඩිකරලා. රටේ විගණකාධිපති මාධ්‍ය හමුවක් තියලා කියනවා ලංකාවේ ණය කොපමණද කියලා කාටවත් කියන්න බැහැ කියලා. මූල්‍ය විනය නොසලකා ණය අරගෙන කියලා කිව්වා.
මුදල් ඇමති පාර්ලිමේන්තුවේ කිව්වා ගත්ත ණය ගෙවාගන්න බැරි අර්බුදයක ඉන්නවා කියලා. එනිසයි බඩු මිල වැඩිවෙන්නේ. බදුබර වැඩිවෙන්නේ. රටේ සම්පත් විකුණන්නේ. රට ගෙනියන්න ආණ්ඩුවට සල්ලි නැහැ. ජනතාවට අනාගතයේදී මොකුත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ධනවාදය වෙනස් කරනවා හැර වෙන උත්තර නැහැ. 71දී අපේ සහෝදරවරු කිව්වට වඩා වැඩි හ`ඩකින් අද අපිට කියන්න සිදුවෙලා ධනවාදය පරාජය කළ යුතුයි කියලා.
අද සියලූම දෙනා පීඩනයකින් ඉන්නේ. පොඩි ළමයි 5 වසර ශිෂ්‍යත්වයේ ඉඳලා පීඩාවක. දෙමාපියන් ඉන්නෙත් ඒ පීඩාවෙන්. සියලූම දෙනා එකිනෙකාට නොපෙනෙන කෝපයකින් ඉන්නේ. පාරේ පයින් යන පුද්ගලයා වාහනවලින් යන අය සමඟ කෝපයෙන්. බස් එකේ හිටගෙන යන කෙනා සීට් එකේ ඉඳගෙන යන කෙනා සමඟ තරහෙන්. මිනිස්කම නැති වෙලා ජාතිවාදය වපුරණවා. කඩ ගිනි තියනවා. වෛරය වපුරනවා. මේ සමාජය දරුවන්ට ජීවත් වෙන්න හොඳ සමාජයක්ද? අද ධනපති ක්රමයේ අර්බුදය ධනපති පන්තියට ඇවිත්.
රටේ ආණ්ඩුව දුර්වලයි. නොණ්ඩි ගහන, අංශභාගේ හැදුන, නායකයින් දෙන්නා දෙපැත්තට අදින ආණ්ඩුවක් තියෙන්නේ. අභ්‍යන්තර ප්රතිවිරෝදයක් තියෙනවා. එහෙම ආණ්ඩුවකට රටක් පාලනය කරන්න පුළුවන්ද? මේ පක්ෂවලට තවදුරටත් රට ඉස්සරහට ගෙනියන්න බැහැ. ඒ පක්ෂවලට අවශ්‍ය කෙසේ හෝ බලය ලබාගැනීම පමණයි. ඇමති මණ්ඩලයට මොකුත් කරන්න බැහැ. කරන්න තියෙන්නේ ධනවාදය අහෝසි කරලා නව සමාජ පරිවර්තනයක් කිරීම පමණයි. ඒ සඳහා අපි සියලූදෙනා අරගලයක් කළ යුතුව තිබෙනවා.
අපට දැන් ඕනකම තියෙනවා සැබෑ ආර්ථික සංවර්ධනයක්. වත්කම් උපයන නිෂ්පාදන මාර්ග සහිත ආර්ථිකයක්. සමාජ සාධාරණත්වය ඕනෑ. සැමට සමාන අධ්‍යාපනයක්, තරුණ තරුණියන්ට රැකියාවක් කිරීමේ සාධාරණ අයිතිය. ගොවියට වැඩකරන ජනතාවට සාධාරණ අයිතියක් ලැබෙන්නේ ඕනෑ. මිනිස්සුන්ට විනෝදයක් සඳහා කලා සංස්කෘතික නවෝදයක් ඕනෑ. ජාතික සමගිය ඕනෑ. යහපත් දේශපාලන සංස්කෘතියක් ඕනෑ. මන්ත්‍රීවරු ලක්ෂ දෙකට විකිණෙනවා. පාදඩ කැත දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා දේශපාලනය සැබෑ ජනතා සේවයක් බවට පත් කළ යුතුයි. ඒ වෙනුවෙන් අරගල කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් අපි සියලූ දෙනා එක් කරගත් පුළුල්තම ජනතා මධ්‍යස්ථානයක් ගොඩනැගිය යුතුයි. ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවා.
අපි මේ දේශපාලනය දුෂ්කරතා මැද්දේ කරගෙන ආවා. 71 සහෝදරවරු අතට ගත් යුත්කියේ සාධාරණත්වයේ රතු ධජය බිම වැටෙන්න නොදී 77 පරම්පරාව ඔසවගෙන ආවා. 88-89 භීෂණයෙන් පසුවත් 94 සිට රතු ධජය ඔසවාගෙන ආවා. පහුගිය කාලේ විවිධ ¥ෂ්කරතාවලට මුහුණ දුන්නා. කල්ලි කණ්ඩායම්වාදයට පක්ෂය මුහුණ දුන්නා. ඒ හැම මොහොතකම ජවිපෙ සහෝදරවරුන් ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කළ යුක්තියේ සාධාරණත්වයේ රතු ධජය රැගෙන අපි ජයග්‍රහණය තෙක් යා යුතුයි. එදා වගේම අදත් සතුරන් ජවිපෙට අවලාද ගහනවා. අපේ පක්ෂයේ නායකයාට පක්ෂයට දැවැන්ත අවලාද තොගයක් එල්ල කරනවා. නමුත් අපි කියනවා අවලාදවලින් ඉතිහාසය වෙනස් කරන්න බැහැ. ඒවාට මුහුණ දෙන්න අපිට පුළුවන්. ඒ ශක්තිය අපිට තිබෙනවා. අවලාද නිසා අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. අපේ සහෝදරවරු ඝාතනය කරලාවත් වෙසන් කරන්න බැරි වුණු අපේ ප්‍රතිපත්ති අවලාද ගහලා දශමයක්වත් වෙනස් කරන්න බැරි බව අපි කියනවා. අපි මේ ගමන ජයග්‍රහණය තෙක් යන එක නතර කරන්න කාටවත් පුළුවන්කමක් නැහැ.
