නායකත්වයේ එල්ලිලා මැරෙන්න රනිල් තීරණය කරයි

මහා නා හිමිවරුන් ප්‍රධාන මහා සංඝ රත්නයේ අනුශාසනා නොතකයි සිය හෙංචයියන්ගෙන් කෘත්‍යාධිකාරිය පුරවයි නායකත්ව මණ්ඩල "ටොපිය" ලෑස්තියි සජිත්ටයි-කරූටයි හුලං (සුජිත් මංගල ද සිල්වා) මල්වතු-අස්ගිරි මහා නා…
මහා නා හිමිවරුන් ප්‍රධාන මහා සංඝ රත්නයේ අනුශාසනා නොතකයි
සිය හෙංචයියන්ගෙන් කෘත්‍යාධිකාරිය පුරවයි
නායකත්ව මණ්ඩල "ටොපිය" ලෑස්තියි
සජිත්ටයි-කරූටයි හුලං
(සුජිත් මංගල ද සිල්වා)
මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රධාන මහා සංඝ රත්නයේ ද,එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ සහ පාක්ෂිකයින්ගේ ද සියලු ඉල්ලීම් නොතකා තව දුරටත් අඛණ්ඩවම නායකත්වයේ රැදී සිටීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ සිය අභ්‍යන්තර කවයේ (INNER CIRCLE) ජ්‍යෙෂ්ඨ නායකයින් සහ සිය පෞද්ගලික සමීපතමයින් පිරිසක් සමග රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට කිසිසේත් පක්ෂ නායකත්වය ලබා නොදෙන බවය.
වයසත් එක්ක බැලුවාම කරූ ජයසූරිය මහතාට ද නායකත්වයේ වගකීම දැරිය නොහැකි බව පෙන්වා දී ඇති රනිල් වික්‍රමසිංහ මහතා කෙසේ නමුත් නායකත්ව මණ්ඩලයක් ඇති කර එම මණ්ඩලයට යම් බලතල ප්‍රමාණයක් ලබා දී මහා මැතිවරණය මෙහෙයවීමේ වගකීම ඊට පවරන බව ද,සඳහන් කර ඇත.
දැන්වීම
ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධන වාර්තාවක් හැකි ඉකමනින් තමා වෙත ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නීති අංශ ප්‍රධානී ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා වෙත තමා මේ වන විටත් උපදෙස් ලබා දී ඇති බව ද රනිල් වික්‍රමසිංහ මහතා මේ පිරිස සමග වැඩි දුරටත් පවසා තිබේ.
නායකත්වය ඇතුළු කරුණු කාරණා සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය 2019 දෙසැම්බර් 31 වැනිදාට පෙර වහාම කැඳ වන ලෙසට කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන් විසි හත් දෙනෙකු අත්සන් කරමින් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉලීමක් කර තිබියදී ඔහු එම කෘත්‍යාධිකාරී මණ්ඩලය නොකැඳවා සිටින්නේ තව දුරටත් නායකත්වයේ රැදී සිටීමට අදාළ මේ සැලසුම අනුවය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ සැලසුම හෙළි කරමින් කලක් ඔහුට අතිශය සමීපමව සිට පසුව දේශපාලනිකව ඔහු ප්‍රතික්ෂේප කරමින් ඔහුගෙන් ඈවූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් "lankanewsweek" සමග මෙසේ පැවසීය.
"සුපුරුදු පරිදි 2019 දෙසැම්බර් මස 31 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ නිලධාරී මණ්ඩලය සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය ව්‍යවස්ථානුකූලව අහෝසි වනවා.එවිට පක්ෂයේ වාර්ෂික මහා සම්මේලනය කැඳවා 2020 වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක් සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයක් පත් කර ගත යුතුයි.එහිදී පක්ෂ ව්‍යවස්ථාවට අනුව තමා කැමති සහ තමාට පක්ෂපාතී සාමාජික සාමාජිකාවන් විසි දෙනෙකු කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට බලය තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ව්‍යවස්ථානුකූල පංගුවෙන් තොරව එක්සත් ජාතික පක්ෂයේ ඒ ඒ පදනම් සහ සංවිධාන නියෝජනය කරමින් කෘත්‍යාධිකාරීයට පත් වන සභිකයින් අතර ද රනිල් වික්‍රමසිංහ වාදීන් බොහොමයක් සිටිනවා.මේ අනුව නව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර බලය නිරායාසයෙන් හිමි වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාටයි.
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ නායකයා තෝරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් වන නිසා රනිල් වික්‍රමසිංහ මහතාට බහුතර බලයක් තිබෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සජිත් ප්‍රේමදාස මහතා හෝ කරූ ජයසූරිය මහතා නායකත්වයට පත් කර ගැනීම කවදාවත් සැබෑ නොවන සිහිනයක් විතරයි.
ඒ වගේම ආණ්ඩුවේ,විශේෂයෙන් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ සහයෝගය මේ අවස්ථාවේදී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට වන අතර බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු ඇමතිවරුන් ගණනාවක් සමග මම කළ සාකච්ඡාවලදී ඒ අය කියා සිටියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රධාන ආණ්ඩුව දේශපාලන උපායක් සහ ප්‍රතිපත්තියක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කරන බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන්නේ සාගල රත්නායක මහතා හරහා වන අතර ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඔහුට සමීප ඥාති සබඳතාවයක් තිබෙන බවත්,ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතා සමීප සහ ඔහුට කුළුපග බවත් බොහෝ අය දන්නේ නැහැ.මේ අනුව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ රනිල් වික්‍රමසිංහ පාර්ශවයෙන් සහ ආණ්ඩුවෙන් ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහතාට එළව එළවා පහර දෙන හැටි සියලු දෙනාටම දැක බලා ගත හැකියි.

