අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නාමල් අත්අඩංගුවට ගැනීම ගැන රනිල්ගේ විරෝධය

නාමල් අත්අඩංගුවට ගැනීම ගැන රනිල්ගේ විරෝධය

ඩී ඒ රාජපක්ෂට උපහාර 21 වැනි සිය වසට ඔබින නවීන එජාපයක් - රනිල්ගෙන් ප්‍රකාශයක් පරමාධිපත්‍යය-ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට සියලු දෙනා එකමුතු විය යුතුයි රනිල්ගේ ආර්ථික - දේශපාලන නායකත්වය විපක්ෂයෙන් අගයයි…

ඩී ඒ රාජපක්ෂට උපහාර 

21 වැනි සිය වසට ඔබින නවීන එජාපයක් - රනිල්ගෙන් ප්‍රකාශයක්

පරමාධිපත්‍යය-ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට සියලු දෙනා එකමුතු විය යුතුයි  

රනිල්ගේ ආර්ථික - දේශපාලන නායකත්වය විපක්ෂයෙන් අගයයි 

එජාප 80 වැනි සංවත්සර මහා ඉහළින් 

"අර්බුද මැද රනිල් රට භාර ගෙන කළ සේවය අගය කළ යුතුයි" -ශ්‍රීලනිප සභාපති-

ප්‍රජාතන්ත්‍රවාදී වගකීම සහ විපක්ෂයේ එකමුතුව

ජනමත විචාරණය සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ නීතිමය විග්‍රහය

21 වැනි සිය වසට ගැළපෙන නවීන දේශපාලන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරන බවත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා එකමුතු විය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ  නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ, විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් "සිරිකොත" මූලස්ථානයේ දී ඉරිදා (06) පැවති එක්සත් ජාතික පක්ෂ 80 වැනි මහා සංවත්සරයේ දී ය.

මෙම මහා සංවත්සර හමුව අමතමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී. එස්. සේනානායක මහතාගේ මූලිකත්වයෙන් සහ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ දායකත්වයෙන් ඇරඹි එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකාවේ නිදහස සහ ස්වෛරීභාවය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි බවයි.

දැන්වීම

2026 සැප්තැම්බර් 17 වැනිදාට යෙදෙන හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම දිනය උත්කර්ශවත් ලෙස සමරමින් එක්සත් ජාතික පක්ෂය රටට කළ සේවය පිළිබඳ සමාජය දැනුවත් කර 2026 දෙසැම්බර් මාසයේ පක්ෂයේ ජතික මහා සම්මේලනය පවත් වන බව ද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

"එදාට ඇති වන්නේ නවීන එක්සත් ජාතික පක්ෂයයි. නවීන එක්සත් ජාතික පක්ෂයට අද තිබෙන අදහස් අනුව මතවාද සකස් කර, අලුත් මුහුණු එක් කරමින්, 21 වැනි ශත වර්ෂයට ඔබින ශ්‍රී ලංකාවක්ගොඩනැගීමට මම බලාපොරොත්තු වෙනවා," යැයි ද හෙතෙම සඳහන් කළේය.

වත්මන් දේශපාලන ප්‍රවණතා පිළිබඳව අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි සහ 4 වැනි වගන්ති මගින් තහවුරු කර ඇති ජනතා පරමාධිපත්‍යය සේම ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර බල තුලනය නොවෙනස්ව පැවතීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. 

වෘත්තීයවේදීන්, නීතිඥ සංගමය, වෛද්‍යවරුන් සහ ආගමික නායකයින් මුහුණ දෙන අභියෝග ගැන දීර්ඝ ලෙස අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ හඬට නිසි ඉඩකඩ ලැබීමේ වැදගත්කම ගැන ද තරයේ අවධාරණය කර සිටියේය.

එසේම, පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ මුණුබුරා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට මෙම අවස්ථාවට ආරාධනා කර තිබූ බවත්, ඔහු අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසීය. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සංවත්සර උළෙලට පෙර විශේෂ ප්‍රකාශයක් කරමින් ද රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පිළිබද විශේෂ සදහනක් සිදු කළේය.
 

පරමාධිපත්‍යයේ ඓතිහාසික පරිණාමය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලධර්ම පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙහි දී අවධාරණය කළේ, ව්‍යවස්ථානුකූල සමතුලිතතාව ආරක්ෂා කර ගැනීම වග කිව යුතු සියලු දේශපාලන පාර්ශ්වයන්ගේ වගකීමක් වන බවය.

1972 ජනරජ ව්‍යවස්ථාව සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ජනතා පරමාධිපත්‍යය ජනතාව වෙත සෘජුව ස්ථාපිත වූ ආකාරය සිහිපත් කළ මහාචාර්ය ජී. එල්. පීරිස්, අධිකරණයේ ස්වාධීනත්වය හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ වෙනස් කිරීමේදී මහජනතාවගේ සෘජු අභිමතය වන ජනමත විචාරණයක පවතින අත්‍යවශ්‍යතාව පෙන්වා දුන්නේය. 

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, මතවාදී වෙනස්කම් පැවතියද එක්සත් ජාතික පක්ෂය දශක අටක් පුරා මේ රටේ කෘෂිකාර්මික, කාර්මික සහ නිවාස සංවර්ධනය වෙනුවෙන් දැක්වූ දායකත්වය පක්ෂ භේදයකින් තොරව අගය කළ යුතු බවය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම  අභියෝග භාර ගෙන ආර්ථිකය ස්ථාවර මාවතකට ගෙන ඒමට ගත් දැඩි තීන්දු තීරණ පිළිබඳව සිහිපත් කළ නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රතිපත්තිගරුක සංවාදයක් විනා වෛරී දේශපාලනයක් නොවන බව ද අවධාරණය කළේය.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සිය අදහස් දක්වමින්, එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක නායකයින් ජාති - ආගම් භේදයකින් තොරව පොදු ජාතික අරමුණක් වෙනුවෙන් පක්ෂය නිර්මාණය කළ අයුරු සිහිපත් කළ අතර නිදහස් අධ්‍යාපනය, විවෘත ආර්ථිකය, මහවැලි ව්‍යාපාරය සහ ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා එක්සත් ජාතික පක්ෂය තැබූ පදනම අදටත් රටේ ශක්තියක් බව ඔහු පෙන්වා දුන්නේය.

වර්තමාන පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සියලු දේශපාලන බලවේග එකමුතුව සාකච්ඡා කර ක්‍රියාත්මක වීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය විය. මෙම අවස්ථාවට විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් මහජන නියෝජිතයන්, වෘත්තීයවේදීන් සහ ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගී වී සිටියහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
නාමල් අත්අඩංගුවට ගැනීම ගැන රනිල්ගේ විරෝධය | Lanka Newsweek