අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නව විගණකාධිපතිවරයා පත් කිරීමේදි රජය බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි

නව විගණකාධිපතිවරයා පත් කිරීමේදි රජය බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ කිසිදු ක්‍රීයාවකට කිසිදු පාර්ශ්වයක් යොමු නොවිය යුතුයි නව විගණකාධිපතිවරයා පත් කිරීමේදි ජනාධිපතිවරයා ප්‍රධාන රජය ඉතා බුද්ධිමත්ව සහ විනිවිද භාවයෙන් යුතුව කටයුතු කළ යුතුව…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ කිසිදු ක්‍රීයාවකට කිසිදු පාර්ශ්වයක් යොමු නොවිය යුතුයි 

නව විගණකාධිපතිවරයා පත් කිරීමේදි ජනාධිපතිවරයා ප්‍රධාන රජය ඉතා බුද්ධිමත්ව සහ විනිවිද භාවයෙන් යුතුව කටයුතු කළ යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක සහ ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. 

රජයේ විගණකාධිපති පදවිය සඳහා යෝජිත නාමය ව්‍යවස්ථා සභාවේ අනුමත නොවූ බව බ්‍රහස්පතින්දා (22) දිනයේදි වාර්තා විය. මෙවන් තත්වයක් උද්ගත වන අවස්ථාවල රජය ඉතාමත්ම බුද්ධිමත් ආකාරයට ක්‍රියා කළ යුතුව තිබෙන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට පටහැනි කිසිදු ක්‍රීයාවකට කිසිදු පාර්ශ්වයක් යොමු නොවිය යුතු බව අවධාරණය කරනු කැමැත්තෙමු. ‍

ව්‍යවස්ථා සභාවේ ප්‍රධාන කාර්යභාරය වනුයේ රජයේ වගකිව යුතු පදවි සඳහා සුදුසු ස්වාධීන පුද්ගලයන් පත් කිරිම ය. එහිදි විගණකාධිපතිවරයාගේ පත්වීම ගැන සළකා බලද්දි විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් හෝ ඉන් පරිබාහිරව නාම යෝජනා වි ඇති පුද්ගලයන්ගේ ශක්‍යතාවයන් සහ අනෙකුත් සුදුසුකම් පිලිබඳව පොදු සමාජයට තක්සේරුව නොමැති බව පිලිගත යුතුව ඇත. එහෙත් රජයෙන් යෝජනා කර ඇති නම ව්‍යවස්ථා සභාවේ වැඩි ඡන්ද සංඛ්‍යාවකින් අනුමත නොවීමට හේතු සාධක රජය ගැඹුරින් සළකා බැලිය යුතුව තිබේ. එවැනි තත්ත්වයක් තුළ ලැබෙන පණිවිඩය වන්නේ එකී පදවිය දේශපාලනීකරණය කිරිමට උත්සහයක් තීබී ඇත යන්න රටේ පොදු ජනතාවට මෙන් ම අන්තර්ජාතික ප්‍රජාවට ද හැඟීමක් ඇතිවිම ය. 

දැන්වීම

මෙවැනි තත්වයක් නිර්මාණය වීම ගරු ජනාධිපතිතුමාගේ කීර්ති නාමයට ද හානිකර වනු ඇත. රටේ ඉහළම වගකීම් සහිත ධූරාවලිය සැළකීමේ දි ඉහළම වගකිමක් සහිත තනතුරක් වන විගණකාධිපති පදවියට ස්වාධීන, දක්ෂ හා අත්දැකීම් සහිත පුද්ගලයෙකු පත් නොවුණහොත් අන්තර්ජාතික ප්‍රජාව, විදේශීය ආයෝජකයන් හා අන්තර්ජාතික මුල්‍ය අරමුදල ඇතුළු ලෝකයේ ප්‍රමුඛ මූල්‍ය ආයතන තුළ අප රට ගැන අවිශ්වාසයක් ඇතිවිය හැකිවාක් මෙන් ම විවේචනයන්ට ලක්වීමට ද ඉඩක් පවති. 

පසුගිය රජයේ පාලන සමය තුළ ද ඉහළ අධිකරණයේ පත්වීමක් සඳහා උත්සහයක් ගනු ලැබූ අවස්ථාවේදී මෙවැනි ගැටුමක් ඇති වූ අතර සිවිල් සමාජයේ විරෝධය මත රජයේ ප්‍රයත්නය අත්හැර දමන ලදි. ඒ් අනුව මෙවැනි කාරණාවන්ට අදාලව රජය තීන්දු තීරණ ගැනීමේදී රටට ඉහළම දායකත්වයක් ලබාදෙමින් සිටින එමෙන් ම දූෂණය නාස්තිය හා වංචාවන්ට එරෙහිව ඉහළම ක්‍රියාකාරීත්වයක් සිදු කර ඇති නිළධාරින්ගේ උනන්දුව හා කැපවීම හීනකිරීමට ඉඩක් නොතබන ලෙස අපි ආයාචනා කරන්නෙමු. 

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදවලින් මිදීමට රටක් ලෙස උත්සහ ගනිමින් සිටින මෙම අවස්ථාවේදී සද්භාවයෙන් යුතුව පෙන්වා දෙන මෙවැනි කරුණු පිලිබඳව රජයේ දැඩි අවධානය යොමු වේවායි යන්න අපගේ ප්‍රාර්ථනයයි. 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න