නවීන් එජාපය කසාවතින් බබළවයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 7

ධර්මපාල චින්තනය පතුරුවයි..! ධම්පල් පදනමින් සිංහල බෞද්ධයින් නඟා සිටුවයි..! (සුජිත් මංගල ද සිල්වා) මහ සංඝ රත්නය පෙරටු කර ගෙන අනගාරික ධර්මපාල චින්තනය රට පුරා ව්‍යාප්ත කරමින් බෙදී සිටින සිංහල බෞද්ධ ජනයා…
ධර්මපාල චින්තනය පතුරුවයි..!
ධම්පල් පදනමින් සිංහල බෞද්ධයින් නඟා සිටුවයි..!
(සුජිත් මංගල ද සිල්වා)
මහ සංඝ රත්නය පෙරටු කර ගෙන අනගාරික ධර්මපාල චින්තනය රට පුරා ව්‍යාප්ත කරමින් බෙදී සිටින සිංහල බෞද්ධ ජනයා දේශපාලන භේදයෙන් තොරව එකට ඒකරාශී කිරීම සඳහා රට පුරා දිස්ත්‍රික් මට්ටමෙන් සමුළු පැවැත්වීමට අනගාරික ධර්මපාල පරෝපාකර පදනම කටයුතු යොදා තිබේ.
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 154 වැනි ජන්ම ගුණ සමරුව සහ අනගාරික ධර්මපාල පරෝපාකර පදනමේ 48 වැනි සංවත්සරයට සමගාමීව මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන්නේ එම පදනමේ සභාපති,එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ සංකල්පයකට අනුවය.
මේ වැඩ පිළිවෙළ යටතේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපාකර පදනමේ පළමු සමුළුව කළුතර දිස්ත්‍රික්කයේ මලේගොඩ සිරිනන්දන පිරිවෙණේදී සෙනසුරාදා (04) සවස උත්සවාකාරයෙන් පැවති අතර එම අවස්ථාවට එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ සභාපති සියම් ශ්‍යාමෝපාලික වංශික මහා නිකායේ මල් වතු පාර්ශ්වයේ රයිගම් සල්පිටි දෙකෝරළයේ ප්‍රධාන සංඝ නායක බෝපිටියේ ධම්මිස්සර නා හිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ද ගිහි උගතුන් සහ බුද්ධිමතුන් ද එක්ව සිටියහ.
අනගාරික ධර්මපාල පරෝපාකර පදනමේ දෙවැනි දිස්ත්‍රික් සමුළුව ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිත අතර දිස්ත්‍රික් සමුළු කැඳවා අවසන් කිරීමෙන් පසුව මහ සංඝයා වහන්සේලා දස දහස් ගණනක් පෙරටු කර ගෙන කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ජාතික මහ සමුළුව පැවැත්වීමට නියමිතය.
අනගාරික ධර්මපාල චින්තනය ව්‍යාප්ත කිරීමට සමගාමීව මෙම වැඩ පිළිවෙළ යටතේ එක්සත් ජාතික පක්ෂය සහ එහි නායකයින් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් ද රට වෙනුවෙන් ද සිංහල බෞද්ධ ජනතාව වගේම බුදුන් වහන්සේගේ ධර්මයට අනුව ක්‍රියා කරමින් කිසිදු භේදයකින් තොරව සුළු ජාතීන් සහ ආගමිකයින් වෙනුවෙන් ද කළ මෙහෙවර සිහිපත් කෙරේ.
කළුතර දිස්ත්‍රික්කයේ මලේගොඩ සිරිනන්දන පිරිවෙණේදී සෙනසුරාදා (04) පැවති ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපාකර පදනමේ පළමු සමුළුවේදී එම පදනමේ සභාපති,එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා මෙසේ පැවසීය.
“ බොහෝ අවස්ථාවල අපේ ජාතීන් අතර භේද ඇති කිරීමට සමහර අය උත්සාහ කරනවා. අපේ රට කොන් කරන්න උත්සාහ කරනවා. නමුත් මේ සියලු දේවලට මුහුණ දෙන්න ශක්තිය අපේ ජාතියට තියෙනවා කියන එක ගැන මට විශ්වාසයක් තිබෙනවා. එම නිසා අපි එකමුතුකමින් විවිධත්වයක් ඇති කරන්න අවශ්‍යයි.
මොකක්ද එහි තේරුම. එකමුතුකම...ඒ කියන්නේ සිංහල ,දෙමළ, මුස්ලිම් හා බර්ගර් මේ ජාතීන් අතර යම් එකමුතුකමක් තිබෙන්නට අවශ්‍යයි. නමුත් ඒ තුළ තමාගේ විවිධත්වය පෙන්වන එක කිසිම වරදක් නෑ. අපගේ සිංහලකම බෞද්ධකම ඉස්මතු කිරීම හා ප්‍රකාශ කිරීම අදහස් මතවාද දැක්වීම මේවායේ කිසිම වරදක් නෑ. අපි එය කළ යුතුයි. ඒක අපේ අයිතිය හැටියට මා දකිනවා.
කවුරු හරි කියනවා නම් මේක ජාතිවාදය කියලා එය ජාතිවාදය නෙවෙයි. මක් නිසා ද අපිට අඩංගු දේ අපිට කැමති දේ අපේ හදවත්වල තිබෙන දේ අපි ඉස්මතු කරන්නේ. එහෙම කරන්නෙ නැත්නම් එහෙම කරන්න බැරි නම් තහංචි දානවා නම් අන්න එතන තමයි පිපිරීමක් ඇති වෙන්නේ. එම නිසා අපගේ එකමුතුකම නීතියෙන් ආරක්ෂා කර ගන්න අවශ්‍යයි. නමුත් අපගේ විවිධත්වය අපගේ මනසින් හා හදවතින් පෙන්විය යුතුයි. මම හිතන්නේ එහෙම අපිට හිතන්න පුළුවන් නම් මේ විශාල ගැටලුවලට විසදුම් අපිට ලබා ගන්න පුළුවන්. ”
විශේෂයෙන්ම අද අපිට ධර්මපාලතුමා ගැන බොහෝ දේවල් දැන ගන්න පුළුවන් වුණා. මම මෙම පදනමට සම්බන්ධ වුණේ ධර්මපාලතුමාගේ චින්තනය නිසා. එතුමා 1865 උපත ලැබ අධිරාජ්‍යවාදී යුගයේ අපේ මාතෘ භූමිය නිදහස් කර ගැනීමට සුවිශේෂ නායකත්වයක් ලබා දුන් පුද්ගලයෙක් විදිහට හදුන්වන්න පුළුවන්. ඊටත් වඩා ඔබ්බට ගිහිල්ලා එතුමාට පුළුවන් වුණා අපගේ සිංහල බෞද්ධ පුනර්ජීවණයක් මේ රටේ ඇති කරන්න.
විශේෂයෙන්ම අධිරාජ්‍යවාදීන් ඉතාමත් මිලේච්ඡ විදිහට අපගේ ආගම සංස්කෘතිය හා භාෂාව මිරිකා තිබ්බ අවස්ථාවක එතුමා ඉතාමත් නිර්භීතව ඉතාමත් කෙළින් ඍජුව ඒකට විරුද්ධව හඩක් නැගුවා.එතුමා උසස් ධනේෂ්වර පන්තියකින් තමයි උපත ලැබුවේ. හේවාවිතාරණ පරම්පරාවෙන්. නමුත් ඒ සියලුම තාන්නමාන්න සියලුම ධනය සමාජ පිළිගැනීම් එතුමා අත්හැරලා එතුමා වෙනම මාර්ගයක ගියා. මක් නිසා ද එතුමාට තේරුණා මේ රටේ වේදනාව ජනතාවගේ දුක. ඒ අවස්ථාවේදී තමාට හැර වෙනත් කෙනෙකුට මේ යුතුකම භාර දෙන්නේ නැතුව තමාගේම උරට ගෙන කටයුතු කරන එකයි සුදුසුයි කියලා එම නිසා අපේ පදනම හරහා එතුමාගේ නම අපි රට පුරා ගෙන යනවා. එතුමාගේ නම තව අවුරුදු සියයක් දෙසියක් නොව අපේ රට පවතින තුරු රදා පවත්වන්නට අපි කටයුතු කරනවා.
අද බොහෝ අවස්ථා වල එතුමා බලාපොරොත්තු වුණු දර්ශනය හා චින්තනයට මඩ ගහන්න එයට විරුද්ධව මතවාද ගෙනෙන්නට යම්කිසි කොට්ඨාශ උත්සාහ කරනවා. දැන් අපේ පදනමටත් කියනවා ජාතිවාදය කියලා. මම පැහැදිලිව ප්‍රකාශ කරනවා මම සම්බන්ධ කිසිම පදනමක් ජාතිවාදය ඇති කිරීමට ඉඩ ලබා දෙන්නේ නෑ.
අපේකම ගැන කතා කරන එක අපට අවශ්‍ය දේවල් ගැන හඩ නඟන එක සමාජයේ යම්කිසි අඩුවක් තියෙනවා නම් එය පෙන්වන එක ජාතිවාදය නෙවෙයි.තවත් ආගමකට හෝ භාෂාවකට හෝ යම්කිසි කොට්ඨාශයකට හානි කරන ආකාරයට කටයුතු කිරීම ජාතිවාදය කියලා කියන්න පුළුවන්.
අපි කිසිසේත්ම බෞද්ධ දර්ශනයට අනුව කිසිම පුද්ගලයෙක්ට කිසිම ආගමකට හානිදායී විදිහකට කටයුතු කරන්නේ නෑ. ධර්පාලතුමාත් අපිට ඉගැන්වූයේ අපේකම අපේ ශක්තිය වර්ධනය කරගැනීමට මිස අනෙකුත් කිසිම ආගමකට හානි නොකරන විදිහට කටයුතු කරන ලෙසයි. එම නිසා අද පැහැදිළිවම අපේ ධර්මපාල සමිතිය ධර්මපාල පදනම මෙවැනි උත්සව රාශියක් මේ රටේම අපි පවත්වනවා. අපි බලාපොරොත්තු වෙන්නේ යම්කිසි හෝ මට්ටමකින් ධර්මපාලතුමාගේ විශිෂ්ටත්වය,අභිමානය හා චින්තනය විශේෂයෙන්ම මේ රටේ පුංචි දුවා දරුවන්ට ඒ ඔළුවලට හදවත්වලට ලබාදීමයි.
ඒ අපගේ උත්සාහය සාර්ථක වෙයි ද නැද්ද කියන එක අපිට තාම කියන්න බෑ. එය ඉතිහාසයේ යම්කිසි අවස්ථාවක ලිය වෙයි. මේ රටේ අනාගත අභිවෘද්ධිය සාර්ථක උනොත් අපගේ රට යම්කිසි සිංහල බෞද්ධ චින්තනයක් අනුව වර්ධනය උනොත් අපිට කියන්න පුළුවන් අපගේ පණිවිඩය අප බලාපොරොත්තු වුණු ලංකාව අපගේ චින්තනය සාර්ථක උනාද නැද්ද කියලා.
1948 අපි නිදහස ලබා ගන්නා විටත් ජපානය, කොරියා අපිට වඩා පිටුපසින් හිටියේ. පරමාණු බෝම්බයෙන් ජපානය සම්පූර්ණයෙන් විනාශ වෙලා තිබ්බා. අපේ දැනුම ලීකුවාන් ජනාධිපතිතුමා සිංගප්පූරුව හදන්න ප්‍රයෝජනයට ගත්තා. මගේ දර්ශනය තමයි මේ රටේ සිංහල බෞද්ධ ජනතාව නගා සිටුවන්නට ආර්ථික පුණර්ජීවනයක් අවශ්‍යයි කියන එක. ඒ මතයේ ධර්මපාලතුමා වුණත් හිටියා කියන තැන මම ඉන්නේ.
අපි කොච්චර කතා කළත් ධර්මපාලතුමාගේ ගුණ වර්ණනා කළත් අපි දුප්පත් නම් අපේ බෞද්ධ දර්ශනය ඉදිරියට ගෙනි යන්න බෑ. විශේෂයෙන්ම අපි දුප්පත් වුණත් අපේ හදවත් පෝසත්. මම හිතනවා තවමත් අපේ ජනතාව බෞද්ධ දර්ශනයට අනුව අපේ ආගමට ජාතියට භාෂාවට ලැදී කියලා. නමුත් අපි දන්නවා පන්සලකට පුංචි ආධාරයක් ලබා ගැනීමට ආවහම තිබෙන අමාරුව. රුපියල් පනස්දාහක් දෙන්න කෙනෙක් නෑ. පල්ලියකට කෝවිලකට රුපියල් කෝටියක් දෙන්න ඕනතරම් කට්ටිය ඉන්නවා.
ඉතිං මම හිතන්නේ විශේෂයෙන්ම අපි මේ ජන කොට්ඨාශය ආර්ථික අතින් ශක්තිමත් කළ යුතුයි. එක දිස්ත්‍රික්කයකින් අපිට පුළුවන් නම් සිංහල බෞද්ධ ව්‍යවසායකයන් විස්සක් තිහක් නිර්මාණය කරන්න අලුතින් හදන්න මේ පන්සල්වලට උදව් උපකාර කරන්න මම හිතන්නේ අපිත් ඒ විදිහට සිතිය යුතුයි. නැත්නම් අපිට කවදාවත් අපේ මාතෘ භූමිය මීට වඩා ඉහළට ගෙනියන්න බැරි වෙයි.
මගේ දිවංගත පියා උතුරු නැගෙනහිර පළාත් වල සිංහල ජනතාව දහස් ගණනින් ගිහින් පදිංචි කළ නායකයෙක්. ඇත්ත වශයෙන්ම ඒ අසූ ගණන් වල එතුමා ඒක කළේ නැත්නම් අද වෙන කොට එල්ටීටීඊ සංවිධානය මීටත් වඩා පල්ලෙහාට ඇවිල්ලා. එතුමා ඒ අවස්ථාවේ මහවැලි ව්‍යාපාරය හරහා සිංහල පවුල් පදිංචි කරන කොට එතුමාටත් කිව්වා ජාතිවාදය අවුස්සනවා කියලා.
ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එතුමාගේ ක්‍රියා කලාපය නිසා මහවැලි ඇමති ධුරය පවා අයින් කරන්නට ගියා. නමුත් අන්තිමට එතුමා මාගේ පියාගේ දක්ෂකම් දැකලා එතුමා නැතුව ඉදිරි ගමනක් නෑ කියලා තේරුම් අරගෙන එතුමාව කැබිනට් එකෙන් ඉදිරියට දැම්මේ නෑ. නමුත් මගේ පියාට ඒ අවස්ථාවේ ශක්තියක් තිබ්බා තමාගේ හදවතට එකඟව ක්‍රියා කරන්න. ඉතිං අදත් මේ රටට අවශ්‍යයි තමන්ගේ හදවතට එකඟව ක්‍රියා කරන නායකයෝ පිරිසක්.
අපි ප්‍රාර්ථනා කරනවා කළුතර දිස්ත්‍රික්යෙන් එවැනි සිංහල බෞද්ධ හොඳ නායකයින් පිරිසක් බිහි වේවා කියලා. අපි අපේම ජන කොට්ඨාශයක් බිහි කළ යුතුයි. ඔවුන්ට පළුවන් විය යුතුයි අපේ ජන කොට්ඨාශ වලට අතක් දීලා නැගිට්ටවන්න. අපි එකිනෙකාට උදව් කළේ නැත්නම් අපි කොහාටද යන්නේ. මට තවමත් විශ්වාසයක් තියෙනවා මේ රට හදන්න පුළුවන්. අපිට ඒකට තවමත් කල් තියෙනවා. එහෙම නොකළොත් අපි ධර්මපාලතුමාට කරන ලොකු අගෞරවයක් එය.
අපිට හොඳ මිනිස්සු ඉන්නවා. ඒ අයට අත දීලා ආර්ථිකය ශක්තිමත් කරලා කෘෂි කර්මාන්තය දියුණු කරලා අපේ රටේ ශක්තීන් හොඳින් කළමනාකරණය කරලා අපිට විරුද්ධ බලවේගයන්ට දැඩි ලෙස කටයුතු කරලා මේ රට අපි ගොඩ ගත යුතුයි. අද අපේ රටට නායකත්වය දුන්න අයගේ නම්වත් දන්නේ නෑ අද තරුණයින්. ඒ නිසා අපි අපේ රටේ වීර පුත්‍රයින්ගේ නම් තරුණ හදවත් තුළ රැදවිය යුතුයි. ජපානයට ගිහින් අහන්න ජේ.ආර්. ජයවර්ධන කවුද කියලා. හැම ජපනෙක්ම දන්නවා ඒ කවුද කියලා. ජේ.ආර්. ජයවර්ධන ඇමෙරිකාවට ගිහින් කතාවක් කළා ඒ නිසා තමයි ජපනුන්ට නිදහස ලැබුණේ. පුංචි ජපන් ළමයින්ට එතුමාගේ චරිතය පිළිබඳව පාසල් වල උගන්වනවා. නමුත් මේ ලංකාවේ දුවා දරුවන් ඒක දන්නේ නෑ. ඉතිං වෙනස බලන්න.
ඉතිං මේ වැරදි කරන්නේ කවුද? දේශපාලඥයෝ තමයි මේ වැරදි කරන්නේ. දේශපාලඥයෝ පත් කරන්නේ කවුද? තමුන්නාන්සේලා. තමුන්නාන්සේලාගේ කතිරෙන් තමයි මොවුන් බලයට එන්නේ. සමහර වෙලාවට සාමාන්‍ය පෙළවත් පාස් නැති අය අට පාස් නැති අයටත් කතිර ගහනවා. ලක්ෂ ගාණක් මනාප ගන්නවා. අද සමාජයේ බුද්ධිමතුන්ට තැනක් නෑ.
එම නිසා අපි දැන් මේවා සැදිය යුතුයි. අපි දරුවන් දැන් සැදිය යුතුයි. අපේ දරුවන් විශාල අනාගතයකට ගෙන යන්න අවශ්‍යයි. දරුවන්ට අවශ්‍ය පෝෂණය හා ශක්තිය අදහස් උදහස් අපේ රට දේශානුරාගය ඇති කළ යුතුයි. අද ධර්මපාලතුමා හිටියා නම් දුක් වෙයි. එතුමා කැමති නැති යුගයක් මේක. මොකද සිංහල ජනතාව බෙදිලා. අපි එක හදවතකින් අපේ ගැටලු කතා කරන්නේ නෑ. අපි ධර්මපාලතුමාගේ චින්තනය ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් අල්පමාත්‍රයක සාර්ථකත්වයක් තියෙනවා නම් අපි එයින් සතුටක් ලබනවා යැයි පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 7
