අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නම ගිය පාතලයෙකු රිමාන්ඩ්

නම ගිය පාතලයෙකු රිමාන්ඩ්

(ජයකාන්ත ලියනගේ) මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව අත් බෝම්බයක් ලග තබාගෙන සිටියදී කොළඹ අපරාධ මෙහෙයුම් කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා 2017 නොවැම්බර් මස 20 වන දින දක්වා රක්ෂිත…

(ජයකාන්ත ලියනගේ)

මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව අත් බෝම්බයක් ලග තබාගෙන සිටියදී කොළඹ අපරාධ මෙහෙයුම් කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා 2017 නොවැම්බර් මස 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් අසංගා අයි හෙට්ටිවත්ත මහත්මිය  ඊයේ (12)නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ආරචිචිවත්ත, පිංකන්ද, දොඩන්දූව ලිපිනයේ පදිංචි කන්දේ කලාසි උදය කුමාර (38) නොහොත් පොඩිපෝල් සහ එම ලිපිනයේම පදිංචි සුබසිංහ ආරචිචිලාගේ ලක්ෂිත අචිර (28) යන දෙදෙනාය.

දැන්වීම

කොළඹ අපරාධ මෙහෙයුම් කොට්ඨාශයට ලැබුණ තොරතුරක් මත සැකකරුවන් අත් අඩංගුවට ගෙන ප‍්‍රශ්ණ කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලය සහ ජීව අත් බෝම්බය සොයාගෙන තිබේ. කොළඹ අපරාධ මෙහෙයුම් කොට්ඨාශය, සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සදහා හික්කඩුව පොලීසියට බාරදී ඇත.

මෙයින් පළමු සැකකරු අම්බලන්ගොඩ, කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම ගාල්ල ක‍්‍රිකට් සංගමයේ සභාපතිවරයාද වූ අම්බලන්ගොඩ මානිමුල්ලේදී පදිංචිව සිටි හැලඹගේ පේ‍්‍රමසිරි (54) නැමැති අයගේ ඝාතනය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය සැකපිට අත් අඩංගුවට ගෙන තිබිණි. මොහු පේ‍්‍රමසිරි හැලඹගේ නැමැති අයට වෙඩි තබා ඝාතනය කිරීමට අදාල නඩුවේ ප‍්‍රධානතම සැකකරුවා බවද හික්කඩුව පොලීසිය කියයි. ක‍්‍රිකට් සංගමයේ සභාපතිවරයාට වෙඩිතැබීම සිදුකර තිබුණේද මොහු විසින් බවට අම්බලන්ගොඩ පොලීසිය පරීක්ෂණ වලදී තහවුරු කරගෙන තිබිණ. ඔහු මේ වනවිට එම නඩුවට අදාලව මුදල් රුපියල් විසිපන් දහසක් (25,000/-) සහ රුපියල් ලක්ෂ දෙක (2,00000/-) බැගින් ශරීර ඇප 02 මත බළපිටිය මහේස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය විසින් මුදාහැර තිබේ. මෙම නඩුව නැවත 2018 ජනවාරි මස 12 වන දින කැදවීමටද නියමිතය. 2016 අගෝස්තු 12 දින අම්බලන්ගොඩ, මානිමුල්ලේදී සැකකරු විසින් මෙම ඝාතනය සිදුකර තිබූ බවද අම්බලන්ගොඩ පොලිසිය කියයි.

එම අවස්ථාවේදී කන්දේ කලාසි උදය කුමාර (38) නැමැති මෙම සැකකරුගේ හික්කඩුව, තිරාණගම නිවසේ තිබී ටී - 56 ගිනි අවියක්, ටී - 56 උණ්ඩ 12 ක් සමග පතුරම් මැගසිනයක්, මිලි මීටර් 9 බ‍්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක් සහ එයට යොදන පතුරම් 06 ක් සමග මැගසිනයක් අම්බලන්ගොඩ පොලීසිය මගින් සොයාගෙන තිබුණි.

හික්කඩුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලක්මාල්, උප පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න මෙන්ඩිස් යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් කපිල (22602) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
නම ගිය පාතලයෙකු රිමාන්ඩ් | Lanka Newsweek