“නකල්ස් රක්ෂිතයේ බිම් අඟලක්වත් කිසිවකුට පවරා දී නැහැ”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5

“සාධක තිබෙනවා නම් ඔප්පු කරන්නැයි අභියෝග කරනවා” (සුජිත් මංගල ද සිල්වා) නකල්ස් රක්ෂිතය ආශ‍්‍රීත බිම් අඟලක්වත් කිසිම කෙනෙකුට පවරා දී නැතැයි ද එසේ පවරා දුන් බවට තහවුරු කළ හැකි සාධක ඇත්නම් ඉදිරිපත්කරන ලෙස…
“සාධක තිබෙනවා නම් ඔප්පු කරන්නැයි අභියෝග කරනවා”
(සුජිත් මංගල ද සිල්වා)
නකල්ස් රක්ෂිතය ආශ‍්‍රීත බිම් අඟලක්වත් කිසිම කෙනෙකුට පවරා දී නැතැයි ද එසේ පවරා දුන් බවට තහවුරු කළ හැකි සාධක ඇත්නම් ඉදිරිපත්කරන ලෙස චෝදනා නගන පිරිසට අභියෝග කරන්නේ යැයි ද පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කර සිටියි.
ඔහු මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදි තවදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මසේ ද කීය.
1992 එවකට පැවති රජය ඉඩම් අක්කර 540,000ක් සමාගම් 19කට දුන්නා. එම අවස්ථාවේ ඉතාමත් නොදියුණු තත්වයක පැවති නිසා මහනුවර දිස්ත‍්‍රික්කයේ ජනවසම, රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම සතු වතු කිසිවක් කිසිම ආයතනයකින් ඉල්ලූවේ නැහැ.
හැම වසරකම මිලියන දාහක් එක්දහස් පන්සියයක් මෙම වතු නඩත්තු කිරීමට වැය වෙනවා. යහපාලන රජය බලයට පත්වීමත් සමඟ එවකට මෙම අමාත්‍යාංශය බාර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ නිළධාරීන් සාකච්ඡා කරලා මෙම වතුවල තිබෙන කිසිම වගාවක් නොකරපු ඉඩම් කොටස්වල නව ආයෝජන කරන්න යෝජනා ලබාගත්තා.
නමුත් මේ යෝජනා ලබා ගත්තට බිම් අඟලක්වත් කිසිම කෙනෙකුට ලබාදීලා නැහැ. හිටපු ඇමතිතුමා මෙම යෝජනා 257 කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ප‍්‍රතිපත්තිමය වශයෙන් පිළි ගෙන තිබෙනවා. ප‍්‍රතිපත්තිමය වශයෙන් අනුමැතියක් තිබුණට ක‍්‍රියාත්මක කරන්න බැහැ. මේ හැම යෝජනාවක්ම වෙන වෙනම පරිසර අධිකාරියේ ඇතුළු ආයතනවල අවසරව සහිතව කැබිනට් අනුමැතියට යොමු වෙන්න අවශ්‍යයි.
මම අමත්‍යාංශය භාර ගන්නා විටත් මෙම යෝජනා සකස් කරලා තිබුණේ. එම නිසා මගේ වත් හිටපු ඇමතිතුමාගේවත් කිසිම ඥාතියෙක්, හිතවතෙක් ඒ වගේ ඇතුළත් වන්නේ නැහැ. ඉදිරියේදී ඒ නාම ලේඛනයත් අවශ්‍ය නම් ලබා දිය හැකියි.
මේ යෝජනා සැලකිල්ලට ගන්නා අවස්ථාවේ නකල්ස් රක්ෂිතය ඇතුළත කිසිම බිම් කොටසක් ඊට ඇතුළත් කරලා නැහැ. ජනවසම සහ රාජ්‍ය වැවිලි සංස්ථාව වවන ලද ගස් 61,000ක් නකල්ස් රක්ෂිතය වෙනුවෙන් අත්ඇරලා තියෙනවා. රක්ෂිතයේ මායිම් කණු දාලා සලකුණු කරලා තියෙනවා.
එම මායිමෙන් ඇතුළත කිසිම දෙයක් අපි කරලා නැහැ. අපි කැමතියි මාධ්‍යවේදීන් ඇතුළු ඕනෑම කෙනෙක් මේ ප‍්‍රදේශවලට ගිහින් මෙම ස්ථාන පරික්ෂා කරලා යම් කිසි අකටයුත්තක් සිදු වෙලා තියෙනවද කියලා තහවුරු කර ගන්නවා නම්. පුවත්පත් හරහා, වෙබ් අඩවි හරහා වැරදි මත පළ කරන පිරිස්වලටත් මම ආරාධනා කරනවා අපිත් එක්ක ඇවිත් මේ ප‍්‍රදේශය නිරීක්ෂණය කරන්නට එකතු වෙන්න කියලා.
මේ පිළිබඳ විශාල වශයෙන් මත පළ කරපු පරිසරවේදී සජීව චාමිකර මහතාට විශේෂයෙන් මේ මාධ්‍ය හමුවට ආරාධනා කළා. එතුමාට බැරිනම් එතුමාගේ නියෝජිතයෙක් හරි සහභාගී කරවන්න කියලා ඉල්ලූවා. නමුත් කිසිම කෙනෙක් සහභාගී වෙලා නැහැ.
සාධක සහිතව මේ චෝදනා තහවුරු කරන්න ඒ අය මෙතනට එන්න තිබුණා. මෙන්න මේ වත්තේ, මෙන්න මේ කොටසේ මේ වගේ දෙයක් ක‍්‍රියාත්මක වෙනවා කියලා කරුණු සහිතව මේ කරුණු තහවුරු කරන්න ඒ අයට පුළුවන් වෙන්න ඕනේ. එහෙම කිසිම සාධකයක් නැහැ. ඒ වගේම වන සංරක්ෂණ නිලධාරීන්ටත් මේ සාකච්ඡාවට ආරාධනා කළා. නමුත් ඒ අයත් සහභාගී වෙලා නැහැ.
මම මේ අමාත්‍යාංශය භාර අර ගෙන තවම ඉතාමත් කෙටි කාලයයි. ඒ කාලය ඇතුළත මම මේ යෝජනා පිලිබඳ අධ්‍යයනය කළා. රක්ෂිතයට අයත් භූමියට බලපාන යෝජනා තියෙනවද කියලා තවදුරටත් සොයා බලනවා. කිසියම් ආකරායකින් එහෙම තියෙනවා නම් ඒවාත් ඉවත් කර ගන්න අපි සූදානම්.
මේ වන විටත් බිම් අඟලක්වත් කිසිම කෙනෙකුට පවරා නැති බව මම වගකීමෙන් ප‍්‍රකාශ කරනවා. නකල්ස් රක්ෂිතය ආශ‍්‍රිතව තියෙන පෞද්ගලික ඉඩම් ගැන අපි දන්නේ නැහැ. නමුත් ජනවසම, රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වතු සමාගමට අයිති ඉඩම්වල කිසිම ව්‍යාපෘතියක් ආරම්භ කරලා නැහැ.
මේ ආශ‍්‍රිතව තියෙන හෙයාර් පාර්ක් වත්තට මම පසුගියදා ගියා. ඒ කම්කරුවන්ට වැඩ කරන්න ලැබෙන්නේ සතියට දවස් දෙකයි. ඔවුන්ගේ සියලු වෘත්තිය සමිති කියන්නේ කර ගෙන යන්න පුළුවන් කාට හෝ මේ වතු පවරලා ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කරන්න කියලයි.
2015 වසරේ දින 100 රජයේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා හැටියට මම සෑම වතු කම්කරු පවුලකටම පරචස් 7ක ඉඩම් කොටසක් ලබා දෙන්න කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළා. එය අනුමත වුණත් පසුගිය වසර 2 1/2 තුළ ඒක ක‍්‍රියාත්මක වුණේ නැහැ. මම අමාත්‍යවරයා හැටියට මේ කාර්යය කඩිනම් කළා. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට වතු කම්කරු ජනතාවට භූමියේ අයිතිය ලබා දීමට කටයුතු කරනවා. රජයට අයිති වතු සමාගම්වල කම්කරු පවුල් වලට ඉඩම් කැබලි 20,000ක් පමණ බෙදා දීමට කටයතු කරනවා. පෞද්ගලික වැවිලි සමාගම්වලටත් මෙම ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
2015 යහපාලන රජය බලයට පත්වන විට රජයට අයත් වතුවල කම්කරුවන්ගේ ව්‍යවස්ථාපිත දීමනා සතයක්වත් වසර 20කින් ගෙවා තිබුණේ නැහැ. එහි වටිනාකම මිලියන 1900ක්. මම වැවිලි කර්මාන්ත ඇමතිවරයා ලෙස කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරලා මුදල් ලබා ගෙන මේ හිඟ දීමනා ක‍්‍රමානුකූලව ගෙවා ගෙන ආව. මේ වන විට ඒ හිඟ මුදල මිලියන 1900 සිට මිලියන 300 දක්වා අඩු කර තිබෙනවා.
මෙම වතුවල පවතින හිස් ඉඩම් තෝරා ගෙන පෞද්ගලික ආයෝජකයින්ට ආයෝජනය සදහා ලබා දීමටයි තක්සේරු කරලා තියෙන්නේ. උදාහරණයකට හෙයාර් පාර්ක් වතු යායේ හිස් ඉඩම් ආශ‍්‍රිතව කිරි ගව පාලනය කිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් මිලියන 2,000ක් ආයෝජනය කිරීමට ආයතනයක් යෝජනා කරලා තිබෙනවා. ඒකට වෘත්තිය සමිති ඇතුළු සියලු කම්කරුවන් කැමතියි. නමුත් මේ හැම ව්‍යාපෘතියක් සඳහාම අනිවාර්යයෙන්ම පරිසර අධිකාරිය ඇතුළු අනෙකුත් රජයේ ආයතනවල අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුවයි ඉදිරි කටයුතු සිදුවෙන්නේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා.
අපේ අමාත්‍යාංශය යටතේ වැවිලි ප‍්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ආරම්භ වුණේ ජනවසම, රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වතු සමාගම යන සමාගම්වල සේවක අර්ථ සාධක අරමුදල්, සේවා නියුක්ති භාරකාර අරමුදල් නිසි පරිදි නොගෙවීම නිසා නඩු 1693ක් පවරලා තිබුණා.
2015 මෙම අමාත්‍යංශය ආරම්භ කළාට පසුව මේ වගේ ගැටලු විශාල ප‍්‍රමාණයක් මතු වුණා. මේ නිසා 2017 වසරේ රුපියල් මිලියන 1116 ලබා දෙන ලෙස ඉල්ලීමක් කළා. එය ලබා දෙන අතරම මෙම ගැටලු සඳහා ඵලදායී යොජනාවලියක් ඉදිරිපත් කරන ලෙස භාණ්ඩාගාරය ඉල්ලීමක් කළා.
නමුත් නකල්ස් රක්ෂිත සංවේදී කලාපය ආශ‍්‍රිතව කිසිඳු ව්‍යාපෘතියක් සිදු නොකරන ලෙස අමාත්‍යතුමා විශේෂයෙන් උපදෙස් දීලා තිබෙනවා. ඒ නිසා මෙම යෝජනා කැඳවීමෙන් බලාපොරොත්තු වුණේ විශාල ආර්ථික අර්බුදයකට ලක් වෙලා දුක් විඳින කම්කරු ජනතාවට අවම වශයෙන් දින 20ක් වත් වැඩ කිරීමේ අවස්ථාව ලබාදීමේ අරමුණිනුයි.
මේ හේතුවෙන් කිසියම් පාරිසරික සංවේදී කලාපයකට හානියක් සිදුවන කිසිම ව්‍යාපෘතියකට අපි අවසර ලබා දෙන්නේ නැහැ. කිසියම් කෙනෙකු සතුව එවැනි නිවැරදි තොරතුරක් තිබෙනවා නම් ඒවා නිවැරදි කිරිමට අපි කටයුතු කරනවා.
මාධ්‍ය හමුව සඳහා රාජ්‍ය වැවිලි සමාගමේ සභාපති තිලක් මහනාම, අමාත්‍යාංශයේ වැවිලි උපදේශක, උපාලි විජේසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටිය අතර පරිසරවේදීන්ට සහ වනසංරක්ෂණ නිළධාරීන්ට ලිඛිතව ඇරයුම් කර තිබූ නමුත් ඒ කිසිවෙක් මේ සඳහා සහභගී නොවූහ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5