අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දේශපාලන ගජ මිතුරන්ට වරදාන දුන් යුගය අවසන් කරනවා

දේශපාලන ගජ මිතුරන්ට වරදාන දුන් යුගය අවසන් කරනවා

හැකියාවටයි-දක්ෂතාවයටයි නිසි තැන අලුත් කණ්ඩායමක් එක්ක අලුත් ගමනක් යන්න සැර සෙමු තොරතුරු තාක්ෂණයයි-දැනුමයි පදනම් කර ගත් අලුත් ශ්‍රී ලංකාවකින් සැමට ප්‍රතිලාභ (සුජිත් මංගල ද සිල්වා) තොරතුරු තාක්ෂණය සහ…

හැකියාවටයි-දක්ෂතාවයටයි නිසි තැන 

අලුත් කණ්ඩායමක් එක්ක අලුත් ගමනක් යන්න සැර සෙමු 

තොරතුරු තාක්ෂණයයි-දැනුමයි පදනම් කර ගත් අලුත් ශ්‍රී ලංකාවකින් සැමට ප්‍රතිලාභ 

(සුජිත් මංගල ද සිල්වා)

තොරතුරු තාක්ෂණය සහ දැනුම පදනම් කර ගත් නව ශ්‍රී ලංකාවක් ගොඩනගා සෑම පුරවැසියකුටම ප්‍රතිලාභ අත්කර දෙන්නේ යැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ එකසත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක  සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂය සහ ජාතික හෙළ උරුමය අතර ප්‍රතිපත්තිමය ගැටලු ඇතැයි තමා විශ්වාස නොකරන බව පැවැසූ සජිත් ප්‍රේමදාස මහතා සෞභාග්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් ගොඩනඟන්න නම් මේ     පාර්ශ්ව දෙකම එකට සිටිය යුතු යැයි  ද ඉදිරියේ දී දක්ෂයන්ට හැකියාවන්ට තැන දෙන අලුත් කණ්ඩායමක් සමඟ  අලුත් ගමනක් ආරම්භ කරන්නේ යැයි  ද අවධාරණය කළේය. 

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සිකුරාදා (18) "දැය නිසි මඟට ගමු-එක්ව ඉදිරියට යමු" යන තේමාව ඔස්සේ බොරුල්ල කැම්බල් පිටියේ පැවැති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික මහා සමුළුව අමතමිනි.

දැන්වීම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ නියෝජිතයන්, දෙමළ ප්‍රගතිශීලී පක්ෂයේ නියෝජිතයන්, තෙලිගු දේශම් පක්ෂයේ නියෝජිතයන්, ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් මෙහිදී වේදිකාවට පැමිණ සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කර සිටීමද සිදුවිය.

එහි දී වැඩි දුරටත් අදහස් පළ කළ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා,

ජාතික හෙළ උරුමය අපේ රටේ ඉතිහාසයේ අති වැදගත් වූ කඩඉමක දේශ හිතෛෂීව රට එක්සේසත් කරන ගමනට අනූපමය සේවයක් එක් කරන දේශපාලන පක්ෂයක් හැටියටයි මම දකින්නේ. රටේ භෞමික අඛණ්ඩතාව ස්වෛරීත්වයට රට එක්සේසත් කරන ගමනට ජාතික හෙල උරුමය ලබා දුන් නායකත්වය අමරණීයයි. අද වෙන කොට යුද්ධය අවසන් වෙලා දශකයකට වැඩි කාලයක් ඉදිරියට ඇවිත් තිබෙනවා. මේ කාලවකවානුව තුළදී රට තුළ සමාජමය ආරක්ෂක ක්ෂේත්‍රය තුළත් විවිධ අභියෝගවලට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා. ජාතික හෙළ උරුමයත් අපේ ප්‍රතිපත්තිත් අතර මහා ලොකු වෙනසක් තිබෙනවා කියා මා විශ්වාස කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයත් ජාතික හෙළ උරුමය අතරත් ප්‍රතිපත්තිමය ගැටලුවක් ඇතැයි කියා මා විශ්වාස කරන්නේ නැහැ. අපි සෞභාග්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් ගොඩනඟන්න අපි පාර්ශ්ව දෙකම එකට සිටිමුයි කියන්න කැමතියි. එක පවුලකට වහල් වෙච්ච රටක් නිර්මාණය කරනවා ද එක පවුලක් තමන්ගේ වරිග සභාව තුළ ගන්න තීන්දු තීරණ පමණම ද මේකද අපේ රටේ අනාගතය.

අපි රටක් හැටියට අලුත් ගමනක් අලුත් පිළිවෙතක් නවෝත්පාදනය ඩිජිටල් තාක්ෂණය තොරතුරු තාක්ෂණය දැනුම පදනම් කර ගත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරලා හැමටම ප්‍රතිලාභ ලැබෙන මාතෘ භූමියක් නිර්මාණය කරන්න අවශ්‍ය වෙනවා. දේශපාලන ගජමිතුරු සංගම්වලට වරදාන තනතුරු ලබා දුන් යුගය අවසන් කරලා දක්ෂතාව හැකියාවට මුල්තැන ලබා දීලා කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් තුළින් ලොව දිනන සොඳුරු දේශයක් ගොඩනඟන්න අපි කැපවෙනවා. වාසගම් බලලා තනතුරු ලබා දීම අපි දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. මේ රටේ කුඩු ජාවාරම ඇතුළු නීතිය හා සාමය පිළිබඳ තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දීලා ආරක්ෂාව පිළිබඳ වගකීම සරත් පොන්සේකා මහතාට ලබාදී තිබෙනවා. ඉදිරියේ දී දක්ෂයන්ට හැකියාවන්ට තැන දෙන අලුත් කණ්ඩායමක් සමඟ අපේ අලුත් ගමනක් ආරම්භ කරන බව කියන්න කැමැතියි. චම්පික රණවක මහතා නවෝත්පාදනය කේන්ද්‍ර කර ගත් ගමන් මඟක පෙරමඟ ගමන්කරුවා ලෙස කටයුතු කරන බව පිළිගන්නවා. වංවාව දූෂණය අපේ රාජ්‍ය තන්ත්‍රයෙන් අතු ගා දමන්න කැපවෙනවා කියන්න කැමැතියි. රටේ එක පවුලක් මේ රටේ ජීවත් වන පවුල් ලක්ෂ 220කට ආසන්න පිරිසක් පාලනය කරනවා කියා තීන්දු කළ හැකිද එම ක්‍රමවේදය අපි සහමුලින්ම පරාජය කරනවා කියන්න කැමතියි. ජාතික හෙළ උරුමයත් එක්සත් ජාතික පක්ෂයත් පක්ෂ දෙකක් නොව රට ගොඩනඟන ගමනේ එකට සිටිමු කියන්න කැමැතියි.

මේ අවස්ථාවට මහා සංඝරත්නය, මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති ජාතික හෙළ උරුමයේ මහා ලේකම් පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය ඇමැති හෙළ උරුමයේ සම සභාපති කරුණාරත්න පරණවිතාන, හිටපු පළාත් සභා මන්ත්‍රී ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, ජාතික හෙළ උරුමයේ උප සභාපතිනි හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂා අතුකෝරල යන මහත්ම මහත්මීන්, ජාතික හෙළ උරුමයේ උසස් නිලධාරීන්, ක්‍රියාකාරිකයන්, සාමාජිකයන්, දේශපාලන පක්ෂවල නියෝජිතයන්, ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
දේශපාලන ගජ මිතුරන්ට වරදාන දුන් යුගය අවසන් කරනවා | Lanka Newsweek