"දේශපාලනයේ යෙදුන මහා පඬිවරයා" - ශ‍්‍රීමත් ඞී.බී. ජයතිලක
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 6

මීට වසර කිහිපයකට පෙර දිනයක මා අනුරපුර රත්නමාලි චෛත්‍ය රාජයාණන් වන්දනා කරමින් සිටියේ පිච්ච මල් පූජාවට සහභාගිවීමෙන් අනතුරුවය. ඒ වන විට රාත‍්‍රී 9.00ට පමණ ඇත. රත්නමාලි චෛත්‍ය වටා විශේෂ සිහින් එළියක්…
මීට වසර කිහිපයකට පෙර දිනයක මා අනුරපුර රත්නමාලි චෛත්‍ය රාජයාණන් වන්දනා කරමින් සිටියේ පිච්ච මල් පූජාවට සහභාගිවීමෙන් අනතුරුවය. ඒ වන විට රාත‍්‍රී 9.00ට පමණ ඇත. රත්නමාලි චෛත්‍ය වටා විශේෂ සිහින් එළියක් කොත්කැරැල්ලේ සිට පහළට ගලා එමින් තිබුණි. අවට පරිසරය ද තිබුණාට වඩා යම් වෙනසකට භාජනය විය. එයින් විනාඩි කිහිපයක් ගිය විගස උපාසිකා මාතාවක් සිය ස්වරූපය වෙනස් කරමින් තමා සිදු කරමින් සිටි රත්නමාලි චෛත්‍ය වන්දනාව නවතා සිදුකළ ප‍්‍රකාශය මා අසාගෙන සිටියෙමි.
"ශ‍්‍රීමත් ඞී.බී. ජයතිලක දිව්‍ය රාජය චෛත්‍ය වඳින්න දෙවිවරු සමග වැඩියා. දැන් අහසේ සිටගෙන දාගැබ වඳිනවා" සාධු සාධු ඇය ප‍්‍රකාශ කරන්නට විය. එසේ පැවසූ ඇය අහසට දෑත් දිගුකර තව මොන මොනවදෝ ක‍්‍රියා නැඟී සිට සාධුකාර දෙන්නට විය. ඇය සමග පැමිණි පිරිස ඇය බිම වාඩිකරවා පවන් සලන්නට විය. නමුත් ඇයට කිසි අපහසුවක් හෝ රෝගයක් නොවීය. එයින් පසු පියවි සිහියෙන් ඇය යළිත් දාගැබ වැඳීමෙහි යෙදී සිටියහ.
වන්දනා මාන කිරීමෙන් පසු ඇය තම පිරිස සමග ආපසු යන්නට සූදානම් වන විට මා ඇය ළඟට ගොස් විමසුවේ ශ‍්‍රීමත් ඞී.බී. ජයතිලක කියන්නේ කවුද කියාය. ඇය එවැනි අයෙකු පිළිබඳව නොදන්නා බව තැතිගත් විලාසයෙන් යුතුව පැවසීය. වන්දනා නඩයේ සිටි අයෙකු ද පැවසුවේ එවන් අයෙකු ඒ අයද නොදන්නා බවයි. මා එයින් වටහා ගත්තේ පිච්චමල් පූජාව වැනි සුවිශේෂි අවස්ථාවකදී මෙරට සිට දිවංගත වූ පුණ්‍යවන්තයන් දිව්‍යලෝකවල සිට මිනිස් ලොවට පැමිණ එවන් පුණ්‍ය කර්මයන්වලට සහභාගි වන බවයි.
එදා එසේ ඇය පැවසූ ඇය නොදන්නා ශ‍්‍රීමත් ඞී.බී. ජයතිලක මහතා රුවන්මැලි මහා සෑය පිළිසකර කිරීමෙන් පසු එහි නව කොත් වහන්සේ පැළඳ වූ භාග්‍යවන්ත පුණ්‍ය වන්තයාය. ඔහු දිවංගත වීමෙන් පසු දිව්‍ය රාජයෙකු වී සිටින බව එයින් හැඟී ගියේය. එය පුදුමයකට කරුණක් විය නොහැක. මන්දයත් ඞී.බී. ජයතිලක මහතා ජීවත්වූ කාලය තුළ එතුමා සිදු කළ පුණ්‍යවන්ත ක‍්‍රියාවන් සුළු පටු නොවන නිසාය.
සම්බුදු පහස ලද ඓතිහාසික කැලණියේදී වර්ෂ 1864 පෙබරවාරි 06 වන දින උපත ලද ‘බාරොන් ජයතිලක’ නැමති දරුවා උපදින්නට පෙර එතුමාගේ මෑණියන් සිහිනයක් දුටුවේය. එම සිහිනය නම් ඉතා ලස්සනට හැඳ පැළඳගත් සිය ගණනක් මිනිසුන්ගෙන් සැදි විශාල පෙරහැරකින් ඉතා ලස්සන දරු පැටවෙකු රැගෙන පැමිණි අයෙක් එම දරුවා ඇයට ලබා දී යන්නට ගිය අයුරු එම සිහිනයයි.ඇය දුටු සිහිනය තම ස්වාමියා වූ දානියෙල් ජයතිලක ආරච්චි මහතා ට පැවසූ පසු එම විස්තරය රැගෙන ගොස් ඔහු දෛවඥවරයෙකුට පවසා සිහිනයේ හොඳ නරක විමසීය. එවිට ඔහු පැවසුවේ එම පවුලට ළඟදීම ඉතා වාසනාවන්ත දරුවෙකු උපදින්නට සිටින බවයි.
එම සිහිනයෙන් පසු උපත ලද බාරොන් ජයතිලක දරුවා ඇයගේ සිහිනයේ ප‍්‍රතිඵල විය. වේයන්ගොඩ පත්තලගෙදර විසූ දොන් දානියෙල් ජයතිලක මහතා සහ කැලණියේ වරාගොඩ එලැයිසා වීරසිංහ මාතාවට උපත ලද මෙම පින්වත් දරුවා කැලණියේ විද්‍යාලංකාර මහා පිරිවෙණේ නිර්මාතෘ අතිපූජ්‍ය රත්මලානේ ශ‍්‍රී ධර්මාලෝක නා හිමියන් වෙතින් අත්පොත් තබා අධ්‍යාපනික කටයුතු ආරම්භ කළේ නැකත් වේලාවකටය.
මෙම දරුවාගේ ශරීර ලක්‍ෂණ දෙස බලා ධර්මාලෝක මහා හිමියන් දෙමාපියන්ට අනාවැකියක් ද පළ කළේ සතුටු සිතින් යුතුවය. මේ දරුවා අනාගතයේ දී ඔබ පවුලට පමණක් නොව මේ මුළු රටටම එළිය දෙන නායකයෙක් වෙනවා. ඔහු ඉපදිල තියෙන්නේ රටේ වාසනාවට එම නිසා මේ දරුවාට හොඳින් උගැන්විය යුතුයි. ඒ වාගේම රැක බලා ගැනීම ද කළ යුතුය නා හිමි අවධාරණය කළහ.
කොළඹ වෙස්ලි විද්‍යාලයට ඇතුළත් කර දරුවාට අධ්‍යාපනය ලබාදුන් දෙමාපියෝ කැලණිය විද්‍යාලංකාර පිරිවෙන වෙතින් සිංහල පාලි සංස්කෘත හා බුද්ධ ධර්මය පිළිබඳව උගත්කම ලබා දුන්නේය. පුරපස දිලෙන සුපුන් සඳ මෙන් අධ්‍යාපන ලෝකයත් ධර්මාලෝකයත් ලබමින් සිය දිවි මග පූර්ණ කරගත් මෙතුමා දවසක් රත්මලානේ ධර්මාලෝක මා හිමියන්ට පැවසුවේ ‘නා හිමියනි මටත් පැවිදිවීමට වුවමනායි’ කියාය. එවිට ධම්මාරාම මා හිමි පවසා ඇත්තේ ‘බාරො උඹ ඉපදිල තියෙන්නේ මහණකම් කරන්න නොවෙයි රජකම කරන්න.’ ඒක කරන්න සූදානම් වෙයන්’ කියාය.
පාසල් අධ්‍යාපනයෙන් පසු රජයේ කාර්යාලයක ලිපිකරුවකු වශයෙන් රැකියාව ආරම්භ කළ ජයතිලක තරුණයාට එම රැකියාව පිළිබඳව එතරම් සිත් දුන්නේ නැත. තමා උගත් දැනුමෙන් ප‍්‍රයෝජනයක් ගන්නට නම් එම දැනුම බෙදා දිය හැකි තැනකට යොමුවීම අවශ්‍ය විය. ඒ අනුව මෙම තරුණ නිලධාරියා පාසල් ගුරුවරයකු වශයෙන් වර්ෂ 1898 දී මහනුවර ධර්මරාජ විද්‍යාලයට පැමිණෙන්නේ එහි විදුහල්පතිවරයා වශයෙනි. එහි වසර දෙකක් සේවය කර කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති පදවිය භාර ගන්නා ඞී.බී. ජයතිලක මහතා 1900 වසරේ සිට 1910 දක්වා එම තනතුර දරන්නේය.
එයින් පසු යළිත් තමාගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව අවධානය යොමු කර එංගලන්තයේ ඔක්ස්පර්ඞ් විශ්වවිද්‍යාලයේ ජීසස් කොලිජියට ඇතුළත්ව ඇම්. ඒ. උපාධිය ලබා ගත්තේය. එයින් පසු ලින්කන්ස් ඉන් විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබාගෙන අධිනීතිඥයෙකු වශයෙන් දිවුරුම් දී 1913 අගෝස්තු මස 09 වනදා තම මව්බිමට පැමිණියේය.
මේ යුගය වන විට ඉංග‍්‍රීසි ආණ්ඩුව රට පුරා ව්‍යාප්ත කර තිබු සුරාවට එරෙහිව අමද්‍යප ව්‍යාපාරය සමග එක්ව සටන් වදින ඞී.බී. ජයතිලක මහතා 1915 දී සිංහල හම්බ කෝලාහලය යටතේ සිර භාරයට ගන්නේ අනෙකුත් ජාතික වීරවරයන් සමගය. ටික කලකින් නිදහස්ව පැමිණෙන ඞී.බී. ජයතිලක මැතිතුමන් ප‍්‍රමුඛ ජාතික නායකයෝ ලංකා ජාතික සංගමය ගොඩ නගා රටට නිදහස ලබා ගැනීමට සිදු කරන ලද අරගලයේ දී 1923 වසරේදී ලංකා ජාතික සංගමයේ සභාපති ධුරය භාරගෙන කටයුතු කරන්නට විය. 1924 දී ආරම්භ කරන ලද ව්‍යවස්ථා දායක සභාව සඳහා කොළඹ දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් මන්ත‍්‍රීවරයෙකු බවට පත් වන්නේ නිතරගයෙනි.
වර්ෂ 1931 දී ආරම්භ කරන ලද රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේදී කැලණිය මන්ත‍්‍රීවරයා වශයෙන් පත්ව පැමිණෙන ජයතිලක මහතා රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ ස්වදේශ කටයුතු ඇමති පදවියත් සභා නායක ධුරයක් භාරගන්නේ අප රටේ ස්වදේශීය නායකයා වශයෙනි.
අප රටට සර්වජන ඡන්ද බලය ලැබුණු මෙම මන්ත‍්‍රී තරගය ලංකා දේශපාලන වංශ කතාවේ සුවිශේෂි පරිච්ඡ්ඡේදයක් විය. 1931 ජුනි මාසයේ මෙම ඡන්දය පවත්වන ලදී. මෙම ඡන්දයේදී රාජ්‍ය මන්ත‍්‍රණ සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරු 61ක් දෙනාගෙන් නියෝජිතයන් 50ක් තෝරා පත් කර ගත්හ. ඉතිරි 11 දෙනාගෙන් 08 දෙනෙකු පත් කළේ ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරයා විසින් සුළු ජාතිකයන් හා වෙනත් ජාතිකයන් වෙනුවෙනි.
ඒ අනුව යුරෝපීය ජාතිකයන් 4 දෙනෙක් ද බර්ගර් ජාතිකයන් දෙදෙනෙක් ද ඉන්දියානු ජාතිකයෙක් ද මුස්ලිම් ජාතිකයෙක් ද වශයෙන් එම 08 දෙනා පත්විය. ඉතිරි තිදෙනා පත්වූයේ රාජ්‍ය නිලධාරීන්ගෙනි. මෙහිදී ඡන්දයෙන් තේරී පත් වූ මන්ත‍්‍රීන්ගෙන් සිංහල මන්ත‍්‍රීන් 38 දෙනෙකු පත්විය. ඒ අය පහතරට හා උඩරට සිංහලයන් වශයෙන් වර්ග කෙරිණි. ඒ අනුව පහතරට සිංහල මන්ත‍්‍රීන් 28ක් වූ අතර උඩරට සිංහල මන්ත‍්‍රී 10ක් විය. මේ අනුව රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ නායකයා වූයේ ඩි.බී. ජයතිලක මහතාය. 1936 දී පවත්වන ලද දෙවන රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේදී ද මෙම තනතුරට පත්වූයේ ඞී.බී. ජයතිලක මහතාය.
දේශපාලනය මෙන්ම ශාස්ත‍්‍රීය සේවය ද සිදු කළ මෙතුමා සිංහල ශබ්ද කෝෂයේ ප‍්‍රධාන කර්තෘවරයා විය. දේශපාලන රැස්වීම්වලටත් වඩා මෙතුමා සහභාගි වූයේ ආගමික හා ජාතික රැස්වීම් හා උත්සවවලටය වියතුන් සභා මැද දිදුලන මැණිකක් බදු වූ ඞී.බී. ජයතිලක මහතා එංගලන්තයෙන් ශ‍්‍රීමත් යන (සර්) නයිට් පදවිය ලද ප‍්‍රථම ලාංකික දේශපාලන නායකයා විය.
කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ආරම්භක සභාපති පදවියත් කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ පාඨශාලා සාමාන්‍යධිකාරි පදවියත් දැරූ මෙතුමා රටේ ජාතික ආගමික සාසනික සාහිත්‍යයික මෙහෙවරේ යෙදුණු ප‍්‍රතාපවත් නායකයෙක් විය. ලංකාවේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ පඬිවරයෙකු වූ දොන් අන්ද්‍රිස් ද සිල්වා බටුවන්තුඩාවේ මහතාගේ දියණියක වූ දෝන මල්ලිකා ද සිල්වා බටුවන්තුඩාවේ මෙනවිය සමග 1898 අගෝස්තු මස 12 වන දින විවාහ දිවියට ඇතුළත් වූ සර් ඞී.බි. ජයතිලක මහතා සිය ජීවිතයේ ලද උත්තම වරප‍්‍රසාදය වූයේ පිළිසකර කිරීමෙන්පසුව රුවන්වැලි මහා සෑයේ කොත පැළඳවීම සිදු කිරීමට අවස්ථාව ලැබීමයි.
1942 ලංකා දේශපාලනයෙන් සමුගෙන රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වශයෙන් ඉන්දියාවේ තානාපතිවරයා ලෙස පත්ව එරටට ගිය සර්. ඞී.බී. ජයතිලක මැතිතුමා 1944 මැයි මස 31 වන දින අසනීප ගතියෙන් පෙළෙන නිසා ලංකාවට ගුවන් යානයකින් පැමිණෙන අතරදි ගුවනේදීම මිය ගියේ මුළු ලොවම සෝ සයුරක ගිල්වමින්ය. 1944 ජුනි 01 වන දින ලංකාවට ගෙනා එතුමාගේ ශ‍්‍රී දේහය කොළඹට ගෙනවුත් සිය නිවසේ තැන්පත් කරන ලදී.
අවසන් කටයුතු ජුනි 03 සවස කොළඹ කනත්තේ දී සිදු කරන ලදී. විවාහ ජීවිතයෙන් ජයතිලක මහතාට දූ දරුවන් නොවීම නිසා එවකට රුපියල් 4,50,000ක් පමණ වටිනා සිය දේපළ මහා භාරකාර තැනගේ ප‍්‍රධානත්වයෙන් වෙන් කර තිබුණේ කොළඹ තරුණ බෞද්ධ සංගමයටත් විද්‍යාලංකාර පිරිවෙන, වෙස්ලි විද්‍යාලයටත් ධර්මරාජ හා ආනන්ද විද්‍යාල කටයුතුවල දියුණුව සඳහාය. එතුමාගේ පෞද්ගලික පුස්තකාලය කොළඹ තරුණ බෞද්ධ සංගමයට පවරා තිබුණි.
ශ‍්‍රීමත් ඞී.බී. ජයතිලක වැනි උගතුන් වියතුන් සිටි සිරිලක දේශපාලනය අද නරාවලක් බවට පත්ව ඇත. තමා සතු දේපළ ජාතියට පිරිනමනවාට වඩා ජාතිය සතු දේපළ තමාට පවරා ගන්නා දේශපාලනයක් අප රට තුළ ගොඩනැගි ඇත. පොතක් ලියනවා තබා ලියූ පොතක් පතක් නොකියවන දේශපාලකයන් පිරි ඇති අප රටේ අනාගතය ශෝක ජනක වේදැයි සැකයක් ඇත. කුලියට මිනී මරවන පාතාලය නඩත්තු කරවන දේශපාලකයෝ එමටය. සිය දිවි මග 80 වන වියට පිවිස මාස තුනකින් දැයෙන් සමුගත් මෙම අසහාය දේශපාලකයා දිව්‍ය ලෝකයක මිසක් මිනිස් වෙස් ගත් නරුමයන් සිටින මෙවන් මිනිස් ලොවක නූපදින එක පුදුමයක් නොවේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 6