දෙකෝටියක ජනතා අයිතිය තනි ඒකාධිපතියෙකුට ලබා දෙනු බැහැ

20 අහෝසි කර 19 යටතේ පාර්ලිමේන්තුව බල ගන්වනු ඒකාධිපති විධායකය එපා තරුණ අරගලකරුවන්ගේ ඉල්ලීම් ඉටු කරනු සිවිල් සමාජ ක්‍රියාකාරීන් හමුවේ කරූ හඬ නගයි තරුණ අරගලකරුවන්ට කරූගේ ආචාරය රටේ දෙකෝටි විසි ලක්ෂයක…
20 අහෝසි කර 19 යටතේ පාර්ලිමේන්තුව බල ගන්වනු
ඒකාධිපති විධායකය එපා
තරුණ අරගලකරුවන්ගේ ඉල්ලීම් ඉටු කරනු
සිවිල් සමාජ ක්‍රියාකාරීන් හමුවේ කරූ හඬ නගයි
තරුණ අරගලකරුවන්ට කරූගේ ආචාරය
රටේ දෙකෝටි විසි ලක්ෂයක ජනතාවගේ අයිතිය තනි ඒකාධිපති පුද්ගලයෙකුට ලබා දිය නොහැකි යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය අවධාරණය කර සිටියි.
එක් පුද්ගලයකුට ඒකාධිපති බලයක් පැවරුණු 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අසීමිත බලතල ඇති විධායක ජනාධිපති පදවිය වහා අහෝසි කර, 19 වැනි සංශෝධනය බල ගන්වා පාර්ලිමේන්තුවේ බලය තහවුරු කළ යුතු යැයි ද කරු ජයසූරිය මහතා පෙන්වා දෙයි.
දේශබන්දු කරු ජයසූරිය මේ අදහස් පළ කළේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ "ජානකී" හෝටලයේ දී සංවිධානය කෙරුණු සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ විශේෂ සාකච්ඡා සභාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
දැන්වීම
රටක් ලෙස අද අප වැටී ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා රට ගැන හැඟීමක් ඇතිව "Gall Face" පිටිය ඇතුළු රට පුරා විරෝධතා දක්වමින් සිය ශ්‍රමය කාලය කැප කරන වීරෝදාර තරුණ පරපුර ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම වෙනුවෙන් සටන් කරන සියලු දෙනාට "සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය" සිය ගෞරවය සහ ප්‍රණාමය පුද කර සිටිනවා.
අද අපි මුහුණ දෙන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවකටයි. මහ ජන නියෝජිතයින්ට සහ සිවිල් සමාජයට මෙතෙක් කළ නොහැකි වූ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට, දූෂණයට, මර්දනයට, මිනිස් අයිතිවාසිකම් රැක ගැනීමට, යුක්තිය සාධාරණය රජයන සමාජයක් ඇති කරලීමට තරුණ පරපුර නායකත්වය ලබා දුන්නා. රටේ අති බහුතරයක් ජනතාව නව පරපුර සමඟ සිටිනවා.
බලය ඇත්තන් විසින් රට විනාශ කළ ආකාරය, මුදල් ඇතුළු ජාතික සම්පත් කොල්ලකා ඇති ආකාරය, ප්‍රජාතන්ත්‍රවාදය සහ මිනිස් අයිතිවාසිකම් පාගා දැමූ ආකාරය, මේ සියල්ලට වඩා ජාති ආගම් භේද ඇති කරමින් ජනතාව මංමුලා කළ ආකාරය දැන් හෙළි වෙමින් පවතිනවා.
ජාති ආගම් භේද ඇති කිරීමට සුළු පිරිසක් උත්සාහ කළත්, දැන් ශ්‍රී ලාංකික ජනතාව සත්‍ය කරුණු වටහා ගෙන තිබෙනවා. එම වාතාවරණය අපට සැනසීමක්. ඒ,එමගින් වඩා හොඳ දේශයක් බිහි කිරීමට අපට අනාගත බලාපොරොත්තු තබා ගන්න පුළුවන්කම තිබෙනවා.
බලය ඇත්තන් සහ ඔවුන් වටා රැඳී සිටින සුළු පිරිසක් අසාධාරණ ලෙස රට පාලනය කරන විට, ජාතික සම්පත් කොල්ල කන විට මෙවැනි ජනතා නැගී සිටීම් ඇති වෙනවා. ලෝකයේ මහා විප්ලව ඇතිවන්නේ මෙවැනි පරිසර ඔස්සේයි. අපි රජයට කියන්නේ මෙම තරුණ ජනතා පිබිදීම සුළුවෙන් තකන්න එපා කියායි. ඔවුන් ඉල්ලන්නේ තමන්ට සුබවාදී අනාගතයක් ලබා දෙන ලෙසයි. ඔවුනට හෙටක් ගැන බලාපොරොත්තු තබා ගන්නට බැහැ. ඔවුන්ගේ අනාගතය සුළු පිරිසක් විසින් කොල්ලකා ගෙන තිබෙනවා. වැඩිහිටියන් වශයෙන් අපි මේ තරුණ ජවය දිරිමත් කළ යුතුයි.
සිවිල් සමාජය නියෝජනය කරමින් පැමිණ සිටින ඔබ අපට ද රට ගොඩනැගීම සඳහා විශාල කාර්යභාරයක් තිබෙනවා. අද ජනතාව විඳින දුක් කන්දරා ගැන විස්තර කරන්නට අවශ්‍ය නැහැ. අපේ ඇස් පනාපිට එම අඳෝනා පේනවා. ඇසෙනවා. විදුලිය නොමැතිව, ගෑස් නොමැතිව පැය ගණන් පෝලිම්වල ගත කරමින් අමාරුවෙන් ජීවිතය ගැට ගසා ගන්න අසරණ ජනතාව ගැන අපි දැඩිව කම්පා වෙනවා.
රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමටත්, ඒ මඟින් ප්‍රජාතන්ත්‍රවාදය සහ මිනිස් අයිතිවාසිකම් රැකෙන ජාති ආගම් භේදයෙන් තොර සහෝදරත්වයෙන් ජීවත් විය හැකි, දූෂණය පිටු දකින අලුත් රටක් බිහි කිරීමට මේ සුදුසුම අවස්ථාවයි. මෙවැනි අවස්ථාවන් ඉදිරිකාලයේදී නොලැබේවි. මෙහිදී ඔබ විසින් ලබා දෙන දායකත්වය ශක්තියක් වෙනවා.
මිලියන 22 ක ජනතාව අතරින් එක් පුද්ගලයකුට බලය පැවරුණු 20 වැනි සංශෝධනය සහ අසීමිත බලතල ඇති විධායක ජනාධිපති පදවිය වහා අහෝසි කළ යුතුයි. 19 වැනි සංශෝධනය බල ගන්වා පාර්ලිමේන්තුවේ බලය තහවුරු කළ යුතුයි. සියලුම ස්වාධීන කොමිෂන් සභාවලට දේශපාලනයෙන් තොර පත්වීම් ලබා දිය යුතුයි. ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයේ නියෝජිතයින් ද ඇතුළත් විය යුතුයි. මෙම ප්‍රතිසංස්කරණ වහා ක්‍රියාත්මක කරන ලෙස අපි එක්ව රජයට බල කරමු.
අප එම සටන දකින්නේ තරුණ පරපුරත්, නූපන් පරපුරත්, වෙනුවෙන් අප විසින් ඉටු කළ යුතු ජාතික යුතුකමක් වශයෙනුයි. අප ව්‍යාපාරය 20 වැනි සංශෝධනය ඉදිරිපත් කළ දිනට පසු දින සිටම එම පනතට දිගින් දිගටම විරෝධය පළ කළා. නව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් සඳහා යෝජනා ඉදිරිපත් කළා.
ගරු ජනාධිපතිවරයාත්, ගරු අග්‍රාමාත්‍යවරයාත් තමන් ව්‍යවස්ථා සංශෝධනයකට එකඟ වන බවත්, එම යෝජනා ඉදිරියේදී ඉදිරිපත් කරන බවත්, සදහන් කර තිබෙනවා. එම සංශෝධන එක් පියවරකින් ඉතා ඉක්මනින් ඉදිරිපත් කළ යුතුයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සේම කොටස් වශයෙන් ලබා දෙන පොරොන්දු අද පිළි ගන්නේ නැහැ. විපක්ෂය විසින් ද ඉතා ඉක්මනින් තම යෝජනා ඉදිරිපත් කරන බවට වාර්තා වුණා. මෙහිදී අපි පාර්ලිමේන්තුවට යෝජනා කරන්නේ පොදු එකඟත්වයෙන් මෙම සංශෝධන ගෙන එන ලෙසයි.එසේ කිරීම ජනතා අරගලයට ගෞරවයක් වශයෙන් අපි දකිනවා