අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දූෂණයට විරුද්ධ යැයි කියන ජනපති හොරු එක්ක ආණ්ඩුවක් හදලා..!

දූෂණයට විරුද්ධ යැයි කියන ජනපති හොරු එක්ක ආණ්ඩුවක් හදලා..!

හොර කණ්ඩායම් දෙකෙන්ම රට බේර ගන්න ජනතාවාදී ආණ්ඩුවක් ඕනෑ..! (සුජිත් මංගල ද සිල්වා) හොරුන්ට විරුද්ධ යැයි කියන ජනාධිපතිවරයා මහා හොරා ප්‍රධාන හොර නඩය එක්ක එකතු වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද අමු අමුවේ…

හොර කණ්ඩායම් දෙකෙන්ම රට බේර ගන්න ජනතාවාදී ආණ්ඩුවක්  ඕනෑ..!

දූෂණයට විරුද්ධ යැයි කියන ජනපති හොරු එක්ක ආණ්ඩුවක් හදලා..!

(සුජිත් මංගල ද සිල්වා)

හොරුන්ට විරුද්ධ යැයි කියන ජනාධිපතිවරයා මහා හොරා ප්‍රධාන හොර නඩය එක්ක එකතු වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද අමු අමුවේ උල්ලංඝණය කරමින්  හොර ආණ්ඩුවක් ගොඩනගා ගෙන රට අරාජික කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අවධාරණය කර සිටියි.

මේ හොර කණ්ඩායම් දෙකෙන්ම රට බේරා ගෙන ජනතාව නඟා සිටුවීම සඳහා ජනතාවාදී ආණ්ඩුවක් වහාම ගොඩනගා ගත යුතු යැයි ද විජිත හේරත් මහතා පෙන්වා දුන්නේය.

ඔහු මේ බව පැවසුවේ කොළඹ,බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මුලස්ථානයේ අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා මෙසේ ද කීය.

26 වැනිදා ඇතිවූ සිදුවීමත් සමග රට විශාල වියවුලක් බවට පත්වෙලා. දේශපාලනිකවත් ආර්ථිකවත් රට අර්බුදයකට ගිහිල්ලා. එම අර්බුදය සමනය කරන්න ජනාධිපතිවරයාට කිසිදු ඕනෑකමක් නැහැ. කල් මරමින් ඉන්නවා. එහෙම තත්වයක් තුළ මහින්ද රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා ඊයේ ජාතිය අමතලා කිවුවේ, තම කණ්ඩායම තාවකාලික අන්තර්කාලීන ආණ්ඩුවක් බවත් කෙටි කාලයක් තුළ මැතිවරණයකට යන බවයි.

26 වැනිදා සෙල්ලම් ආණ්ඩුවක් හැදීමේ කි‍්‍රයාවලිය තාවකාලික එකක් නොවන බව රටේ ජනතාව දන්නවා. මෛතී‍්‍රපාල සිරිසේනට ඊළඟ ජනාධිපතිවරණ අපේක්‍ෂකකම ගන්න ඇත්ත වුවමනාවක් තිබුණා. ඒ වගේම මහින්ද රාජපක්‍ෂ කණ්ඩායමට තමන්ගේ වංචා-දූෂණ-නඩු යටපත් කර ගැනීමේ වුවමනාවක් තිබුණා. මෛතී‍්‍රපාල සිරිසේනගේ වුවමනාව මහින්ද රාජපක්‍ෂලාගේ වුවමනාව සමග සමපාත වුණා. එම නිසා මෙම ආණ්ඩු හැදීමේ කි‍්‍රයාවලිය සැලසුම්සහගතව ආණ්ඩුවක් හදලා මැතිවරණයකට යාම බව කීම ප්‍රෝඩාවක්.

දැන් ඔවුන් එහෙම කියන්නේ කිසිම දෙයක් කර කියාගන්න නොහැකිව බිත්තියට හේත්තු වෙලා ඉන්න නිසයි. අන්තර්කාලීන ආණ්ඩුවක් හදලා මැතිවරණයකට යන්න සැලසුමක් තිබුණා නම් ඒ බව කලින්ම ජනතාවට කියන්න තිබුණා. නමුත් මෛතී‍්‍රවත් මහින්දවත් එහෙම ප‍්‍රකාශයක් කළේ නැහැ. තමන් හදපු සෙල්ලම් ආණ්ඩුවට බහුතරය නැති වුණාම ඔවුන් දැන් ආත බූත දොඩවනවා. 26 වැනිදා සිට සිදු වුණු සිදුවීම් පෙළ මේ රටේ කොයි කවුරුත් හොඳට දැක්කා. 26 වැනිදා මහින්දට අගමැතිකම ලබාදුන්නා.ඊට පසුව අවස්ථා ගණනාවකදී ඇමතිවරු දෙන්නා තුන්දෙනා දිවුරුම් දුන්නා. රාජ්‍ය ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු එක්කෙනා දෙන්නා බඩ වැල වාගේ දිවුරුම් දෙන්න ගත්තා. අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න වුවමනාක් තිබුණා නම් අගමැතිවරයා දිවුරුම් දීලා එක වර කැබිනට් මණ්ඩලයක් හදා ගන්න තිබුණා. නමුත් ඔවුන්ගේ ඒ මොහොතේ ඇත්ත වුවමනාව වුණේ අනෙක් පැත්තෙන් වරදාන, වරප‍්‍රසාද, මුදල් දී මන්තී‍්‍රවරු බිලී බා ගෙන 113ක් හදා ගෙන ආණ්ඩුව ගෙන යන්නයි.

පසුගිය 5 වැනිදා රැස්වීම දවස වෙන කොටත් ඔවුන්ට ඒක කර ගන්න බැරි වුණා. 6 වැනිදා ඔවුන්ගේ අභ්‍යන්තර රැස්වීමේදී මහින්ද රාජපක්‍ෂලා කෝපාවිෂ්ට වෙලා කෑ ගැහුවේ බහුතරය හදා ගන්න බැරි වුණ නිසයි. 7වැනිදා පාර්ලිමේන්තුව රැස් කර ගන්න බැරි වුණෙත් බහුතරය නැති නිසයි. ඒ නිසා තමයි මෛතී‍්‍රපාල සිරිසේන 9වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. ඔවුන් අද හැම පැත්තෙන්ම හිර වෙලා අමාරුවෙන් ඉන්නේ.

ජනාධිපතිවරයා විදෙස් මාධ්‍යවලට ප‍්‍රකාශයක් කළා, 2015 මහ මැතිවරණයේ සිට 2018 ඔක්තෝබර් 25 දක්වා රනිල් වික‍්‍රමසිංහ අගමැති වුණු ආණ්ඩුවේ වංචා-දූෂණ හොයන්න විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරනවා කියලා. අපි කියනවා, වහාම පත් කරන්න කියලා. තමන් නායකයා වුණු ආණ්ඩුවේ වංචා-දූෂණ හොයන්න කොමිසමක් පත් කරන එක ඉතාම හොඳයි. නමුත් අපි කියන්නේ ජනාධිපතිතුමනි, කොමිසමක් පත් කරලා විතරක් මදි, කොමිසන් වාර්තාවට අනුව චූදිතයන්ට දඬුවම් දෙන්න කියලයි.

කුප‍්‍රකට මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව 2015 පෙබරවාරි මාසයේ සිදු වුණාට පසුව ජනතා විමුක්ති පෙරමුණේ අපි 2015 මාර්තු 10 විශේෂ මාධ්‍ය හමුවක් පවත්වලා එම කුප‍්‍රකට ගනුදෙනුව ගැන රටට දැනුවත් කළා. ඒ වගේම අපි ඒ වෙලාවෙත් කිව්වා, එම ගනුදෙනුවට සම්බන්ධ බලධාරීන් වහාම තනතුරුවලින් ඉවත් කරලා නීතිමය කි‍්‍රයා මාර්ග ගන්න කියලා.

නමුත් ඒ වෙලාවේ ජනාධිපතිවරයා කිසිම දෙයක් කළේ නැහැ. සමාජයෙන් විශාල බලපෑම් ආවා. සුනිල් හඳුන්නෙත්ති මන්තී‍්‍රවරයාගේ සභාපතිත්වයෙන් යුතු කෝප් කාරක සභාව ඒ පිළිබඳව විමර්ශනයක් කරලා 2016 අගෝස්තු 9වැනිදා වාර්තාවක් නිකුත් කළා. ඉන් පසුව තමයි ජනාධිපතිවරයා කොමිසමක් පත් කළේ.

ඔහුට අවංක වුවමනාවක් තිබුණා නම් කොමිසම පත් කරන්න තිබුණේ එම කුප‍්‍රකට ගනුදෙනුව සිදු වෙලා දින කිහිපයකින් පසුවයි. නමුත් කළේ නැහැ. පසුව පත්කළ කොමිසමෙන් හෙළිදරව් වුණු කරුණු අනුව අදාළ පුද්ගලයන්ට දඬුවම් කළෙත් නැහැ. එම වාර්තාවේ ඇතැම් පිටු හැංගුවා.

එතුමා ළඟින්ම ඉන්න දයාසිරි ජයසේකර වැනි මන්තී‍්‍රවරු එම ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලයින්ගෙන් මුදල් ගත්තා කියලා චෝදනා එල්ල වුණා. තමන්ගේ හිතවතුන් හංගන්න ඕනෑ නිසා ජනාධිපති විමර්ශන වාර්තාවට අනුව නීතිමය කටයුතු කළේ නැහැ.

ඒ වගේම මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ වංචා-දූෂණ විමර්ශනයට බරපතළ වංචා-දූෂණ රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව පත්කළා. එම වාර්තාවේ චූදිතයින් අතර ඉහළම ඉන්නේ පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂයි. ඊට අමතරව ඔහු ළඟින්ම ඉන්න ඇමතිවරුන්, සම්බන්ධීකරණ ලේකම්ලා එම වාර්තාවේ චූදිතයින් වෙලා ඉන්නවා.

ගෝඨාභය රාජපක්‍ෂ, උපාලි කොඩිකාර, ජනාධිපතිවරයා විසින් පත්කළ නැගෙනහිර ආණ්ඩුකාරවරයා වූ රෝහිත බෝගොල්ලාගම, එස්.එම්. රංජිත්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරියක් වන දමයන්ති ජයරත්න, ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් වන ජගත් පුෂ්පකුමාර, හිටපු ගුවන්සේවා ඇමති පි‍්‍රයංකර ජයරත්න, මහින්ද රාජපක්‍ෂගේ මස්සිනා වූ නිශාන්ත වික‍්‍රමසිංහ, මෛතී‍්‍රගේ සෙල්ලම් ආණ්ඩුවේ ඇමතිවරයෙක් වන විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වසන්ත බණ්ඩාර, පියසිරි විජේනායක, පද්ම උදයශාන්ත, නිමල් පේ‍්‍රමවංශ, මොහොමඞ් මුසම්මිල්, මේ සියලූ දෙනා ජනාධිපති කොමිසමේ චූදිතයින් වෙලා ඉන්නවා.

මේ හොරු ඔක්කොම ඉන්නේ මෛතී‍්‍රගේ ඔඩොක්කුවේ. ඔහුම පත්කළ කොමිසමෙන් තමයි මොවුන් චූදිතයින් බව ඔප්පු වෙලා ඉන්නේ. මෛතී‍්‍රපාල සිරිසේන ඔවුන්ට දඬුවම් දෙන්න බයයි. දඬුවම් වෙනුවට ඔවුන්ට ලබාදුන්නේ අගමැතිකමයි, ඇමති තනතුරුයි.

රනිල් වික‍්‍රමසිංහට, අර්ජුන මහේන්ද්‍රන්ට බැඳුම්කර ගනුදෙනුවට එරෙහිව දඬුවම් ලබාදිය යුතුයි. ඒ වගේම බරපතළ වංචා-දූෂණ කොමිසමෙන් හෙළිදරව් වූ මහින්ද රාජපක්‍ෂ කණ්ඩායමටත් දඬුවම් දිය යුතුයි. ජනාධිපතිවරයා ඇත්තටම දූෂණයට විරුද්ධ නම් දූෂිතයන්ට එරෙහිව කි‍්‍රයාමාර්ග නොගන්නේ ඇයි? පහුගිය වසර තුන හමාරක් තුළ කිසිදු කි‍්‍රයා මාර්ගයක් ගත්තේ නැහැ. දූෂණයට විරුද්ධයි කියන ජනාධිපති දැන් හොරුත් එක්ක ලැගලා ඉන්නේ. දූෂණයට විරුද්ධයි කියන එක පට්ට පල් බොරුවක්.

මෛතී‍්‍රපාල සිරිසේන කිවුවා, තමන් දේශපාලනයේ උඩුගම් බලා පීනනවා කියලා. අපි කියන්නේ මෛතී‍්‍රපාල සිරිසේන දැන් උඩුගම් බලා පීනන්නේ අසූචි ගංගාවක කියලයි. අසූචි ගංගාවට බැහැපු මෛතී‍්‍රපාල සිරිසේන ඉහළට පීනුවත් එකයි, පහළට පීනුවත් එකයි. දූෂණය නවත්වන්න හොරු එක්ක ලැගලා හරියන්නේ නැහැ. ඒ වගේම අපි මෛතී‍්‍රපාල සිරිසේනට කියනවා, රටේ ඇති වෙලා තිබෙන මෙම අර්බුදය විසඳන්න මැදිහත් වෙන්න කියලා. මොකද දැන් මේ සෙල්ලම් ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග දෙකක් සම්මත කරලා ඉවරයි. ඒ අනුව ඉදිරි කි‍්‍රයා මාර්ග ගත යුතු බව අපි ජනාධිපතිවරයාට අවධාරණය කරනවා.

පසුගිය 23වැනිදාත් මේ සෙල්ලම් ආණ්ඩුවට එරෙහිව මන්තී‍්‍රවරු 121කගේ ඡන්දය ප‍්‍රකාශ වුණා. මෙම සදාචාර විරෝධී, නීතිවිරෝධී, ව්‍යවස්ථා විරෝධී ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවට එරෙහිව විවිධ ප‍්‍රතිපත්ති තිබුණත් සෘජුව කටයුතු කරන මන්තී‍්‍රවරු 121 දෙනෙකු ඉන්නවා. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් මේ නිශ්චිත මොහොතේ කටයුතු කරන්න එම මන්තී‍්‍රවරුන් කටයුතු කරමින් ඉන්නවා.

අපි ජනාධිපතිවරයාට කියනවා, තමන්ගේ බැරිකම නිහතමානීව පිළිගන්න කියලා. කුමන්ත‍්‍රණය පරාජය වූ බව ඔහු දැන් පිළිගත යුතුයි. තවදුරටත් මේ කුමන්ත‍්‍රණය ජය ගන්න හැකියාවක් ඔවුන්ට නැහැ. මේ සෙල්ලම් ආණ්ඩුව මොන යෝජනා ගෙනාවත් පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වෙනවා.

මහින්ද රාජපක්‍ෂ කිවුවා, රට ගොඩගන්න තියෙන අවසාන අවස්ථාව කියලා. පාර්ලිමේන්තුවේ මිරිස් කුඩුවලින්, බයිබලයෙන්, කුරානයෙන් අනෙක් මන්තී‍්‍රවරුන්ට පහර දුන්, පාතාල නායකයින් ලෙස හැසිරුණු මහින්ද රාජපක්‍ෂගේ පාතාල මැරයින්ට මේ රට බාර දෙන්න ජනතාව සූදානම් නැහැ.

මෙවැනි මැර කල්ලියකට අපේ රට ගොඩගන්න පුළුවන්ද කියලා ජනතාව තේරුම් ගත යුතුව තිබෙනවා. ඇති වෙලා තිබෙන ආර්ථික අර්බුදයට එජාපයත් ශී‍්‍රලනිපයත් කණ්ඩායම් දෙකම වගකිව යුතුයි. පහුගිය කාලයේ ආණ්ඩුව කළේ එජාප, ශී‍්‍රලනිප දෙගොල්ලම එකතු වෙලා. මත්තල එයාර්පෝට් එක විකිණුවේ මෛතී‍්‍රපාල සිරිසේන නායකත්වය දෙන ශී‍්‍රලනිපයේ මහින්ද සමරසිංහ ඇමතිවරයා යටතේයි. එම නිසා මේ කණ්ඩායම් දෙකම රටේ ආර්ථික අර්බුදයට වගකිව යුතුයි.

ඒ වගේම අපේ රට මහා ණය කන්දක හිර කළේ එජාප-ශී‍්‍රලනිප කණ්ඩායම් දෙකයි. ඒ විතරක් නෙවෙයි දැන් මේ සෙල්ලම් කැබිනට් එක චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500 ණයක් ගන්න තීරණයක් අර ගෙන තිබෙනවා. ලබන අවුරුද්දේ ගෙවන්න තිබෙන ණය ගෙවා ගන්න බැරුව තවත් ණය ගන්නවා. ණය උගුලෙන් බේරෙන්න මේ කණ්ඩායම් දෙකටම වැඩ පිළිවෙළක් නැහැ.

බන්දුල කියනවා, සිංගප්පූරු ගිවිසුම අහෝසි කරන්න බැහැ කියලා. මම කොහොමද රුපියල කඩා වැටෙන එක පාලනය කරන්නේ කියලා බන්දුල අහනවා. එම නිසා මේ හොරු කණ්ඩායම් දෙකෙන්ම රට බේරා ගැනීමට ජනතාවාදී පාලනයක් ගොඩනැගිය යුතුව තිබෙනවා.

මේ කණ්ඩායම් දෙකටම රට ගොඩගන්න බැරි බව ඉතිහාසය විසින් ඔප්පු කර අවසන්. ජනතා විමුක්ති පෙරමුණ මෙම කුමන්ත‍්‍රණය පරාජය කිරීම සඳහා සකි‍්‍රයව මැදිහත් වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළා. ඒ වගේම පසුගිය සිකුරාදා අභියාචනාධිකරණයටත් පෙත්සමක් ගොනු කරන්න කටයුතු කළා. මෙම කුමන්ත‍්‍රණය පරාජය කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී උපරිම කි‍්‍රයාමාර්ග ගත්තා. ඒ වගේම මහ ජනතාව සමඟ පාරේ සටනත් කි‍්‍රයාත්මක කරනවා.

1982 ජේ.ආර්. ජයවර්ධන විසින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව ගෙන ආ ඊනියා ජනමත විචාරණය අභියෝගයට ලක් කරමින් නීතිමය කි‍්‍රයාමාර්ග ගන්න රෝහණ විජේවීර සහෝදරයා කටයුතු කළා. රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගන්න, හිරේ දාන්න, අප පක්‍ෂය මර්දනය කරන්න අණ පනත් හදපු පීලික්ස් ඩයස් බණ්ඩාරනායකලා එක්ක ඒ වෙලාවේ එජාප නායකයාට එරෙහිව ජවිපෙ කි‍්‍රයා මාර්ග ගත්තා.

ඒ වගේම අදත් ශී‍්‍රලනිපය විසින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයා මාර්ග ගන්න විට ඊට එරෙහිවත් උපරිම ක‍්‍රියාමාර්ග ගන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා. ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී කටයුතු කරන ඕනෑම පක්‍ෂයකට එරෙහිව කි‍්‍රයා මාර්ග ගන්න ජනතා විමුක්ති පෙරමුණ පසුබට වෙන්නේ නැහැ. එම නිසා අපි ජනතාවට සහතිකයක් දෙනවා, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ගත හැකි උපරිම කි‍්‍රයා මාර්ග ගන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම් කියලා.

පාර්ලිමේන්තුවේදී සම්මත කළ විශ්වාසභංග යෝජනා දෙකම සිදු කළේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකූලවයි. තවත් ඕනෑනම් විශ්වා සභංග එකක්, දෙකක්, තුනක්, හෝ ඊට වැඩි ගණනක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්න පුළුවන්කම තිබෙනවා.

ඉදිරියේ දී තවත් එවැනි යෝජනා එන්නට නියමිතයි. ජනාධිපතිවරයාට ඇඟට, මොළයට දැනෙන තෙක් එම යෝජනා පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න අපි සූදානම්. දැන් රටේ අගමැතිවරයෙක් කැබිනට් මණ්ඩලයක් නැහැ. එම නිසා ඔවුන්ට මුදල් භාවිතා කරන්න හැකියාවක් නැහැ. එම නිසා ඉදිරියේදී ඔවුන්ට මුදල් වෙන් නොකිරීම සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න නියමිතයි.

ජනතා විමුක්ති පෙරමුණ එජාපයට හේත්තු කරන්න උත්සාහ කරන දයාසිරි ජයසේරකලා ඇතුළු කණ්ඩයම පහුගිය කාලයේ කාත් එක්කද හිටියේ? රනිල් වික‍්‍රමසිංහගේ අගමැතිධුරය යටතේ එහෙයියන් වෙලා හිටපු දයාසිරිලාට ජවිපෙ ගැන කතා කරන්න සදාචාර අයිතියක් තියෙනවාද? රනිල් වික‍්‍රමසිංහලත් එක්ක එකට ආණ්ඩුවේ ලැග්ග හිටං, හූටං කියලා පස්සේ ගිහින් මෛතී‍්‍ර ළඟ දණ ගහපු ශී‍්‍රලනිපයේ දයාසිරිලා ඇතුළු කණ්ඩායම ජවිපෙ ගැන කතා කිරීම කණගාටුවට කරුණක්.

එස්.බී කියලා තිබුණා, දියමන්තිය ලකුණින් ජනතා විමුක්ති පෙරමුණත් ඇතුළුව සන්ධානයක් එනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ දියමන්තියක් තමයි. නමුත් එස්.බී. මනෝ විකාරයෙන් දොඩනවන බව ඔවුන්ගේ කණ්ඩායමේම රන්ජිත් සොයිසා කියලා තිබුණා. ඒස.බී.ලා දැන් කතා කරන්නේ මනෝ විකාරයෙන් බව පැහැදිලියි. ඒ නිසා තමයි ඔහු කියලා තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවන්න මෛති‍්‍ර ගහපු ගැසට් එක අකුළා ගන්න කියලා ඉල්ලනවා කියලා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 7
බෙදාගන්න
දූෂණයට විරුද්ධ යැයි කියන ජනපති හොරු එක්ක ආණ්ඩුවක් හදලා..! | Lanka Newsweek