දිල්රුක්ෂි ඩයස්ට යුක්තිය ඉටු වීම සතුටට කරුණක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියට යුක්තිය ඉටු වන ආකාරයක් පෙනෙන්නට තිබීම සතුටට කරුණක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා…
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියට යුක්තිය ඉටු වන ආකාරයක් පෙනෙන්නට තිබීම සතුටට කරුණක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
හඬ පටයක් උපයෝගී කර ගනිමින් එල්ල කර තිබූ චෝදනාවක් හේතුවෙන් වැඩ තහනමකට ලක්ව සිටි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අතිරේක සොලිසිටර් ජෙනාරාල්වරියක වූ ජනාධිපති නීතීඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට කාලයක් ගතවීමෙන් පසුව හෝ යුක්තිය ඉටු වන ආකාරයක් පෙනෙන්නට තිබීම පිළිබඳව අප අපගේ ප්‍රසාදය පළ කරන්නෙමු.
දැන්වීම
දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව නගා තිබූ චෝදනා විමර්ශනය කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාව එකී චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කරන්නට තීරණය කර තිබීම අප සලකන්නේ සිය හෘද සාක්ෂියට අනුගතව නීතිය ක්‍රියා කරන්නට කටයුතු කරන අප රටේ රාජ්‍ය නිළධාරීන්ට කළ දිරිගැන්වීමක් ලෙසටය.
දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව නගා තිබූ චෝදනා සැලකීමේදී ඇතැම් කූට බලවේගයන් අතීතයේදී රට තුළ ගොඩනගා ගෙන තිබූ අසීමිත බලය තේරුම්ගත හැකිය. එමෙන්ම රටේ ප්‍රමුඛ කොමිෂන් සභාවන්හි ස්වාධීනත්වය අහිමි කරන්නට කටයුතු කර තිබීම තුළ එවැනි බලවේගයන් සක්‍රීය වූ ආකාරය ද මැනවින් වටහා ගත හැකිය. එමෙන්ම ව්‍යාජ චෝදනා මත ඇයට හිමි විය යුතුව තිබූ උසස් වීම වැළැක්වීම පාපතර ක්‍රියාවකි.
ඒ අනුව දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට අදාළව ලබා දී ඇති මෙම තීන්දුව සැලකීමේදී ස්වාධින කොමිෂන් සභා වෙතින් රටේ ජනතාව අපේක්ෂා කරන ලද යුක්ති සහගත ක්‍රියාකාරිත්වය යළි තහවුරු කරන ලද අවස්ථාවක් ලෙස එය සැලකිය හැකිය. අප එය සලකන්නේ යහපත් තත්ත්වයක් ලෙසටය.
මෙම කරුණට පාදක වූ සිදුවීම දෙස අවධානය යොමු කිරීමේදී රටේ ඇතැම් දුෂ්ඨ බලවේගයන්හි සාහසික උත්සාහයන්හි ස්වභාවයද තේරුම් ගත හැකිය. එවැනි තත්ත්වයන් අප රට තුළ යළි සිදු නොවීමට වග බලා ගැනීම රටේ වග කිව යුතු සෑම පාර්ශවයකම වගකීමකි. එමෙන්ම එවැනි ක්‍රියාකාරිත්වයන් හේතුවෙන් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට සිදුව ඇති බලවත් අගතිය සැලකිල්ල්ට ගනිමින් ඇයට තව දුරටත් යුක්තිය ඉටු කිරීම අදාළ ආයතනයන්හි වගකීම වන බව ද අප අවධාරණය කරන්නෙමු.
එමෙන්ම තවමත් පත් නොවුණු කොමිෂන් සභා ඉතා ඉක්මනින් පත්කර ගන්නා ලෙස ගරු කථානායකතුමා සහ ව්‍යවස්ථා සභාවේ ගරු සාමාජිකයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.