අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දියවන්නාව ගඳ ගස්සන කාමාතුර ලොක්කෝ

දියවන්නාව ගඳ ගස්සන කාමාතුර ලොක්කෝ

සේවිකාවෝ රට හැර යති කතානායකට පැමිණිලි පිට පැමිණිලි සේවකයන් තලා පෙළා දමමින් සහ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කරමින් ඒකාධිපතින් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානීන් පිරිසක් ගැන…

සේවිකාවෝ රට හැර යති

කතානායකට පැමිණිලි පිට පැමිණිලි

සේවකයන් තලා පෙළා දමමින්  සහ  ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කරමින් ඒකාධිපතින් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානීන් පිරිසක් ගැන සේවකයන්  පිරිසක්  කතානායකවරයාටද  පාර්ලිමේන්තු මහ ලේකම් සහ නියෝජ්‍ය මහලේකම් ඇතුළු ප්‍රධානීන්ටද පැමිණිලි කර ඇතැයි වාර්තාවේ

ගෘහ පාලන  දෙපාර්තමේන්තුවේ රූමත් සේවිකාවන්   පිරිසකට ලිංගික අඩන්තේට්ටම්  කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි ප්‍රධානියකු ඇතුළු නිලධාරීහු  දෙදෙනෙක් දැනට වැඩ තහනමට ලක් කරනු ලැබ සිටිති එම පරීක්ෂණ මේ වන විට අවසන් අදියරේ පවතින අතර එම පරීක්ෂණයෙන් අනතුරුව ඒ  දෙදෙනාට දැඩි පියවර ගැනෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
.
කාන්තාවන්ට විවිධ ලිංගික අඩන්තේට්ටම්  කළ බවට චෝදනා එල්ල වූ තවත් අංශයක සල්ලාල ප්‍රධානියෙක්  පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින්  පසුගියදා විශ්‍රාම යෑමට නියමිත දිනට කලින්ම  විශ්‍රාම යවනු ලැබීය.

මෑත කාලයේදී කාන්තාවන් ඇතුළු සේවකයන්  හිරිහැරයට ලක් කිරීමේ වැඩිම චෝදනා එල්ල වී ඇත්තේ පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ( Department of Information Systems  And  Management )  ඇතැම් ප්‍රධානීන්ටය. 

දැන්වීම

මේ පිළිබඳවද සේවිකාවන් කිහිපදෙනකු පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනටමත් පැමිණිලි කර ඇතැයි දැන ගන්නට ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් ඔවුන්ට පසුගිය දිනෙක  දැඩි ලෙස අවවාද කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලයක සිට සිදු වන අඩන්තේට්ටම් ඉවසා දරා ගත නොහැකිව සේවිකාවන් කිහිප දෙනෙකු එම අංශයෙන් දැනටමත්  ඉවත්ව ගොස් ඇති අතර සමහරුන් විදේශ ගතවූ බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාලයක් කටයුතු කළ හිටපු ප්‍රධානියෙකු ද තමන්ට අවනත නැති   කාන්තාවන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් නම් දැරූ සල්ලාලයකු  බව තතු දත් පාර්ලිමේන්තු සේවකයෝ පෙන්වා දෙති.

මේ අතර  පැය අටෙන් වැඩි කාලයක් නිකරුණේ නිදාගන්නා සේවකයන් සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පැමිණිලි ලැබී ඇත. මෙසේ උදේ ඉඳන් නිදා ගන්නා සේවකයන්ට මෙතෙක් පාලනාධිකාරිය කිසිදු පියවරක් ගෙන නැතැයි වාර්තාවේ.

බොහෝ අංශවල සේවක සේවිකාවන්ට උසස්වීම් පිරිනමන්නේ ප්‍රධානීන්ට බැල මෙහෙවරකම් කරන එහෙයියන්ට හෙන්චයියන්ට සහ සට්ටැඹියන්ට පමණි. පළපුරුදුකම් සහිත ඉහළ අධ්‍යාපනයක් ලබා ගත් බොහෝ පිරිස් මේ හේතුවෙන් කාලයක් තිස්සේ කොන්වී අසාධාරණයට ලක්ව  සිටිති. පාලනාධිකාරියද  මේ පිරිස් ගැන විචාරශීලීව සොයා නොබැලීම කණගාටුවට කරුණක් බව සේවකයෝ පෙන්වා දෙති. 

කාලයක් තිස්සේ මේ අසාධාරණකම් ඉවසා ගත නොහැකි වූ අංශ කිහිපයක සේවකයන් පිරිසක් නඩු මඟට බැස ඇත්තේ මේ නිසා බව පවසන එම සේවකයෝ  ඉදිරියේදී තවත් සේවකයන් මේ ආකාරයට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවද  ප්‍රකාශ කරති.

මේ අසාධාරණකම් පිළිබඳව සේවකයන් රැසක් නව කතානායකවරයාටද පැමිණිලි කර ඇතැයි දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් බොහෝ සේවකයෝ කතානායකවරයාගෙන් සහනයක් බලාපොරොත්තු වෙති. තවත් සමහර සේවිකාවෝ මෙම අඩන්තේට්ටම් සම්බන්ධයෙන් පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි කිරීමටද මේ දිනවල කටයුතු කරමින් සිටිති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න