අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දින හතරක මෙහෙයුමකින් ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගත් හැටි

දින හතරක මෙහෙයුමකින් ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගත් හැටි

ප්‍රබල සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වූ ගනේමුල්ල සංජීව නමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේදී…

ප්‍රබල සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වූ ගනේමුල්ල සංජීව නමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල බීබීසී සිංහල වෙත පැවසුවේ නේපාලයේ දී කළ මෙහෙයුමකදී ඇය අත්අඩංගුවට ගත් බවයි.

ඉෂාරා සෙව්වන්දි සමග තවත් පුද්ගලයින් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.

දැන්වීම

දින 04ක මෙහෙයුමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය හා නේපාල පොලිසිය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේය. "මීට දවස් 04කට කලින් CID එකයි කොළඹ අපරාධ කොට්ඨාසයයි නේපාලයට ගිහිල්ලා එහේ පොලිසියත් එක්ක කරපු මෙහෙයුමකින් මේ පිරිස අත්අඩංගුවට ගෙන තියෙන්නේ." අමාත්‍යවරයා සඳහන් කළේය.

ගනේමුල්ල සංජීව ඝාතනය සහ ඉෂාරා සෙව්වන්දි

ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරු ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කෙරිණි.

මෙම සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු පුත්තලම, පාලවීය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකාර ඉෂාරා සෙව්වන්දි නමැත්තිය පළා ගොස් තිබිණි.

ගනේමුල්ල සංජිව නමැත්තා ඝාතනය කිරීම සඳහා යොදා ගත් ගිනි අවිය 'දණ්ඩ නීති සංග්‍රහය' පොතක් තුළ සඟවා අධිකරණ භුමිය තුළට ගෙනවිත් වෙඩික්කරු වෙත ලබා දී තිබුනේ ඉෂාරා සෙව්වන්දි බවට පොලිස් විමර්ශකයින් අනාවරණය කර ගෙන තිබිණි.

පසුව සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට රටපුරා මෙහෙයුම් සිදුකළ අතර ඇය සැඟව සිටි බව කියන ස්ථාන රැසක් පොලිසිය විසින් පරීක්ෂා කරන ලදී.

එලෙස විමර්ශන කටයුතු සිදුකළ ද ඇයව අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වූ අතර මාස 08 කට පසුව ඇය නේපාලයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

සෙව්වන්දිට රැකවරණය දුන් පුද්ගලයත් අත්අඩංගුවට

මේ වන විට විදේශගතව සැඟව සිටින අපරාධකරුවන් 40 දෙනෙකුට එරෙහිව රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ලර් පැවසුවේය.

"මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදන 40ක් පමණ නිකුත් කරලා තියෙනවා. මේ වසරේදී දැනට රතු නිවේදන නිකුත් කර ඇති සැකකරුවන් සහ සැකකාරියන් 18 දෙනෙකුව ශ්‍රී ලංකාවට රැගෙන එන්න පොලිසියට හැකිවෙලා තියෙනවා."

"පොලිස්පතිවරයාගේ අධීක්ෂණය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් නේපාලයට ගිහින් අපට අත්‍යවශ්‍යව සිටි සැකකාරියක් අත්අඩංගුවට ගන්න හැකි වුණා."

''ඉෂාරා සෙව්වන්දි නමැති මෙම සැකකාරියට රතු නිවේදන නිකුත් කර තිබුණා. ඇය අත්අඩංගුවට ගන්න නේපාලය රජයේ සහ පොලිසියේ සහය ලැබුණා. මෙතැනදී අපි ගෞරවනීය ස්තුතියක් පුදකරන්න ඕන නේපාල රජයට වගේම එරට පොලිසියට.''

''මෙම සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සමග තවත් ද්‍රවිඩ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තියෙනවා. ඔහු තමයි ඇයට රැකවරණය ලබාදීලා තියෙන්නේ. මෙතැනදී තවත් සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගන්න හැකියාව ලැබිලා තියෙනවා.''

''උදර්පණ නීතිය යටතේ ඔවුන් සියලු දෙනා ඉක්මනින්ම නැවත ලංකාවට රැගෙන එන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

- බීබීසී සිංහල -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න