දායකයින්ගෙන් කෝටි 8ක් ගසා කෑ සක්විති හිමි මාට්ටු..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3

කැනඩා රැකියා පෙන්වා සල්ලි ගරලා..! (ජයකාන්ත ලියනගේ) කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා මහණ වෙස් ගෙන අහුන්ගල්ලේ විහාරස්ථානයක රැදී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි ගණනක මුදලක්…
කැනඩා රැකියා පෙන්වා සල්ලි ගරලා..!
(ජයකාන්ත ලියනගේ)
කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා මහණ වෙස් ගෙන අහුන්ගල්ලේ විහාරස්ථානයක රැදී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කරන ලද චීවරධාරියෙකු හලාවත මාරවිල ප්‍රදේශයේ හෝටලයක සැඟවී සිටියදී අහුන්ගල්ල පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
සැකකරු ඉරිදා (12) බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉසෙඩ්.පී.එම්.ලියාකාට් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස විසි එක් වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල, යන්තම්පලාව ප්‍රදේශයේ පදිංචි වන්නිනායක හේරත් මුදියන්සෙලාගේ ගාමිණී වන්නිනායක (55) හෙවත් මහාචාර්ය ගල්කුලමේ සෝරත නැමති අයෙකි.
මොහු සතුව තිබී මුදල් රුපියල් එක් කෝටි අට ලක්ෂ විසි දහසක්ද (1,8,20,000/-) රුපියල් දෙලක්ෂ හැට පන් දහසක් (2,65,000/-) වටිනා රන් භාණ්ඩද, රුපියල් ලක්ෂ 70 ක් (70,00000/-) වටිනා ජීප් රථයක්ද, රුපියල් පහලොස් දහසක් (15,000/-) ක් වටිනා අත් ඔරලෝසුවක්ද, ටැබ් පරිගණකයක් සහ ජංගම දුරකථන කිහිපයක්ද අහුන්ගල්ල පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මේ මුදල් වංචාට ලක්වූ පුද්ගලයින්ගෙන් අහුන්ගල්ල පොලීසියට ලැබුණු පැමිණිලි කීපයක් මත ක්‍රියාත්මක වූ අහුන්ගල්ල පොලීසිය සැකකරුගේ දුරකථන සංවාද පරීක්ෂා කිරීමෙන් සහ මිනිස්සුන්ගෙන් ලැබුණු තොරතුරු මත හලාවත මාරවිල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සැඟවී සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
දැනට මොහුට විරුද්ධව පැමිණිලි 30 ක් පමණ ලැබී තිබෙන බවත් තවත් පැමිණිලි ලැබෙමින් පවතින බවත් අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
රට හැර යෑම සදහා විදේශ ගමන් බල පත්‍රයක් සකස් කර ගැනීමට මොහු උත්සාහ කර තිබෙන බවත් ඒ උත්සාහය අසාර්ථක වූ තැන සැකකරු මෙම හෝටලයට පැමිණ නවාතැන් ගෙන තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. මීට සති තුනකට පමණ පෙර මෙම පුද්ගලයා විහාරස්ථානයෙන් අතුරුදනව සිටි බවද අහුන්ගල්ල පොලිසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
අහුන්ගල්ල, ගල්වෙහෙර මඵව වත්ත පුරාණ විහාරස්ථානයේ වැඩ සිටිමින් ගල්කුලමේ සෝරත නමින් පෙනී සිටි මෙම චීවරධාරියා කැනඩාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයකු බවත් මහාචාර්ය ජයන්ත කැලේගම මහතා සිය පියාණන් බවත් ප්‍රදේශවාසීන්ට පවසා තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
මෙම චීවරධාරියා ප්‍රදේශවාසීන් විහාරස්ථානයට පැමිණි පසු ඉතා සූක්ෂම අන්දමින් ඔවුන්ගේ සිත් දිනා ගෙන කටයුතු කර තිබෙන බවද ඒ නිසාම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මොහුට අවනතව කටයුතු කර තිබෙන බවද අහුන්ගල්ල පොලීසිය කියයි.
අහුන්ගල්ල, බදුල්ල, වැල්ලවාය, බණ්ඩාරවෙල, ගිනිගත්හේන, අවිස්සාවේල්ල, වැලිගම, කිතුල්ගල, මහනුවර, පල්ලෙකැලේ ආදී ප්‍රදේශවල එකසිය පනස් දෙදෙනෙකු මුලා කරමින් ඔවුන්ගෙන් රුපියල් කෝටි අටකට වැඩි මුදලක් මෙසේ වංචාකර තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
මෙම විහාරස්ථානය කැලෑවෙන් වැසී ගොස් ඉතා ජරාවාසව තිබී ඇති අතර ප්‍රදේශයේ ධානපතියෙක් පසුගිය කාලයේ රුපියල් කෝටියකට අධික මුදලක් වැය කර ප්‍රතිසංස්කරණය කර තිබේ.
මෙම විහාරස්ථානයේ විහාරාධිපති කොස්ගොඩ, හෑගල්ල මහ විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති කොස්ගොඩ මහින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථානය ගොඩ නංවා ඇත.
කොස්ගොඩ මහින්ද හිමියන් අහුන්ගල්ලේ වෙනත් ප්‍රධාන විහාරස්ථානයක වැඩ වාසය කරන බැවින් මෙම හිමි නම සොයා ගෙන ඇත්තේ පුවත්පත් දැන්වීමක් මගිනි.
අහුන්ගල්ල, මළුවේවත්ත පුරාණ විහාරස්ථානයට හිමි නමක් අවශ්‍ය බව සඳහන් දැන්වීමක් සති අන්ත ප්‍රධාන පුවත්පතක පළ කිරීමෙන් පසු මෙම හිමි නම මීට මාස හතරකට පමණ පෙරදී විහාරස්ථානයට වැඩම කළ බව විහාරාධිපති කොස්ගොඩ මහින්ද හිමියන් අහුන්ගල්ල පොලීසියට ප්‍රකාශ කර තිබේ.
මුදල් වංචා කිරීමෙන් පසු ගල්කුලමේ සෝරත නමින් පෙනී සිටි මෙම චීවරධාරියා අතුරුදන්ව සිටි බවද අහුන්ගල්ල පොලීසිය කියයි. මෙම හිමි නමගේ රියදුරා බව කියන අයකු අහුන්ගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් පත්මලාල් මහතාගේ මෙහෙය වීම යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයසූරිය, පොලිස් සැරයන්වරුන් වන පෙරේරා (11478) සහ නන්ද (25861), පොලිස් කොස්තාපල්වරුන් වන ජයසිංහ (90522) සහ චතුරංග (90242) යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
