අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දකුණු පළාතේ සියළු සමූපකාර සමිති වල නිලවරණ අත් හිටුවයි..?

දකුණු පළාතේ සියළු සමූපකාර සමිති වල නිලවරණ අත් හිටුවයි..?

අද (16) පැවැත්වීමට නියමිතව තිබූ දකුණු පළාතේ සියළු සමූපකාර සමිති වල නිලවරණ, මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් අත් හිටුවීමට දකුණු පළාත් සමූපකාර සංවර්ධන…

අද (16) පැවැත්වීමට නියමිතව තිබූ දකුණු පළාතේ සියළු සමූපකාර සමිති වල නිලවරණ, මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් අත් හිටුවීමට දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

2025 මාර්තු 09 දින භාරගත් නාම යෝජනා වලට අදාල ඡන්ද විමසීම 2025 මාර්තු 16 දින පැවැත්වීමට නියමිතව තිබූ බවත් මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම් දීම අනුව මෙම අත් හිටුවිම සිදුකරන බවත් සමූපකාර සංවර්ධන කොමසාරිස් කාර්යාලයේ ඡන්ද නිලධාරී සී පී කළුපහන මහතාගේ නිවේදනයක් මගින් දකුණු පළාතේ සියළු සමූපකාර සමිති වෙත දැනුම් දී ඇත. පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසු සමූපකාර නිලවරණ පවත්වන බවද එම නිවේදනය මගින් වැඩි දුරටත් දැනුම් දී ඇත.

2025.03.09 දිනෙන් පසුව පැවැත්වීමට අපේක්ෂිත ලියාපදිංචි සමූපකාර සමිතිවල ප්‍රාදේශික කාරක සභා සහ මහ සභා, පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව පවත්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව, දකුණු පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයාට 2025.03.07 දිනැති ලිපියක් මගින් දැනුම් දී තිබේ. එම ලිපියට අනුව මෙම අත් හිටුවිම සිදුකර තිබෙන බව දකුණු පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් කාර්යාලය කියයි. මැතිවරණ කොමිෂන් සභාව මෙම දැනුම් දීම කර ඇත්තේ ‘2025 ඡන්ද විමසීම ප්‍රකාශ කර ඇති කාල සීමාව තුල සමූපකාර නිලවරණ හා මහ සභා පැවැත්වීම සම්බන්ධවයි’ යන ශීර්ෂය යටතේ යොමු කරන ලද අංක EDR/LAE/2025/21 දරණ ලිපිය මගිනි.

දැන්වීම

2025.03.16 දින පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම සම්බන්ධයෙන් දකුණු පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසීමක්ද කර තිබේ. ඒ 2025.03.04 දිනැති ලිපියක් මගිනි. මැතිවරණ කොමිෂන් සභාව විසින් එවන ලද ලිපියේ ‘උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබගේ 2025.03.04 දිනැති ලිපිය හා බැදේ’ යනුවෙන් සදහන් කර තිබෙන අතර දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමසීම මේ මගින් සනාථ වේ. මැතිවරණ කොමිෂන් සභාව අදාල දැනුම් දීම කර ඇත්තේ මෙම ලිපියට පිළිතුරු වශයෙනි.

මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති) බී පී සී කුලරත්න මහතාගේ අත්සනින් යුත් එම ලිපිය මගින් මැතිවරණ කොමිෂන් සභාව වැඩි දුරටත් දැනුම් දී ඇත්තේ 2025.03.09 දින හෝ ඊට පෙර පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති ලියාපදිංචි සමූපකාර සමිති වල කාරක සභා නිලවරණ හා මහ සභා කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව මැතිවරණ නීති උල්ලංඝනය නොවන අයුරින් පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ විරුද්ධත්වයක් නොමැති බවයි.

බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතිය සදහා මහ සභා නියෝජිතයින් 100 ක් පත්කර ගැනීම වෙනුවෙන් 396 දෙනෙකු පසුගිය ඉරිදා (09) නාම යෝජනා බාර දුන්නේය. සමූපකාර ප්‍රාදේශික 24 ක් වෙනුවෙන් පිහිටවනු ලබන කාරක සභා 24 ක් සදහා පත්වන කාරක සභිකයින් 216 ක් අතරින් 100 ක් මහ සභා නියෝජිතයින් ලෙස පත්කර ගනී. එයින් ගල්වෙහෙර, නාපේ, කොස්ගොඩ හා කටුවිල ප්‍රාදේශික සදහා ඉදිරිපත්ව ඇත්තේ එක් කණ්ඩායමක් බැගින් පමණි. එම ප්‍රාදේශික නියෝජනය කරමින් මහ සභා නියෝජිතයින් 22 ක් නිතරගයෙන් තේරී පත් විය. කණ්ඩායම් 02 බැගින් ඉදිරිපත්ව සිටින සමූපකාර ප්‍රාදේශික 20 වෙනුවෙන් වූ ඡන්ද විමසීම අද (16) දින පැවැත්වීමට නියමිතව තිබුණි.

මැතිවරණ කොමිෂන් සභාව, දකුණු පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා වෙත එවන ලද ලිපිය සහ ඡන්ද විමසීම කල් දැමූ බව සදහන් නිවේදනය මෙහි දැක්වේ.

දකුණු පළාතේ සියළු සමූපකාර සමිති වල නිලවරණ අත් හිටුවයි..?

(ජයකාන්ත ලියනගේ  -  බළපිටිය) 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
දකුණු පළාතේ සියළු සමූපකාර සමිති වල නිලවරණ අත් හිටුවයි..? | Lanka Newsweek