ථේරවාදී නිකාය කතිකාව පනත් කෙටුම්පත හැකි ඉක්මනින් සම්මත කරනු

රටේ යහපත සඳහා ථේරවාදී නිකාය කතිකාව පනත් කෙටුම්පත හැකි ඉක්මනින් සම්මත කර ගැනීමට රජය අවධානය යොමු කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත්…
රටේ යහපත සඳහා ථේරවාදී නිකාය කතිකාව පනත් කෙටුම්පත හැකි ඉක්මනින් සම්මත කර ගැනීමට රජය අවධානය යොමු කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
මෑතකදී සංඝ සමාජයේ ඇති වූ විනය විරෝධී සිද්ධීන් හේතුකොට ගෙන බුද්ධ ශාසනයේ ඉදිරි යහපැවැත්ම පිළිබඳව මතුව ඇති දැඩි සමාජ කතිකාව මැනවින් අවබෝධ කර ගැනීම රටෙහි අනාගත සුබසිද්ධියට අතිශයින් ම වැදගත් වන බව අපගේ බලවත් විශ්වාසයයි.
දැන්වීම
රටෙහි බහුතරයක් ජනතාව ආත්මීය ලෙස බද්ධ වී ඇති ආගමික ව්‍යූහයක යහපැවැත්ම කෙරෙහි අහිත කර ප්‍රවණතා මතු කරන සංවිධානාත්මක කූට බලවේග හඳුනා ගනිමින් එවැනි අභියෝගයන් ට සාර්ථක ලෙස මුහුණ දීම සඳහා ශාසන භාරකාරී මහා නායක මාහිමිවරුන් වහන්සේලා ප්‍රමුඛ ඒ ඒ නිකාය වෙත අවකාශය සහ ඒ සඳහා අවශ්‍ය නෛතික බලය ලබා දීම සමස්ත සමාජයේ ම යහපැවැත්මට හේතු වන බව අපගේ පිළිගැනීමයි.
මෙම ජාතික යුතුකම මැනවින් වටහා ගත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඒ වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට පියවර ගනු ලැබීය. මහා තෙරුන් වහන්සේලා සමඟ නිතිපතා සාකච්ඡා මෙන්ම බුද්ධ ශාසන සහ අධිකරණ අමාත්‍ය තුමන්ලා ඇතුළු සමාජ ක්‍රියාකාරීන්ගේ ද සහායෙන් හදිසි වැඩ පිළිවෙළකට පියවර ගැනිණ. අති ගරු මහා නායක හිමිපාණන් ප්‍රමුඛ සංඝ සමාජය මේ වෙනුවෙන් දැක්වූ උනන්දුව ගිහියන් වශයෙන් අපි අගය කරමු.
පසුගිය ඉරිදා අති ගරු මල්වතු මහා නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති වැදගත් සාකච්ඡාවට බුද්ධ ශාසන සහ අධිකරණ අමාත්‍යවරුන් ද සහභාගි වූහ. දීර්ඝ සාකච්ඡාවකින් පසු බුද්ධ ශාසන ඇමතිතුමන් විසින් ඉදිරිපත් කළ කෙටුම්පත අධිකරණ අමාත්‍යතුමා පෙන්වා දුන් සුළු වෙනස්කම් කිහිපයකට යටත්ව අනුමත කරනු ලැබිණ. අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට බුද්ධශාසන අමාත්‍යතුමන් විසින් පියවර ගෙන ඇති බව අප වෙත දන්වා ඇත. ඒ වෙනුවෙන් අපගේ ගෞරවය එතුමාට පිළිගන්වමු.
එමෙන්ම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප රජයෙන් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ වෙතින් ඉල්ලා සිටින්නේ ථේරවාදී නිකාය කතිකාව පනත් කෙටුම්පත හැකි ඉක්මනින් බලාත්මක කිරීමට කටයුතු යොදන ලෙසටය.