තොරතුරු දැන ගැනීමේ පනත තවත් ශක්තිමත් විය යුතුයි

(නිලන්ති මානෙල්) ශ්‍රී ලංකාවේ පළමු තොරතුරු දැනැගැනීමේ කොමිෂන් සභාවේ පස් වසරක කාලය අවසන් වීම සහ ජාත්‍යන්තර තොරතුරු දිනයට සමගාමීව තොරතුරු පනත සම්බන්ධයෙන් දිවයින පුරා තරුණ තරුණියන් දැනුම්වත් කිරීමේ…
(නිලන්ති මානෙල්)
ශ්‍රී ලංකාවේ පළමු තොරතුරු දැනැගැනීමේ කොමිෂන් සභාවේ පස් වසරක කාලය අවසන් වීම සහ ජාත්‍යන්තර තොරතුරු දිනයට සමගාමීව තොරතුරු පනත සම්බන්ධයෙන් දිවයින පුරා තරුණ තරුණියන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සඳුදා (27) මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව සහ ඒෆ්‍රියල් තරුණ ජාලය එක්ව සූම් ඔස්සේ සංවිධානය කළ එම වැඩසටහනට තරුණ තරුණියෝ 200කට අධික පිරිසක් සහභාගී වූහ.
තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව නියෝජනය කරමින් එහි කොමසාරිස්වරුන් වන ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටෝ-ජයවර්ධන මහත්මිය සහ අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු රෝහිනී වල්ගම මහත්මිය මෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වූ එම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා විසිනි.
දැන්වීම
‘යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් තොරතුරු පනත උපයෝගී කරගනිමු’ මැයෙන් පැවැති පැවති මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහනේදී තොරතුරු පනත සම්බන්ධයෙන් මුහුණ දුන් අභියෝග සහ ජයග්‍රහණ ගැන කොමිෂන් සභාවේ කොමසාරිස්වරු පැහැදිලි කළහ.
තොරතුරු පනත තවදුරටත් ශක්තිමත් විය යුතු බවත්, එහි පොදු අධිකාරීන් යන නිර්වචනයට දේශපාලක පක්ෂ ද ඇතුළත් විය යුතු බවත්, තොරතුරු පනත ශක්තිමත් කිරීමේ සහ අභියාචන විභාගය කාර්යක්ෂම කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමෙන් කාර්යාල පිහිටුවිය යුතු බවත් මෙම වැඩසටහනේදී අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.
තොරතුරු පනත භාවිත කරද්දී මුහුණ දුන් ගැටලු ගැන වැඩසටහනට සහභාගී වූ බොහෝ දෙනෙක් අදහස් ඉදිරිපත් කළ අතර තොරතුරු ඉල්ලා සිටීමේදී හේතු පැහැදිලි කිරීමට සිදුවූ අවස්ථා ගැන කිහිප දෙනෙක් ප්‍රකාශ කළහ.
ඊට පිළිතුරු දෙමින් තොරතුරු කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් සඳහන් කළේ තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලීමේදී හේතු පැහැදිලි කිරීමට කිසිසේත් අවශ්‍ය නැති බවයි. ඊට අදාලව කොමිසම ලබා දුන් නියෝග ගැන ද කොමසාරිස්වරු පැහැදිහිලි කළහ.
උතුරේ ජනතාව තොරතුරු පනත ආශ්‍රයෙන් ලබා ගත් ජයග්‍රහණ ගැන ඒෆ්‍රියල් තරුණ ජාලයේ සභාපති රවීන්ද්‍ර ද සිල්වා මහතා පැහැදිලි කිරීමක් කළ අතර ජාති ආගම් බේදයකින් තොරව තොරතුරු ලබා ගැනීමට තොරතුරු පනතින් හැකි බව උදාහරණ සහිතව පැහැදිලි කළේය.
ගෙවුණු වසර 05ක කාලයේදී තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව ලබාදුන් නියෝගවලින් සියයට 85ක් ලබා දී ඇත්තේ සම්පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් තොරතුරු මුදා හැරීමට බව මෙම සාකච්ඡාවේදී කොමිසම සඳහන් කළේය.
රාජ්‍ය නොවන සංවිධානවලට තොරතුරු ඉල්ලීම් යොමු කළ පසු ඔවුන් තොරතුරු පනතට නොවැටෙන බව පවසමින් ඒවා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් වූ අතර ඊට පිළිතුරු දෙමින් කොමිෂන් සභාව සඳහන් කළේ රාජ්‍ය නොවන සංවිධානද තොරතුරු පනතේ පොධු අධිකාරීන් යටතට වැටෙන බව එම පනතේ සඳහන් වන බවයි.
පොදු සේවා සපයන පෞද්ගලික ආයතනවලින් ද තොරතුරු ලබා ගැනීමේ හැකියාව ගැන ද ප්‍රශ්නයක් ඉදිරිපත් වූ අතර කොමිසම සඳහන් කළේ තොරතුරු පනතේ 43(උ) යටතේ සඳහන් කර ඇති පරිදි අදාල ක්‍රියාකාරකම්වලට සීමා වූු තොරතුරු ඉල්ලා සිටීමට හැකි බවයි.
තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලීමකදී අදාල තොරතුර ලිඛිතව ලබා නොදී වාචිකව නිල නොවන ලෙද දැනුම් දෙන අවස්ථා තිබෙන බවට ප්‍රශ්නයක් ඉදිරිපත් කළ අතර ඊට පිළිතුරු දෙමින් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ පනත අනුව එලෙස සිදුකිරීමට හැකියවක් නැති බවයි. තොරතුරු ඉල්ලීමකට ලිඛිතව ප්‍රතිචාර දැක්විය යුතු බව ද කොමිසම සඳහන් කළේය.