අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ආරක්ෂා කර ගැනීමට පෙරට එනු

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ආරක්ෂා කර ගැනීමට පෙරට එනු

මේ තෙල් ටැංකිවලින් වසරකට රුපියල් මිලියන 1000ක් උපයා ගත හැකියි ආණ්ඩුවේ ජාතික සම්පත් මංකොල්ලයට ඉඩ තබන්නේ නැහැ රනිල්ගෙන් කර ගන්න බැරි වුණ දේ ගෝඨාට කියලා කර ගැනීම ඉන්දියාවේ අරමුණයි (සුජිත් මංගල ද සිල්වා)…

මේ තෙල් ටැංකිවලින් වසරකට රුපියල් මිලියන 1000ක් උපයා ගත හැකියි

ආණ්ඩුවේ ජාතික සම්පත් මංකොල්ලයට ඉඩ තබන්නේ නැහැ 

රනිල්ගෙන් කර ගන්න බැරි වුණ දේ ගෝඨාට කියලා කර ගැනීම ඉන්දියාවේ අරමුණයි 

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ආරක්ෂා කර ගැනීමට පෙරට එනු

(සුජිත් මංගල ද සිල්වා)  


ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව ඉන්දියානු "IOC" සමාගමට විකුණා දැමීමට යන ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීරණය ආරක්ෂා කර ගැනීම සඳහා මව්බිමට සහ එහි ජාතික සම්පත්වලට ආදරය කරන දේශප්‍රේමී සියලු ජනයා පෙරට ආ යුතු කාලය එළැඹ ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියි.

ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ආණ්ඩුවේ මෙම ජාතික සම්පත් මංකොල්ලය ගැන හෙළිදරව් කරමින් වැඩි දුරටත් එහිදී අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ දී පැවැසීය.

දැන්වීම

ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වන්නේ විකුණා දැමූ රටේ ජාතික සම්පත් සහ දේපොළ යළි රජයට පවරා ගන්නවා කියලා. ජනපතිවරණ වේදිකාවේදී මහින්ද රාජපක්ෂ නිශ්චිතවම මේ කතාව කිව්වා. එක කාලයක් ඔවුන් පොළව ඉඹලා පෙන්නුවා. කමිසයේ උඩ සාක්කුවේ ජාතික කොඩිය ප්‍රදර්ශනය කරමින් හිටියා. කතාවක් අවසානයේ මව්බිමට ආදරෙයි කියලා තුන්හතර සැරයක් කියන්න පටන් ගත්තා. මේ නිසා ජනතාව හිතුවා විකුණන්නේ නෑ විතරක් නෙවෙයි විකුණපු දේවල් ආපසු පවරා ගනියි කියලා. 

ගෝඨාභය රාජපක්ෂ බලයට ආවට පස්සේ එජාපය විකුණපු හම්බන්තොට වරාය සහ 2015ට කලින් විකුණපු කොළඹ වරායේ දකුණු ජැටිය ඇතුළු විකුණපු පර්යන්ත යළි රජයට පවරා ගනී කියලා ජනතාව බලා ගෙන හිටියා. ඒ විතරක් නෙවෙයි හරියට බදු ගිවිසුමක්වත් ගහලා නැතුව ඉන්දියාව භාවිතා කරන ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටිකත් රජය සතු කර ගනී කියලා බලා ගෙන හිටියා. 

නමුත් මාස 25ක් ගත වෙන කොට හම්බන්තොට වරාය ගත්ත සමාගමට තවත් දේපොළ දී තියෙනවා. ඉන්දියාවේ බටහිර ජැටිය අදානි සමාගමට ලබා දී ඉවරයි. කොළඹ වරාය වටේ තියෙන වැදගත්, ඓතිහාසික ඉඩම් කිහිපයක් සෙලෙන්දිවා මගින් විකුණන්න දාලා තියෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය මගින් තවත් ඉඩම් ගණනාවක් විකුණන්න බලා ගෙන ඉන්නවා. ඌව වෙල්ලස්ස ඉඩම් විකුණන්න අත තියලා.

මේ අතර තමයි ත්‍රිකුණාමලය තෙල් ටැංකි විකිණීම කරළියට එන්නේ. තෙල් ටැංකි 101ක් බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඉදි කරලා තිබුණා. ත්‍රිකුණාමලය වරාය ආසන්නයේ මේ තෙල් ටැංකි ඉදි කළේ යුද සහ වෙළඳ නැව්වලට තෙල් සපයන්නයි. දෙවන ලෝක යුද සමයේදී බෝම්බ හෙළීම නිසා තෙල් ටැංකි 02ක් විනාශ වුණා. 1948 අපේ රටට නිදහස ලබා දෙන අවස්ථාවේ මේ තෙල් ටැංකි බ්‍රිතාන්‍ය සතු කර ගන්න උත්සාහ කළා. ලෝක දේශපාලන බල පෙරළියත් සමඟ 1964දී ශ්‍රී ලංකා ආණ්ඩුව විවිධ උත්සහයන් කරලා බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් ලක්ෂ දෙකහමාරක් බ්‍රිතාන්‍ය නාවික හමුදාවට ගෙවලා මේ තෙල් ටැංකි 99 රට සතු කර ගත්තා. 

නමුත් මේ තෙල් ටැංකි සංර්ධනය කරන්න පැවැති ආණ්ඩුවලට වැඩ පිළිවෙළක් තිබුණේ නැහැ. 1987 කාලයේ මෙම තෙල් ටැංකි ඇමරිකාවට ලබා දීමට ජේ ආර් ජයවර්ධන උත්සහ කළත් ඉන්දියානු බලපෑම් නිසා එම ක්‍රියාවලිය නතර වුණා. ඉන්දු-ලංකා ගිවිසුම එන්නේත් මෙම තෙල් ටැංකිවලට තිබුණ බලපෑම් පදනම් කර ගෙනයි. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළත් තෙල් ටැංකි සම්බන්ධයෙන් විශේෂ දෙයක් සිදු වුණේ නැහැ. 

ඊට පසුව බලයට පත් වුණු එජාප ආණ්ඩුවේ මිලින්ද මොරගොඩ ඇමතිවරයා 2002 මැයි 21 තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු සමාගමකට බදු දෙන්න කැබිනට් පත්‍රිකාවක් ගේනවා. අද මේ ආණ්ඩුව ඉන්දියානු මහ කොමසාරිස්වරයා ලෙස පත් කර සිටින්නේ ඒ මිලින්ද මොරගොඩ හිටපු ඇමතිවරයායි. ඒ කැබිනට් පත්‍රිකාවේ ප්‍රතිඵලයක් ලෙස 2002 ජුනි 11 වැනිදා ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියානු ඔයිල් සමාගම අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබනවා. ඉන්පසුව 2003 පෙබරවාරි 07 වෙනිදා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අයි.ඕ.සී සමාගමේ කළමනාකරණ අධ්‍යාක්ෂවරයා ඇතුළු පිරිස විසින් ගිවිසුමක් අත්සන් කරනවා. ඒ ගිවිසුම අනුව මාස 06කින් බදු ගිවිසුමකට යා යුතු බව කියනවා. නමුත් දැන් වසර 18ක් ගත වෙලත් බදු ගිවිසුමක් අත්සන් කර නැහැ. නමුත් ඉන්දියානු සමාගම තෙල් ටැංකි 14ක් භාවිතා කරමින් ඉන්නවා. කෙසේ වෙතත් මෙම තෙල් ටැංකි 99 සඳහා ඩොලර් ලක්ෂය බැගින් අවුරුද්දකට ශ්‍රී ලංකා රජයට ලබා දෙනවා. ඒක අනීතික වැඩක්. මොකද බදු ගිවිසුමක් නැහැ. 

මේ ඉන්දියානු ඔයිල් සමාගමට 2004 දී අවුරුදු 20කට තෙල් ආනයනය, ගබඩා කිරීම සහ බෙදාහැරීම සඳහා බලපත්‍රයක් ලබා දුන්නා. තව වසර දෙකකින් එම බලපත්‍රය අහෝසි වෙනවා. එම නිසා බලපත්‍රය අලුත් කළේ නැත්නම් ඉන්දියානු සමාගමට තෙල් ටැංකි පවත්වා ගෙන යෑමෙන් පලක් නැති වෙනවා. එම නිසා මෙම තෙල් ටැංකි සංකීර්ණය ශ්‍රී ලංකාවේ රජය සතු කර ගන්න අවස්ථාවක් ලැබී තිබෙනවා. 

එවැනි අවස්ථාවක් උදා වෙලා තියෙද්දී විකුණපු දේවලුත් පවරා ගන්නවා කියපු ආණ්ඩුවේ ඛනිජ තෙල් ඇමති උදය ගම්මන්පිල අලුත් සෙල්ලමක් පටන් අර ගෙන තිබෙනවා. කොහොමත් බදු ගිවිසුමක් නොමැතිව ඉන්දියානු සමාගම තෙල් ටැංකි භාවිතා කරන නිසා ශ්‍රී ලංකාවට නීත්‍යානුකූල අයිතියක් තිබෙනවා මේ තෙල් ටැංකි පවරා ගන්න. 

ඒ වෙනුවට 2021 දෙසැම්බර් 20 වෙනිදා උදය ගම්මන්පිල ඇමතිවරයා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතියවරයාට ලිපියක් යොමු කරනවා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පදනම් කර ගෙන "ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ්" කියන ආයතනය පිහිටු වන්න කියලා. මේ ලිපියෙන් උදය ගම්මන්පිල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු සමාගමට අයිතියක් තිබෙන බවට හිතා මතා වගන්තියක් ඇතුළු කරනවා. එය බරපතළ ගැටලුවක්. විකෘතියක්. ඇමතිවරයා පිළි ගන්නවා, නීත්‍යානුකූල අයිතියක් ඉන්දියානු සමාගමට තිබෙනවා කියලා. නමුත් එහෙම නීත්‍යානුකූල අයිතියක් ඉන්දියානු සමාගමට නැහැ. 

දැන් ඇමතිවරයා අලුත් සමාගමක් හදන්න උත්සහ කරනවා. එම සමාගමේ කොටස්වලින් 49%ක් ඉන්දියානු ඔයිල් සමාගමට ලබාදීමට සැලසුමක් තිබෙනවා. එම සමාගමට තෙල් ටැංකි 99 පවරා ගන්නවා. එමගින් සිදු වෙන්නේ තෙල් ටැංකි භාවිතා කරන්න ඉන්දියානු සමාගමට අයිතියක් නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබියදී, අනීතික තත්ත්වයට නීත්‍යානුකූලභාවයක් ලබාදීමයි. ඒ වගේම අද ප්‍රවෘත්ති වර්තා කරලා තිබුණා උදය ගම්මන්පිල කියනවා කියලා තෙල් ටැංකි තවත් වසර 50කට ඉන්දියානු ඔයිල් සමාගමට ලබා දෙනවා කියලා. ආණ්ඩුව මේ රට පත් කරමින් තිබෙන්නේ මේ වගේ තැනකට. විකුණන්නේ නැහැ කිව්වට රට සංවර්ධනයට යොදා ගත හැකි සම්පත් සියල්ල ආණ්ඩුව පිටරට සමාගම්වලට විකුණමින් ඉන්නවා. 

කොළඹ වරාය කියන්නේ ඩොලර් උල්පතක්. එහෙම තියෙද්දී කොළඹ වරායේ ජැටි මගින් ආදායම් ලබා ගත හැකිව තිබෙන මෙහෙයුම් කටයුතු පිටරට සමාගම්වලට ලබාදීලා ඩොලර් අහිමි කර ගන්නවා. තෙල් ටැංකි සංකීර්ණයට කරන්න යන්නෙත් ඒ දේමයි. තෙල් ටැංකි සංවර්ධනය කරලා අපේ රටට ඩොලර් උපය ගන්න පුළුවන්. ඛනිජ තෙල් සංස්ථා සේවකයින් සහ වෘත්තීය සමිති පෙන්වා දෙනවා ත්‍රිකුණාමලය තෙල් ටැංකි භාවිතා කරලා ඒ අවට පළාත්වලට ඉන්ධන ලබා දීමෙන් තෙල් සංස්ථාවට වසරකට රුපියල් මිලියන 900ත් 1000ත් අතර ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකියි කියලා. ඒ ආදායමෙන් තෙල් සංස්ථාවේ පාඩුව අවම කර ගන්න පුළුවන්. ඒ සහනය ජනතාවට දෙන්න පුළුවන්. 

මේ වෙන කොට රටේ ගබඩා පහසුකම් නොමැති නිසා ඩීසල් ගබඩා කර ගත හැක්කේ දින 19කට පමණයි. පෙට්‍රල් ගබඩා කර ගත හැක්කේ සති දෙකකට පමණයි. භූමිතෙල් ගබඩා කරගත හැකි වන්නේ දින 10කට පමණයි. සුපර් ඩීසල් ගබඩා කර ගත හැකි වන්නේ දින 18කට පමණයි. ඒ නිසා අපිට විධිමත් ගබඩා පහසුකමක් අවශ්‍යයි. 

ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් පෙන්වා දෙන්නේ මාසයක තෙල් ගබඩා කර ගන්න තෙල් ටැංකි 20ක් අවශ්‍යයි කියලා. මාස 02ක් සඳහා ගබඩා කර ගැනීමට තෙල් ටැංකි 53ක් අවශ්‍යයි. තෙල් ටැංකි 86ක් මගින් මාස 03කට අවශ්‍ය තෙල් ගබඩා කර ගත හැකියි. එවිට ලෝක වෙළඳ පොළේ තෙල් මිල පහත යන කොට ගබඩා කර ගන්න පුළුවන්. ඒ වෙනුවට දැන් තෙල් ටැංකි සංකීර්ණයම විකුණන තැනට ඇවිත් තිබෙනවා. එදා මිලින්ද මොරගොඩ වෙනුවට අද යොදා ගෙන තිබෙන්නේ උදය ගම්මන්පිලයි. රනිල් වික්‍රමසිංහ වෙනුවට ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යොදා ගෙන තිබෙනවා. රනිල්ට වික්‍රමසිංහට හරියට කර ගන්න බැරි වුණ දේ රාජපක්ෂවරුන් මගින් කර ගන්න යනවා. 

අපි මේ රටේ ජනතාවට කියනවා මේ දෙගොල්ලම කරන්නේ රටේ ජාතික සම්පත් විකුණලා ලැබෙන කොමිස් මුදල්වලින් තමන්ගේ සාක්කු පුරව ගන්න එක බව. මේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජනතාවට විශාල කාර්යභාරයක් තිබෙනවා. ආණ්ඩුවට ජනතා අප්‍රසාදයට පත් වෙලා ජනතාවගෙන් ඈත්වෙමින් තිබෙන වෙලාවක පාර්ලිමේන්තුවේ 2/3කත් කැබිනට් මණ්ඩලයේ බලයත් පාවිච්චි කරලා ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලියට වේගයෙන් අවතීර්ණය වෙලා තිබෙනවා. 

සමහර දේවල් ඇමතිවරු දන්නෙත් නැහැ. අනාගතයේ ගොඩනගන ආණ්ඩුවකට රට සංවර්ධනය කරන්න මේ තෙල් ටැංකි, වරාය ජැටි, ඉඩම් ඇතුළු සම්පත් අත්‍යාවශ්‍යයි. ඒ නිසා මේ තෙල් ටැංකි විකිණීමට එරෙහිව වෘත්තීය සමිති කරන සටනට මබ්බිමට ආදරය කරන සියලු ජනතාව එකාවන්ව එකතු වෙන්න අවශ්‍යයි. අනාගතය වෙනුවෙන් රටේ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමට කරන සටන වෙනුවෙන් අපි පක්ෂයක් ලෙස සම්පූර්ණ සහය ලබාදෙනවා.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 6
බෙදාගන්න
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ආරක්ෂා කර ගැනීමට පෙරට එනු | Lanka Newsweek