තවත් සතියක් හෝ දෙකක් රට වසා දැමිය යුතුයි..!

(හේමන්ත තුසිත කුමාර) කොවිඩ් හේතුවෙන් දැනට ශ්‍රී ලංකාව දින 10 කට අගුළු දමා තිබුණත් වෛද්‍ය නිර්දේශවලට අනුව එය ප්‍රමාණවත් නොවන අතර තවත් සතියක් හෝ දෙකක් රට වසා දැමිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල්…
(හේමන්ත තුසිත කුමාර)
කොවිඩ් හේතුවෙන් දැනට ශ්‍රී ලංකාව දින 10 කට අගුළු දමා තිබුණත් වෛද්‍ය නිර්දේශවලට අනුව එය ප්‍රමාණවත් නොවන අතර තවත් සතියක් හෝ දෙකක් රට වසා දැමිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළේ රට තුළ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා(26) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් වන අතර එහිදී තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.
"කොවිඩ් වසංගතය රට පුරා අද වන විට සීග්‍රයෙන් පැතිරෙනවා. එන්නත් ලබා දෙන සංඛ්‍යාව වැඩිවෙනවා වගේම රෝගයට ගොදුරු වන ප්‍රමාණයත් වැඩි වෙලා තිබෙනවා . අගෝස්තු මාසය 7 වනවිට 5,000 ක සංඛ්‍යාවක පැවැති කොවිඩ් මරණ, අද වනවිට 8,000ට ආසන්න වී තිබෙන බව දැකගත හැකියි. එහෙනම් දවස් 20කින් කොවිඩ් මරණ සංඛ්‍යාව 3,000 කින් වැඩි වෙලා තියෙනවා. කොවිඩ් තහවුරු වුන අයගේ සංඛ්‍යාවත් දැන් 50000ක් වෙලා.
දැන්වීම
ප්‍රමාද වී වාර්තා වුණු ආසාදිතයන් 4000ක් පමණ පිරිසක් පසුගියදා සංඛ්‍යා ලේඛනවලට එකවරම එකතු කළා.සංඛ්‍යා ලේඛණ පිලිබඳවත් ගැටළු තිබෙනවා. කොවිඩ් ආසාදනයවීම සීග්‍රයෙන් පැතිරයෑම නවතා ගත යුතුයි. අලුත් රෝගීන් ඇතිවීම නවත්වා ගැනීමට දැනට තිබෙන එකම මාර්ගය රට අගුළුදැමීම නොහොත් ලොක්ඩවුන් කිරීමයි.
රජය මේ වනවිට දින 10ට රට වසා දමා තිබෙනවා. වෛද්‍ය උපදෙස් අනුව එය ප්‍රමාණවත් නෑ. අපේ සැබෑ පරමාර්ථය ඉටු කරගන්න නම් තව සතියක් දෙකක් රට වසා දැමීමකට යා යුතුයි. ඒ නිසා මේ අවස්ථාවේදී මෙම කාරණය ගැන වගකිවයුතු පාර්ශ්වයන් යළියළිත් සිතිය යුතුයැයි මම අවධාරණය කරනවා,"
"රජය දින 10ට රට වසා දැමීමට ගත් තීරණයට අපේ සම්පූර්ණ සහාය හිමිවෙනවා. මෙතනදී තවත් පැත්තකින් ආර්ථික හානිය ගැනත් සිතාබැලිය යුතුයි. එතනදී ලොක්ඩවුන් එකකදී වන ආර්ථික හානියට වඩා ලොක්ඩවුන් එකක් නොමැති තත්ත්වයේ දී රටට වන ආර්ථික හානිය වැඩි බව පැහැදිලියි,"
"එම නිසා මේ ආර්ථික ගැටලුව විසඳාගන්න අපට තිබෙන එකම පිළියම ජාත්‍යන්තර මූල්‍ය අරමුල හෙවත් IMF සමඟ සාකච්ඡා කිරීමයි. ආර්ථික සහාය එතනින් අපට ලබාගත හැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොවිඩ් අර්බුදයෙන් ඉදිරියට එන්න ඩොලර් කෝටි 72 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතයි.
එම නිසා ජනාධිපති, අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයට මම යෝජනා කරන්නේ වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාකරමින් තව සතියක් හෝ දෙකක් රට වසා දමන ලෙසයි,"