තරුණ ඔබේ ශක්තිය සහ දැක්ම මා හට අපගේ රට ගැන සුපහන් බලාපොරොත්තු ඇති කරවයි

විපක්ෂ නායක රටේ තරුණ තරුණියන් ආමන්ත්‍රණය කරයි තරුණ පරපුර සවි බල ගන්වන්නේ මෙහෙමයි..! තුරුණු වියට පා තබන ඔබට ගෞරවයෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරන ගමනේදී, ඔබට මඟ පෙන්වනවා සේම, ඔබේ පරම්පරාවේ නූතන…
විපක්ෂ නායක රටේ තරුණ තරුණියන් ආමන්ත්‍රණය කරයි
තරුණ පරපුර සවි බල ගන්වන්නේ මෙහෙමයි..!
තුරුණු වියට පා තබන ඔබට ගෞරවයෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරන ගමනේදී, ඔබට මඟ පෙන්වනවා සේම, ඔබේ පරම්පරාවේ නූතන දැක්මටද සාවධානව සවන් දීම මගේ ක්‍රමයයි.
අප විසින් නිර්මාණය කරන්නට බලාපොරොත්තු වන නව ශ්‍රී ලංකාවේ බලය සහ ජවය වන්නේ යොවුන් ඔබ ය. නිදහස් පාසල් අධ්‍යාපනය මගින් කුඩා කල සිටම ඔබව සුහුරු සිසුවෙකු (SMART Student) බවට පරිවර්තනය කරන ගමන මා විසින් විපක්ෂයේ සිටම ඇරඹුවේ එබැවිනි. එම වැඩ පිළිවෙළ "සක්වල සුහුරු පන්ති කාමර" (SMART Class Room) ව්‍යාපෘතියයි.
පාසල් අධ්‍යාපනය වනාහි බිත්ති හතරකට කොටුවී ලබන ගිරා පෝතකත්වයක් විය යුතු නැත. පාසලෙන් පිටතට චාරිකා කළ යුතුය. විෂය පරිබාහිර අත්දැකීම් ලද යුතුය. ගීත ගැයිය යුතුය, නර්තනයේ යෙදිය යුතුය, ක්‍රීඩා කළ යුතුය. අන් පාසල් සමග තරග කළ යුතුය. ඒ සියල්ල අවසානයේ මිතුදමින් වෙලිය යුතුය. මා, විෂය පරිබාහිර අත්දැකීම් සමගින් ලැබූ පාසල් අධ්‍යාපනය සේම අධ්‍යාපනයක් ලැබීමට ඔබට ද අයිතියක් ඇත. එබැවින් "සක්වල බස් රථ" ව්‍යාපෘතිය ඇරඹුවෙමි.
දැන්වීම
ඉන්පසුව පාසල් අධ්‍යාපනය නිමවා උසස් අධ්‍යාපනය කරා පිය නගන ඔබට, මේ අපහසු ආර්ථික පරිසරය යටතේ සවියක් වීමට අවශ්‍ය පොලී රහිත ණය පහසුකම ගැන නොනවත්වා හඬ නගන්නෙමි. ආණ්ඩුවට මෙතෙක් ඒ සඳහා විසඳුමක් ඇතැයි නොපෙනේ. එහෙත් ඒ වෙනුවෙන් ඔබව මහ මගට බස්වා, ඔබව රාජ්‍ය ත්‍රස්තවාදයෙන් තලා පෙළන්නට ඉඩ දී එමගින් දේශපාලන වාසි ලබා ගන්නවා වෙනුවට,
ඔබට ඔබේ අධ්‍යයන කාර්යයේ නියැලෙන්නට අවශ්‍ය සාමකාමී පරිසරය නිර්මාණය කරමින්, විපක්ෂයේ සිට ආණ්ඩුවට අභියෝග කිරීමේ කාර්යභාරයට මම උර දෙමි. කිසි දිනෙක යොවුන් මළ කඳන් මතින් දේශපාලනය නොකරමි.
සරසවි විද්‍යාර්ථයෙකුට නිදහසේ අධ්‍යාපනය අවසන් කොට, ගෝලීය දැනුමෙන් සන්නද්ධව නව ලොව කරා පිය නැගිය හැකි පරිසරය නිර්මාණය කිරීම මගේ අරමුණයි. එබැවින් යෞවන යෞවනියනි, ඔබේ ශක්තිය සහ දැක්ම, මා හට අපගේ රට ගැන සුපහන් බලාපොරොත්තු ඇති කරවන්නකි. ඔබට ජය වේවා..!