අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

තනතුරු වලින් ඉවත්ව ආණ්ඩුවට එරෙහි සටනට එක්වන්න

තනතුරු වලින් ඉවත්ව ආණ්ඩුවට එරෙහි සටනට එක්වන්න

(හේමන්ත තුසිත කුමාර) ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරයා දක්වාත්, අගමැතිවරයාගේ සිට මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දක්වාත් සහමුලින් ම අසමත් බව පෙර පාසල් දරුවා පවා දන්නා කාරණයක් යැයි විපක්ෂ නායක සජිත්…

(හේමන්ත තුසිත කුමාර)

ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරයා දක්වාත්, අගමැතිවරයාගේ සිට මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දක්වාත් සහමුලින් ම අසමත් බව පෙර පාසල් දරුවා පවා දන්නා කාරණයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ සඳුදා(18) තිස්සමහාරාම ආසනයේ හම්බන්තොට කොට්ඨාශ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් වන අතර එහිදී තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

ආණ්ඩුවේම සිටින ඇතැම් ඇමැතිවරු ආණ්ඩුව විවේචනය කිරීමට පටන්ගෙන තිබෙනවා. මම ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී එළියට පැමිණ ආණ්ඩුවට එරෙහි සටන ආරම්භ කරන ලෙසයි.

දැන්වීම

මේ ආණ්ඩුව පැමිණි දා සිටම ජනතාව කළේ කැපකිරීම්. ඒ වෙනුවට ආණ්ඩුව ජනතාවට දුන් ත්‍යාග වූයේ හතළිස් වසරකට පසු පෝලිම්  යුගයක් බිහි කොට ජනතාව පෝලිමේ තැබීමයි.ජනතාව අප්‍රමාණ දුක් වේදනා උහුලමින් කෙළවරක් නැති කැපකිරීම් කරන අතරේ ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලන ඉල්ලන සියල්ල ලබාදීමට ජනතාව කටයුතු කළා. 

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට, ඉන් අනතුරුව  මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඊටත් පසු විසි වැනි සංශෝධනයෙන් බලය වැඩි කර ගැනීමට ජනතාව ආණ්ඩුවට ඉඩකඩ ලබා දුන් දුන්නා. ඒ සියල්ලට අද ආණ්ඩුව ජනතාවට සලකන ආකාරය දෛවයේ සරදමක් බවට පත් වෙලා.

බඩු මිල වැඩි කිරීමෙන් ආණ්ඩුව ගිනස් වාර්තාවක් තියලා. රටේ දේශීය සම්පත් විකිණීමෙන් ද ආණ්ඩුව වාර්තා පිට වාර්තා තියලා.

අද වන විට ලංකාව බලවත් රටවල පොර පිටියක් බවට පත් වෙලා. ආණ්ඩුව එක රටකට බටහිරත්, තව රටකට නැගෙනහිරත්, තවත් රටකට උතුරත් ,තවත් රටකට දකුණත් තරඟයට මෙන් අලෙවි කරමින් ඉන්නවා.
මේ ආණ්ඩුව බිහිවූ දා සිට විපක්ෂය හැටියට තමන් කළ කී සියල්ල සත්‍යය වෙලා. මම කී දෙය ආණ්ඩුව මඳක් හෝ කණකට ගත්තා නම් කොරෝනාවෙන් ජීවිත දහස් ගණනක් බේරා ගැනීමට තිබුණා . නමුත් ආණ්ඩුව ඒ වෙනුවට කළේ මිත්‍යාව පිටුපස දිවයාමයි.

අත්‍යවශ්‍ය එන්නත් සහ බෙහෙත් ඖෂධ පිළිබඳව මා ඉතා සද්භාවයෙන් ආණ්ඩුව දැනුවත් කරන විට ආණ්ඩුව ඊට උසුළු විසුළු කළා. කොරෝනාව ගරානාවක්  කරගත්තේ ආණ්ඩුවයි. රටේ ජන ජීවිත බේරාගැනීම වෙනුවෙන් මා කී දෙය ඇතැමුන්ට දරාගන්නට නොහැකි වුණා .

ගුරු විදුහල්පති වර්ජනය දෙස වෛරයෙන් බලන ආණ්ඩුව, අනතුරට දමා ඇත්තේ මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයයි. ආණ්ඩුවම ගෙන ආ සුබෝධනී වැටුප් කොමිසමට පයින් ගසන තත්වයට ආණ්ඩුව පත් වෙලා.
රටේ හතළිස් ලක්ෂයකට වැඩි දරුවන්ගේ අනාගතය සහ වර්තමානය සමග ආණ්ඩුව සෙල්ලම් කරමින් ඉන්නවා. එය කිසිසේත්ම මේ රටේ ගුරු පරම්පරාවේ වරදක් නොවෙයි.

කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ ගන්නට කිසිදු සැලැස්මක් නැති ආණ්ඩුව මහ බැංකුව මුදල් අච්චු ගහන මධ්‍යස්ථානයක් බවට පත් කරලා. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ අධි උද්ධමනයකින් රට විනාශයෙන් විනාශයට පත්වීමයි.

ආණ්ඩුව මේ වන විට සිදු කරමින් සිටින්නේ ප්‍රතිවාදීන්ගෙන් පලිගැනීමයි. විශේෂයෙන්ම විපක්ෂය නියෝජනය කරන නායකයින් දේශපාලන වශයෙන් දඩයම් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. එවැනි මර්දනයකට සමගි ජන බලවේගය හෝ විපක්ෂය කිසිලෙසකින්වත් ඉඩ තබන්නේ නැහැ. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න