අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

‘‘ඩොනල්ඩ් ට‍්‍රම්ප් කුරුස යුද්ධයට අතවනයි. ’’

ඊශ‍්‍රායලයේ නව අග නගරය ලෙස ජෙරුසලම පිළි ගෙන ඇමරිකා එක්සත් ජනපද කාර්යාලය ජෙරුසලමට ගෙන ඒමට තීරණය කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා කුරුස යුද්ධයකට අත වනමින් සිටින්නේ යැයි මහා නගර සහා…

 ඊශ‍්‍රායලයේ නව අග නගරය ලෙස ජෙරුසලම පිළි ගෙන   ඇමරිකා එක්සත් ජනපද කාර්යාලය ජෙරුසලමට ගෙන ඒමට තීරණය කරමින් ඇමරිකානු ජනාධිපති   ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා කුරුස යුද්ධයකට අත වනමින් සිටින්නේ යැයි මහා නගර සහා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා   දෙස් විදෙස්  දේශපාලන සහා සමාජීය කාරණා විශ්ලේෂණය කරමින් සිය "ෆේස්බුක්" පිටුවේ විශේෂ සඳහනක් කර ඇත.
පාඨලී චම්පික රණවක මහතා තබා අති එම සටහනේ මෙසේ ද සඳහන්වේ. 
 ‘ඩොනල්ඩ් ට‍්‍රම්ප් කුරුස යුද්ධයට අත වනන බව පේනවා. විශේෂයෙන්ම ඊශ‍්‍රායලයේ නව අග නගරය ලෙස ජෙරුසලම පිළිගැනීමටත්, ඇමරිකා එක්සත් ජනපද කාර්යාලය ජෙරුසලමට ගෙන ඒමටත් ඩොනල්ඩ් ට‍්‍රම්ප් තීරණය කර තිබෙනවා. ඔහු පසුගිය මැතිවරණයේදී කි‍්‍රස්තියානි මූලධර්මවාදීන්ට ඇමරිකා එක්සත් ජනපදයේ ලබාදුන් ඡන්ද පොරොන්දුවක් තමයි ජෙරුසලම ඊශ‍්‍රායලයේ අග නගරය බවට පිළිගන්නා බව.
කි‍්‍රස්තියානි මූලධර්මවාදීන් මේ මතයට පැමිණියේ ජෙරුසලම කුරුස යුද්ධයේ සිට කි‍්‍රස්තියානීන් සතුව තිබිය යුතුයි, එසේත් නැත්නම් දෙවියන් වහන්සේගේ තෝරා ගත් ජනතාව ලෙස යුදෙව් ජනතාව අතේ තිබිය යුතුයි යන විශ්වාසය. විශේෂයෙන්ම ඔවුන් විසින් වෛර කරන පලස්තීන මුස්ලිම්වරුන් යටතේ ජෙරුසලම පැවතීම කිසිම අවස්ථාවක මේ එවැන්ජිකල මූලධර්මවාදීන්ට ඉවසීමට හැකියාවක් නැහැ. ඒ නිසා ඔවුන් විවිධ අවස්ථාවල සෙනෙට් මන්ත‍්‍රී සභාවට යෝජනා ගෙන එමින්, ජනාධිපතිවරුන්ට බලපෑම් කරමින් කර ගෙන ආ ක‍්‍රියාවලිය කිසියම් ආකාරයකට සාර්ථක කර ගැනීමට මේ මගින් හැකියාව ලැබෙනවා.
ඩොනල්ඩ් ට‍්‍රම්ප් කියන දේ කරන ජනාධිපතිවරයෙක් බව කි‍්‍රස්තියානි එවැන්ජිකල මූලධර්මවාදීන් දැනටමත් ප‍්‍රකාශ කොට තිබෙනවා. නමුත් මෙයට බරපතල විරෝධතාවයක් කි‍්‍රස්තියානි ක්‍ෂෙත‍්‍රයකින්ම එල්ල වී තිබෙනවා. ඒ කතෝලික ජනතාවගේ ප‍්‍රධානියා වූ පාප් වහන්සේගේන්. උන් වහන්සේ දන්නවා මේ එවැන්ජිකල්වාදීන් කොතරම් මේ ජෙරුසලම කි‍්‍රස්තියානිකරණය කිරීමට යුදෙව්වා සමග එකතු වී කටයුතු කිරීමට කි‍්‍රයා කළත් මේ මගින් ලෝක සාමයට තර්ජනයක් එල්ල විය හැකි බවත්, විශේෂයෙන්ම කතෝලික ප‍්‍රජාවන් විශාල පිරිසක් ජීවත්වන මධ්‍ය ආසියාවේ රටවල්වල ඒ ප‍්‍රජාවගේ ආරක්‍ෂාවට මෙමගින් තර්ජනයක් එල්ල විය හැකි බවත්. ඒ වගේම එවැන්ජිකල්වාදීන් අතට, හා යුදෙව්වන් අතට මේ ජෙරුසලමේ පාලනය ගියහොත් කතෝලිකයනුත් එහි බරපතල ආකාරයේ වින්දිතයන් පිරිසක් බවට පත්වන බව පාප් වහන්සේගේ මතය විය යුතුයි.
ඒ වගේම මේ සම්බන්ධයෙන් දැනටමත් කුලප්පු වී, ඇවිලවී ඇවිත් තිබෙන්නේ එක පැත්තකින් ඉස්ලාමීය අන්තවාදීන් මෙන්ම මධ්‍යස්ථ ඉස්ලාමීය රටවලූත් මෙයට විරෝධය පළකර තිබෙනවා. විශේෂයෙන්ම මේ මගින් ඩොනල්ඞ් ට‍්‍රම්ප් සමග සහවාසයකට යමින් සිටි සෞදි ආරබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් ඊශ‍්‍රායලය සමග සමවාසයකට යමින් ඉරානය සමග සටන් වැදීම සඳහා නව අරාබි ලීගයක් බිහි කරමින් සිටි ඊජිප්තුව, සෞදි අරාබිය වැනි රටවලූත් මේ මගින් විශාල අර්බුදයකට ගමන් කරමින් තිබෙනවා. ඒ වගේම ඉන්දුනීසියාව, මැලේසියාව, පකිස්ථානය සිට සෞදි අරාබිය, ලිබියාව දක්වා පවතින අන්තවාදී මුස්ලිම් මූලධර්මවාදී කණ්ඩායම්වලට මෙමගින් නව සටන් පාඨයක් ඇති වී තිබෙනවා. ඒ මගින් ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව වහාම ජිහාඞ් යුද්ධය ප‍්‍රකාශ කළ යුතුයි ඇමරිකානු පොළවේ සිදු කරන ඝාතන සාධාරණීය කරණය කිරීමට ඔවුන්ට මේ අවස්ථාවක් ඇතිවී තිබෙනවා.
අරාබි ලෝකයේ සහ මුස්ලිම් ලෝකයේ ඇතැම් රටවල්වල ජනතාව ඇමරිකාවේ සංචාරය කිරීම තහනම් කරමින් ඩොනල්ඞ් ට‍්‍රම්ප් කරපු නියෝගය එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කිරීමෙන් ඇතිවූ හිත් වේදනාවන්වලට මෙමගින් නව බලයක් එකතු වී තිබෙනවා. මේ නිසා එක්සත් ජනපදයට එරෙහිව යුධ වැදීමට, එක්සත් ජනපදය ඉලක්කවලට පහරදීමට තවදුරටත් මේ අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම්වලට අලූත් බලගතු අවියක් මෙමගින් සැපයෙන බවට කිසිම සැකයක් නැහැ. ඒ වගේම ඉරාණය කොටු කිරීම සඳහා ගමන් කරමින් සිටි සෞදි ආරාබිය වැනි රටවලට යේමනයේත්, ඒ වගේම වෙනත් රටවලත් බරපතල ෂියා මුස්ලිම්වරුන්ගේ ප‍්‍රහාරයකට ලක්වීමට මෙමගින් තවත් ඉඩකඩ විවර වී තිබෙනවා. 
ජෙරුසලම කුමක්ද? ජෙරුසලම යේසුස් කි‍්‍රස්තුස් වහන්සේගේ නිජබිමයි. එය ශුද්ධත්වයෙන් යුතුව කි‍්‍රස්තියානීන් විසින් සමරනවා. නමුත් විශේෂයෙන්ම රෝමයේ පහළ වූ කොන්ස්තන්තීනු අධිරාජ්‍යයාගේ කාලයේ, ඒ කියන්නේ කි‍්‍ර.ව. 400 පමණ, කි‍්‍රස්තුස් වහන්සේගේ උපතින් අවුරුදු 400 කට පමණ පසුව තමා කි‍්‍රස්තියානි ආගම රෝමයේ රාජ්‍ය ආගම බවට පත් වුණේ. ජෙරුසලම ඒ රෝම අධිරාජ්‍යයේ නොසෙල්වන ආගමික මධ්‍යස්ථානයේ ශුද්ධ නගරය බවට පරිවර්ථනය වුණේ. ඒ පරිවර්ථනය වුනේ සාමකාමීව නම් නෙමෙයි. ලෙයින් හා කඩුවෙන් තමයි ඒ කටයුතු සිදු වුණේ. විශේෂයෙන්ම අනෙකුත් ආගම් සියල්ලම තහනම් කිරීම තම මව්තුමියට අනුව යමින් කොන්තන්තීනු අධිරාජ්‍යයා කි‍්‍රයා කළා. ඔහුගේ මව්තුමිය තමයි මුලින්ම කි‍්‍රස්තියානු දහම වැළඳගෙන ඒ අනුව කි‍්‍රස්තියානි දහම ව්‍යාප්ත කිරීම සඳහා කඩුව යොදා ගත්තේ. 
කෙසේ වෙතත් පසුකාලීනව මහම්මද්තුමාගේ බිහිවීමත්, ඒ වගේම මුස්ලිම් අධිරාජ්‍යයන් බිහිවීමත් නිසා කි‍්‍ර.ව. 900 ය 1000 පමණ වන විට ජෙරුසලම සම්බන්ධයෙන් බරපතල ප‍්‍රශ්නයක් පැන නැගුනා. මොකද මුස්ලිම් අධිරාජ්‍යය පැතිරී ගියෙත් මේ කලාපයේ නිසා. ඒ නිසා තමයි චිරප‍්‍රසිද්ධ කුරුස යුද්ධ ආරම්භ උනේ. ඒ ජෙරුසලම මුස්ලිම්වරුන්ගෙන් මුදා ගැනීම සඳහා සඳහා. ඒකාබද්ධ ප‍්‍රංශ, එංගලන්ත ඇතුළු යුරෝපීය කි‍්‍රස්තියානි හමුදාවන් කිහිප අවස්ථාවක්ම ජෙරුසලම මුදා ගැනීම සඳහා වසර සිය ගණනක දීර්ඝ යුද්ධයක නියැලූණා. අවසානයේ මේ දීර්ඝ යුද්ධය ජයගත්තේ සලාඞීන් නමැති මුස්ලිම් නායකයා විසින්. සිරියාවේ බිහි වූ සලාඞීන් මේ යුද්ධය ජය ගැනීමට සමත් උනා. ඔහු කුර්දි ජාතිකයෙකු බව කියැවෙනවා. කෙසේ වෙතත් සලාඞීන් පාවිච්චි කළ ඩමස්කස් කඩු ලංකාවේන් ඔහු ලබාගත් බවයි කියැවෙන්නේ. ඒ කඩුවේ අනුහසින් ඔහු යුරෝපීය අධිරාජ්‍යයන් ගණනාවක් දනගස්වනු ලැබුවා. කෙසේ වෙතත් ජෙරුසලම නැවත අත්පත් කර ගැනීමේ සිහිනය හැමදාම කි‍්‍රස්තියානි රටවල යටි අරමුණක් උනා. විශේෂයෙන්ම ඔටෝමාන් අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පස්සේ පළවෙනි ලෝක සංග‍්‍රාමයෙන්. ඊශ‍්‍රායලය බිහි කිරීම සඳහා බි‍්‍රතාන්‍යය මුල් වෙද්දී මේ ජෙරුසලමත් ඊශ‍්‍රායලයේ කොටසක් කිරීමට ඔවුන් අමතක කළේ නැහැ.කෙසේ වෙතත් පලස්තීනයේ කොටසක් හැටියට ජෙරුසලම කාටත් අයිති, එක පැත්තකින් ඉස්ලාම්වරුන්ගේ ප‍්‍රධාන ආගමික මධ්‍යස්ථානයකුත් එහි පිහිටුවා තිබෙනවා. අනෙක් පැත්තෙන් කි‍්‍රස්තියානීන්ගේ ශුද්ධ නගරයක් හැටියටත් එය තිබෙනවා. යුදෙව්වන් තමන්ගේ ශුද්ධ නගරයක් හැටියටත් එය සලකනවා. මේ නිසා අරාබිකරයෙන් බිහි වූ ප‍්‍රධාන ආගම් තුනේම මූලස්ථානයක් හැටියට මෙය පවත්වාගැනීමයි බොහෝ විට අරමුණු උනේ. 
දැන් ඒ අරමුණුවලින් බැහැරව නැවත වතාවක් ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජෙරුසලම යුදෙව්වන්ට හා කි‍්‍රස්තියානීන්ට අයිති ප‍්‍රදේශයක් බවට නීත්‍යානුකූලව පිළිගැනීමට කටයුතු යොදනවා. 1967 කෙටි යුද්ධයේදී මොෂේ දයාන් ජෙරුසලමේ කොටසක් අල්ලා ගත්තා. නමුත් පසුව ඇති වූ එකඟතා අනුව මේ ජෙරුසලම කාගෙත් ශුද්ධ නගරයක් හැටියට පිළිගෙන සාමදානයෙන් පවතින්නත්, ටෙල්ඇවිව් නගරය ඊශ‍්‍රායලයේ අගනගරය ලෙස පිළිගැනීමටත් යෙදුණා. නමුත් දැන් ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ මේ  අලූත් පියවරත් සමගම අන්තවාදී යුදෙව් සියෝන් වාදීන්ටත්, කි‍්‍රස්තියානි එවැන්ජිකල්වාදීන්ටත් නැවත යම් දේශපාලන ජයග‍්‍රහණයක් ලැබී තිබෙනවා. 
මුස්ලිම් අන්තවාදීන්ගේ ප‍්‍රතිචාරය කවරක්ද? මුස්ලිම්වරු කවරාකාරයකට කි‍්‍රයා කරයිද? ඇමරිකා එක්සත් ජනපදයේ සහාය ලබාගැනීමට ගිය අරාබි ලීගයට, සෞදියට, ඊජිප්තුවට වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවලට මෙයින් කුමක් සිදුවේ? ඒ වගේම අරාබි ලීගයට හා ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව වක‍්‍ර යුද්ධයක් දියත් කර තිබෙන ඉරාණය හා සම්බන්ධ වූ ෂියා මුස්ලිම්වරුන්ගේ කවර ආකාරයකට මෙය තීරණය වේද?. පසුගියදා යේමනයේ,  ඉරාණයේ හා හිස්බුල්ලාවරුන්ගේ සහාය ලැබුණු හූතිවරුන් ලබාගත් යුධ ජයග‍්‍රහණත් සමග බලනවිට මෙය කිසියම් ආකාරයකට මේ සියළු දෙනා ශක්තිමත් කරන ක‍්‍රියාදාමයක් වේද? මධ්‍යස්ථ රටවල් වූ ඉන්දුනීසියාව, මැලේසියාව වැනි රටවල් මේ දෙසට කවරාකාරයේ බැල්මක් දරයි ද? විශේෂයෙනම් කි‍්‍රස්තියානි හෝ මුස්ලිම් හෝ යුදෙව් හෝ අන්තවාදීන්ට යටත් නොවූ බලවත් රටවල් මේ සම්බන්ධයෙන් කවරාකාරයෙන්, විශේෂයෙන් යුරෝපය මේ සම්බන්ධයෙන් කවරාකාරයට බලයිද?. 
කෙසේ වෙතත් ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිය ජනප‍්‍රියතාවය  රටතුල පවත්වාගැනීම සඳහා මේ පියවර ගත්තා විය හැකියි.නමුත් ඔහුට එක පැත්තකින් පැසිපික් සාගරයේ උතුරු කොරියාව එල්ලකොට තිබෙන අභියෝගයත්, අනෙක් පැත්තෙන් ඉරාණය ඇතුළු ෂියා මුස්ලිම්වරු එල්ලකොට තිබෙන අභියෝගයත්, ඒ වගේම ගෝලීය වශයෙන් ඔහු ක‍්‍රමක‍්‍රමයෙන් යුරෝපය සහ අනෙකුත් බටහිර රටවලින් කොන්වී යන තත්වයත් කියන මේ සියල්ල සලකා බලන විට මේ කුරුස යුද්ධය ඔහුට තම රටතුළ ජනප‍්‍රියත්වය පවත්වාගෙන යාමට ආගම්වාදී ආකාරයේ යම් ආවරණයක් ලබා දුන්නත් ලෝකය හමුවේ ඔහු නිරාවරණය වෙමින් වැඩි වැඩියෙන් එක්සත් ජනපද විරෝධින්ට බලකඳවුරු ගොඩනැගීම මෙමගින් සිදුවන බව තමයි මධ්‍යස්ථවාදීන්ගේ මතය. 
සලාඞීන් වැනි පුද්ගලයෙකු බිහි වී කුරුස යුද්ධය මුස්ලිම්වරුන්ට පක්ෂ පැත්තට විසඳයිද? නොමැති නම් එංගලන්තයේ මහා රිචඞ් ජෙරුසලම මුදාගත්තා මෙන්, ජෙරුසලම මුදාගෙන තමන්ගේ අණසක යටතට ගැනීමට ඩොනල්ඞ් ට‍්‍රම්ප් සමත් වේද? නොමැති නම් මේ සියළු අන්තවාදීන් පිළිකුල් කිරීමට මධ්‍යස්ථවාදීන්ට මේ ජෙරුසලම් ප‍්‍රශ්නය විසඳුමක් බවට අනාගතයේ පත්වෙයිද? මේ පිළිබඳ තීරණය ඉදිරි කාලයේදී සිදුවේ. කෙසේ වෙතත් කවර මතවාද දැරුවත්, මොන ලිබරල් ලෞකිකවාදී මත දැරුවත් බොහෝ භෞතිකවාදී රාජ්‍යයන් තමන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍ර තුළ ආගමික අන්තවාදය පවත්වාගෙන යන බවට මෙයත් තවත් එක් සාධකයක් පමණයි.  
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 6
බෙදාගන්න
‘‘ඩොනල්ඩ් ට‍්‍රම්ප් කුරුස යුද්ධයට අතවනයි. ’’ | Lanka Newsweek