අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඩෙරින්කූයූ නම් භූගත නගරය

ඩෙරින්කූයූ නම් භූගත නගරය

නගරයක් කිව්වම අපේ සිතේ ඇඳෙන්නේ අහස් කුස සිඹින තට්ටු ගොඩනැඟිලි, නිවාස, කාර්යබහුල මහාමාර්ග, නොනිදා එළි විහිදුවන විදුලි පහන් වැටින් සැදුම්ලත් සිතුවමක්. ලෝකය පුරා තිබෙන මෙවන් සුවහසක් නගර අතර වෙනස්ම…

නගරයක් කිව්වම අපේ සිතේ ඇඳෙන්නේ අහස් කුස සිඹින තට්ටු ගොඩනැඟිලි, නිවාස, කාර්යබහුල මහාමාර්ග, නොනිදා එළි විහිදුවන විදුලි පහන් වැටින් සැදුම්ලත් සිතුවමක්. ලෝකය පුරා තිබෙන මෙවන් සුවහසක් නගර අතර වෙනස්ම ආකාරයට ඉදිවුණු නගරත් නැතුවාම නොවේ. මීට වසර මිලියන ගණනාවකට පෙර නිර්මාණය වුණු මේ පෘථිවිය විවිධ කාල වකවානු තුළ ජීවත් වූ පුද්ගලයන් බොහොමයි. එවන් කාලවකවානු තුළ ජීවත් වුණ විශිෂ්ට ශිෂ්ටාචාරවලට අයත් නගර, දේවාල ආදී නොයෙක් මිනිස් නිර්මාණ කැණීම් තුළින් මතුව වර්තමාන ලෝකයා මවිතයට පත් කරන අවස්ථා බොහොමයි.


පීඩාකාරී අවස්ථාවලදී පොළොව අභ්‍යන්තරයෙන් සකසන ලද උමං ආධාරයෙන් ආරක්ෂිත ස්ථාන කරා පලා ගියත්, සුළු කාලසීමාවක් සැඟව සිටියත් පොළොව මතුපිට ජීවත්වීමේ හැකියාව තිබියදී මිනිසුන් පොළොව අභ්‍යන්තරයේ ජීවත් වීම කෙතරම් පුදුම සහගතද? ඉතින් අද අපි මේ කියන්න යන්නේ “මායා බන්ධන” “ලෝඩ් ඔෆ් ද රින්ග්” රූපවාහිනි කතා මාලාවන් සිහි ගන්වන තට්ටු ගණන් අහස උසට ගොඩනැඟිලි සාදා තිබෙන නගර අතර දකින්න ලැබෙන විස්මිත අබිරහස් භූගත නගරයක් ගැන.


තුර්කියේ නිව්සෙහීර් (Nevsehir) පළාතේ කැපඩෝෂියා (Cappadocia) නගරයට අයත්, ඩෙරින්කූයූ, (Derinkuyu) කියන ප්‍රදේශයේ තමයි මේ භූගත නගරය පිහිටා තිබෙන්නේ. තුර්කියට අයත් මේ කැපඩෝසියා ප්‍රදේශය භූගත ජනාවාස  සඳහාම ප්‍රසිද්ධ වුණ ඓතිහාසික කලාපයක් වුණත් ලෝකයේ බොහෝ වටිනා දේවල සොයා ගැනීම වගේම මේ සොයා ගැනීමත් අහම්බයක්. 1963 දී තුර්කි ජාතිකයකු තමන්ගේ නිවෙස ප්‍රතිසංස්කරණය කරමින් සිටියදී හදිසියේම එහි බිත්තියක් කඩා වැටී එම ස්ථානය සුළු ගිලා බැසීමකට ලක්වීමෙන් පසු ගලින් නිර්මාණය කළ කොරිඩෝවක් හමුවී තිබෙනවා.

දැන්වීම

ඩෙරින්කූයූ නම් භූගත නගරය


කිසිවකුත් අපේක්ෂා නොකළ අන්දමින් එම කොරිඩෝව වැටී තිබුණේ වසර දහස් ගණනක් පැරණි ඩෙරින්කූයූ නම් ඉපැරැණි භූගත නගරය වෙතටයි. එසේ සොයා ගැනෙන්නේ ඩෙරින්කූයූ වෙත දිවෙන පෞද්ගලික නිවාස තුළ ඇති 600ට අධික පිවිසුම් අතරින් එක් පිවිසුමක් බවට පරීක්ෂණ මඟින් අනාවරණය කර ගැනෙනවා. එම සිදුවීමෙන් පසු වහාම ආරම්භ වුණු වැඩිදුර කැණීම් මඟින් එතෙක් සොයාගත් විශාලම භූගත නගරය සහ තවත් භූගත රහස් නගර ගණනාවක් පිළිබඳව තොරතුරු හෙළිකර ගැනීමට පර්යේෂකයන් සමත් වෙනවා. 2014 වසරේදී නිව්සෙහීර් කලාපයට යටින් ඩෙරින්කූයූ නගරයටත් වඩා විශාල භූගත නගරයක් සොයා ගන්නාතුරුම විශාලම භූගත නගරයට හිමි ඒ ගෞරවය රඳා පවතින්නේ මෙම ඩෙරින්කූයූ නගරය සතුවයි.


සත්‍ය වශයෙන්ම ඩෙරින්කූයූ භූගත නගරය මීටර් 85ක් නැතහොත් අඩි 279ක් තරම් පොළොව අභ්‍යන්තරයට විහිදුණු තවත් විශාල වපසරියක පැතිර පවතින මහල් 13න් සමන්විත සුවිසල් නගරයක්. ඇතැම් වාර්තාවලට අනුව මෙහි මහල් 18ක් තිබෙන බවටත් මහල් 5ක් තිබෙන බවටත් එකිනෙකට පරස්පර මත ඉදිරිපත්ව තිබෙනවා. නමුත් දැනට හමුවී ඇති මහල්වලට අමතරව මෙහි තවමත් කැණීම් නොකළ තට්ටු 3ක් වත් ඇති බවට පුරාවිද්‍යාඥයන් තුළ දැඩි විශ්වාසයක් පවතිනවා. කෙසේ වෙතත් එකල මෙහි මිනිසුන් 20,000ක් පමණ ජීවත්ව ඇති බවට පර්යේෂකයන් විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තා හේතුවෙන් මෙම නගරය මහල් 5ට වැඩි සංඛ්‍යාවකින් සමන්විතව තිබෙන්නට ඇති බව නම් පැහැදිලියි.

ඩෙරින්කූයූ නම් භූගත නගරය


ඒ වගේම මේ ජනාවාස බොහොම නිර්මාණශීලී ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා. ඉන්ජිනේරු තාක්ෂණය පිළිබඳව අල්ප මාත්‍රයක දැනුමක් නොමැති පුද්ගලයකුට වුවත් මෙම ජනාවාසය දුටු සැණින්ම එය අති දක්ෂ ඉන්ජිනේරු තාක්ෂණයකින් හෙබි පිරිසකගේ නිර්මාණයක් බව පසක් වෙනවා. මෙම භූගත නගරය තට්ටු වශයෙන් පමණක් නොව නිවාස සහ කාමර වශයෙන් පවා වෙන්කොට තිබෙනවා. එතකින් නොනවතින ඔවුන් මෙම ජනාවාසයේ ආහාර ගබඩා, මුළුතැන්ගෙවල්, පාසල්, දේවස්ථාන, වයින් සහ තෙල් කර්මාන්ත ශාලා, ශ්වසනයට අදාළ වායුව ලබා ගැනීමට 15,000ට අධික වායු අගල් සහ භූගත ජනාවාසයේ ජල අවශ්‍යතාව වෙනුවෙන් ළිඳක්, මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු වෙනුවෙන් සුසාන පවා නිර්මාණය කර තිබීමෙන් ඔවුන් ඉන්ජිනේරු තාක්ෂණයට අමතරව ගෘහ නිර්මාණ ශිල්පය සහ භූගර්භ විද්‍යාව පිළිබඳවත් හසළ දැනුමක් සහිත වූවන් බව මනාවට පසක්වනවා. ආරක්ෂාව පිළිබඳව දැඩිව සැලකිලිමත්ව ඇති ඔවුන් විශාල තනි ගල් කුට්ටිවලින් නිර්මාණය කළ ඇතුළත සිට පමණක් චලනය කළ හැකි රෝල ගේට් ආකාරයේ ගල් ‍ෙදාරවල්ද නිර්මාණය කරනවා. මීටර් 55ක් විශාල වාතාශ්‍රය ලැබෙන ආකාරයට සැකසූ ළිඳ මෙම රහස් නගරයේ ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා භාවිත කළත් ඔවුන් තම තාක්‍ෂණික දැනුම මඟින් එයද සාමාන්‍ය ලෝකයට ජලය ලබා ගත නොහැකි ආකාරයට නිර්මාණය කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, පොළොව අභ්‍යන්තරයේ සිටියත් හදිසි අවශ්‍යතාවකදී ක්ෂණික ගැලවීමේ මාර්ගවලින් මතුපිටට පැමිණීමේ හැකියාවත් උදා කර දී තිබෙනවා. නමුත් මේ තරම් දැඩිව ආරක්ෂාව ගැන සිතමින් ඔවුන් මෙසේ සැඟවුණේ කාගෙන්ද යන්න නම් ගැටලුවක්. තාවකාලිකව ඉදිනොකළ බවට බැලූ බැල්මටම තහවුරු වන මෙම ජනාවාසවල මොවුන් දීර්ඝ කාලීනව සැඟවෙන්නේ ඇයි?

ඩෙරින්කූයූ නම් භූගත නගරය


ඩෙරින්කූයූ පොළොව යට නගරය සැබැවින්ම හුදෙකලා වූ නගරයක් නම් නොවෙයි. භූගතව පිහිටියත් එය කැපඩෝසියා කලාපයේම කිලෝමීටර් 09ක් පමණ දුරින් පිහිටි කේමාක්ලී නගරය සහ මෙම කලාපයෙන් සොයා ගෙන ඇති තවත් භූගත නගර 200ට වඩා වැඩි ප්‍රමාණයක් සමඟ පොළොව අභ්‍යන්තරයෙන් දිවෙන උමං මාර්ගවලට සම්බන්ධ වී දැවැන්ත භූගත ජනාවාස ජාලයක් නිර්මාණය කොට තිබෙනවා. ලෝකය පුරාම හමුවුණ ලාලිබේලා (ඉතියෝපියාව), බීජිං භූගත නගරය (චීනය), පෙට්රා (ජෝර්දානය) ආදී මේ ආකාරයේ භූගත ජනාවාසවල කාල නිර්ණය කරන විද්‍යාඥයන් ඒ හැම ජනාවාසයක්ම එකම කාලයකට අයත් බවට සනාථ කර තිබෙනවා. එකම කාලයක ලෝකය පුරා විවිධ ස්ථානවල ජීවත් වුණ ජනතාව මේ ආකාරයට පොළොව අභ්‍යන්තරයේ ජීවත් වීමට තීරණය කළේ කුමන හේතුවක් නිසාද?


ආහාර ගබඩා, ළිං සේම ජනාවාසයේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ගවයන්ද ඇති කර තිබෙන බවට සාධක මෙහි දක්නට ලැබෙනවා. තමන් මෙතරම් විශාල පරිශ්‍රමයක් දරමින් නිර්මාණය කළ ජනාවාසයට ගවයන් ගෙන යෑම පුදුම සහගතයි. වර්තමානයේ පවා නිවෙසට සෑහෙන පමණක දුරින් ඉදිවන ගව ගාල භූගතව ඉදි කළ ජනාවාසයටත් රැගෙන යන්නේ තමන්ගේ ඉන්ජිනේරු දැනුම පිළිබඳව ඔවුන් තුළ පවතින දැඩි විශ්වාසය මත විය හැකියි. ඔවුන්ගේ ඉන්ජිනේරු තාක්ෂණය කෙතරම්ද යත් ගවයන් විසින් නිපදවන දුගඳ සහ විස වායූන් අවම කිරීම සඳහා කටයුතු කරන අතරම ශීත මාස සඳහා ජීවන පරිවාරක උණුසුම් තට්ටුවක් සැපයීම සඳහා එම පශු සම්පත් මතුපිටට ආසන්න ගාල්වල තබන්නත් කටයුතු කර තිබීම විස්මයජනකයි.


තද ගතියෙන් යුක්ත ජලය නොමැති කැපඩෝෂියාවේ පිහිටි පස වැනි පසක භූගත ජනාවාසයක් ඉදිකිරීම එතරම් බැරෑරුම් කටයුත්තක් නොවන බව සැබෑවක් වුවත් කඩා වැටීමට ඇති අවදානම් සහගත බවින් ඉහළ අගයක් ගන්නා ඩෙරින්කූයූවල ඇති මෘදු ලාවා මිශි්‍රත ගිනි ක¾දු පාෂාණයේ භූගත නගරයක් ඉදිකිරීම නම් සැබෑම අභියෝගයක්. එම අභියෝගය දෙගුණ, තෙගුණ වන්නේ මෙය විශාල මහල් ගණනාවකින්, 20,000ට අධික ජනගහනයකින් සේම කර්මාන්තශාලා, සත්ත්ව ගාල් ආදියෙන්ද යුක්ත වන දැවැන්ත නිර්මාණයක් වීම තුළිනුයි. ඔවුන් එම අභියෝගය ජය ගැනීම සඳහා මනා ලෙස ගලින් තැනවූ ආධාරක භාවිත කර තිබෙන අතර වර්තමානයේදී පවා කිසිදු කාමරයක් කඩා නොවැටීම තුළින් ඔවුන්ගේ සාර්ථකත්වය මනාවට පිළිබිඹු වනවා. විද්‍යාඥයන්ට අනුව මෙම නිර්මාණය සිදු කිරීම සඳහා දැනට පවත්නා තාක්ෂණය පවා ප්‍රමාණවත් නොවන බවයි පැවසෙන්නේ. එසේ නම් මීට වසර දහසකට පමණ ප්‍ර්‍රථම වර්තමාන තාක්ෂණයට පවා අභියෝග කරන මෙම නිර්මාණය කළේ කෙසේද? වසර දහසකට පමණ පෙර ජීවත් වූ මොවුන්ට මෙතරම් දියුණු තාක්‍ෂණික දැනුමක් ලැබුණේ කාගෙන්ද?
ඉන්දු – යුරෝපියානු මිනිසුන් විසින් 07 – 08 ශත වර්ෂවලදී ඩෙරින්කූයූ නගරය ඉදිකළ බවට සඳහන් වුවත් එය තවමත් සනාථ කිරීමට හැකියාවක් ලැබී නැහැ. භූගත ව්‍යුහයන් පිළිබඳව දැක්වෙන පැරැණිම ලිඛිත මූලාශ්‍රය ලෙස “සැලකෙන Xenophe” ලේඛනයෙහි කැපඩෝෂියාවේ මිනිසුන් පොළව යට නිවෙස්වල ජීවත් වන බවත් ඔවුන් ඇති කරන සතුන් සහ ආහාර ගබඩා ආදියෙනුත් සමන්විත නවාතැන්වල සුවසේ ජීවත් වන බවත් සඳහන් කර තිබෙනවා.


කෙසේ වෙතත් සොබා සෞන්දර්යයෙන් අනූන පෘථිවිය මතුපිට ජීවත් වීමට හැකියාව තිබියදී මොවුන් පෘථිවි අභ්‍යන්තරයේ ජීවිතයක් තෝරා ගත්තේ ඇයි? ඔවුන්ට කුමන හෝ සතුරු සේනාවක තර්ජනයකට, සීග්‍රයෙන් පැතිර යන වසංගත රෝගයකට මුහුණ දීමට සිදු වුණාද? හේතුව නිශ්චිතවම පැහැදිලි නැතත් මේ සම්බන්ධවත් විවිධ මතයන් ඉදිරිපත්ව තිබෙනවා.
ක්‍රි:ව: 04 වැනි සියවසේ සිට 1923 දක්වා, (Malakopea) ලෙස හැඳින් වූ ඩෙරින්කූයූ නගරය අරාබි – බයිසැන්තියානු යුද්ධවලදී උමයියාද් අරාබි සහ අබ්බාසිඩ් හමුදාවන්ගේ වැටලීම්වලදීත් 14 වැනි සියවසේ තිමූර් ආක්‍රමණයෙන් රැකවරණය ලබා ගැනීමටත් මෙම භූගත නගරය භාවිත කොට තිබෙනවා. පසුකාලීනව නගරය ඔටෝමන්වරුන්ගේ පාලනයට යටත් වීමත් සමඟ මෙය සරණාගතයන් රඳවා තබන ස්ථානයක් ලෙසත් භාවිතයට ගැනුනත් මෙම නගරය ඉදිකිරීමේ අරමුණ නම් තවමත් පැහැදිලි කිරීමේ හැකියාවක් නැහැ.


යුද ගැටුම්වලින් ආරක්ෂා වීම වගේම එකල තුර්කිය තුළ වහල් සේවයට යොදා ගත් ජනතාව සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙන් කොට රඳවා තබා ගැනීම සඳහා මෙම නගරය නිර්මාණය කළ බවටත් මතයක් පවතිනවා. නමුත් මුළු ලෝකය පුරාම එකම කාලයක යුද ගැටුම් ඇති වුණාද ලෝකය පුරාම මෙතරම් වහල් ජනතාවක් සිටියාද යන්න ගැටලුවක්. තවත් මතයකට අනුව මෙය නිර්මාණය කර තිබෙන්නේ ලෝකයටම බලපෑම් එල්ල විය හැකි ස්වාභාවික ව්‍යසනයකින් ආරක්ෂා වීම උදෙසායි. සෝරෝ ඇස්ට්රියානු ආගමික ලේඛන ග්‍රන්ථයක් වන “විනිඩාඩ්” ග්‍රන්ථයේ “අහුරා මස්ඩා” නම් දෙවි කෙනෙක් “යිමා” නම් ශාස්තෘවරයාට මතු එළඹීමට නියමිත අයිස් යුගයකින් ආරක්ෂා වීමට පොළොව යට නගරයක් නිර්මාණය කිරීමට උපදෙස් ලබාදී තිබෙනවා. බොහෝ දේශගුණික විද්‍යාඥයන්ට අනුව අවසාන අයිස් යුගය පැවතී ඇත්තේ මීට වසර 18,000ට පමණ පෙරදීයි. ග්‍රන්ථයට අනුව ඩෙරින්කූයූ ආදී භූගත නගර නිර්මාණය වුණේ අයිස් යුගයකින් ආරක්ෂා වීමටද? එතකොට මේ අහුරා මස්ඩා කියන්නේ කවුද? දෙවි කෙනෙක් ලෙස හැඳින්වූ වෙනත් ලෝකයකින් පැමිණි දියුණු ජීවියෙක්ද? මෙම මතය නිවැරදි නම් අහුරා මස්ඩා එතරම් ඉදිරි අනාගතය දැක්කේ කොහොමද?


දීර්ඝ කාලයක් පුරා භාවිතයට ගත් මෙම අපූරු භූගත නගරය පසු කලකදී අතහැර දැමුණත් අවසන් වරට මෙම ගම්මානයේ මිනිසුන් වාසය කළේ කුමන කාලයේද යන්න නම්  තවමත් තහවුරු කර ගෙන නැහැ. නමුත් ලෝකය පුරා හමුවන මෙම භූගත ජනාවාසවලින් මෝල්ටාවේ හයිබජීම්, ඩෙරින්කූයූ, කේමාක්ලී ආදී ජනාවාස හැරුණු විට අනෙක් සියලු ජනාවාස ස්වාභාවිකව වැසී යනවාටත් වඩා නිශ්චිත කාලයකදී ස්ථිරවම වසා දැමූ බවට සාධක රැසක් හමුවනවා. තුර්කි ඉතිහාසය, පිහිටීම, ඉන්ජිනේරු තාක්‍ෂණික දැනුම පිළිබඳව ගවේෂණය කරන්නන්ට කදිම තෝතැන්නක් වූ මෙම වටිනා ස්ථානය  1969දී සංචාරකයන් සඳහා විවෘත කෙරෙනවා. වර්තමානය වන විටත් තුර්කියට පිවිසෙන ඕනෑම සංචාරකයකුගේ නෙත්සිත් පැහැර ගන්නා මෙම සංචාරක පුරවරය 1985දී යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවටත් එක්වනවා.

ඩෙරින්කූයූ නම් භූගත නගරය


වර්තමානය වනවිටත් නොවිසඳුණු පැනයන් රැසක් ලෝකයා හමුවේ ඉතිරි කළ මෙම ජනාවාස සමූහය කුමන අරමුණකින් යුතුව නිර්මාණය කළාද? තමා සිදු කරන කාර්යය සහ තම අමුද්‍රව්‍ය පිළිබඳ පුළුල් අවබෝධයක් තිබූ මේ විස්මිත නිර්මාණ ශිල්පියා කවුරුන්ද? මිනිසුන් විසින් කළ නිර්මාණයක් බවට සැලකුණත් ඩෙරින්කූයූ නගරයේ මෙහෙයුම් කාර්ය සිදු කළේ මනුෂ්‍ය බුද්ධිය ඉක්මවා ගිය බුද්ධිමත් වෙනත් ජීවීන් කොට්ඨාසයක්ද? වසර දහස් ගණනකට පෙර නිර්මාණය කරන ආරක්ෂිතව පැවති මෙම භූගත ශිෂ්ටාචාරය නිර්මාණය උදෙසා භාවිත කළ තාක්ෂණය පිළිබඳව වර්තමානයේදීත් මවිත වන අපට මෙම අබිරහස් කවදානම් විසඳා ගත හැකි වෙයිද? 

( අධිස්වාභාවික )

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 7
බෙදාගන්න
ඩෙරින්කූයූ නම් භූගත නගරය | Lanka Newsweek