ඩී.එස් සේනානායක නාමයට කළ හැකි ලොකුම ගෞරවය ජනතාව සුරැකිමයි

පාරිභෝගික අධිකාරිය පැය 24 ම ක්‍රියාත්මක විය යුතුයි ගොවියා-පාරිභෝගිකයා දුක් විඳිද්දී අතරමැදියා අති විශාල අයුතු ලාභයක් ලැබීම අසාධාරණයි රජය වහාම ඉදිරිපත් වී මෙම සමාජ අසාධාරණය නැති කළ යුතුයි සිය කණකර පවා…
පාරිභෝගික අධිකාරිය පැය 24 ම ක්‍රියාත්මක විය යුතුයි
ගොවියා-පාරිභෝගිකයා දුක් විඳිද්දී අතරමැදියා අති විශාල අයුතු ලාභයක් ලැබීම අසාධාරණයි
රජය වහාම ඉදිරිපත් වී මෙම සමාජ අසාධාරණය නැති කළ යුතුයි
සිය කණකර පවා උකස් කර වගා කරන ගොවියාත්, කෑම වේල අසීරුවෙන් සපයා ගන්නා පාරිභෝගිකයාත් පීඩා විඳිද්දී අතරමැදියන් අති විශාල ලාභ ගනිමින් ජනතාව ගසා කන ආකාරය දකින විට දැඩි වේදනාවක් දැනෙන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, ශ්‍රී ලංකාභිමාන්‍ය, දේශබන්දු කරු ජයසූරිය මහතා පැවසීය.
දේශබන්දු කරු ජයසූරිය මහතා මේ බව කියා සිටියේ, කොලඹ නිදහස් චතුරශ්‍රයේ දී සිකුරාදා (22) පැවති දිවංගත මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිතුමාගේ 72 වන ගුණ සමරු උළෙලට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
කෙලෙහිගුණ දත් ජනතාවක් වශයෙන් ජාතියේ පියා වන මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිතුමාට උපහාර දැක්වීමට පැමිණි ඔබ සියලු දෙනාම ගෞරවයෙන් සහ ආදරයෙන් යුතුව පිළි ගනු ලබනවා.
දැන්වීම
ලෝකයේ වෙනත් රටවල් නිදහස ලබා ගැනීම සඳහා ලේ හලන විට ජීවිත පූජා කරන විට එදා සිටි බුද්ධිමත් දේශීය නායකයන්ට එක්සත්ව, එක්සිත්ව සමඟි සම්පන්නව ඒ කාර්යය ඉටු කරන්නට හැකි වුණා. සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජාතීන් මුල් අවස්ථාවේ දී බෙදී සිටියත් ඩී එස් සේනානායක ප්‍රධාන ජාතික නායකයින්ට අවසානයේ දී අත්වැල් බැඳ ගෙන නිදහස වෙනුවෙන් නැඟී සිටීමට හැකි වුණා. විවිධ අවස්ථාවල ජාතීන් සහ ආගම් අතර බේද ඇති වීමේ ප්‍රවණතාවය දුටු ඩී එස් සේනානායක මැතිතුමා රටට ලබා දුන් වැදගත්ම පණිවිඩය වුණේ "ශ්‍රී ලංකා අනන්‍යතාවය (Sri Lankan Identity) රැක ගන්නා ලෙසයි.
නිදහසින් වසර 76ක් ගත වී තිබුණත් අපිට තවමත් ජාතියක් වශයෙන් ජාතික සහ ආගමික සමඟිය ඇති කර ගන්නට නොහැකි වී තිබෙනවා. තවමත් අපේ රටේ අනවශ්‍ය ජාති සහ ආගම් භේද ඇති කරමින් පටු අරමුණු වෙනුවෙන් රට ගිණි තැබීමට උත්සාහ කරන පිරිස් සිටිනවා. එහි ප්‍රධාන අරමුණ වන්නේ දේශපාලන බලය ලබා ගැනීමයි. ජාතික, ආගමික සහ දේශපාලන වශයෙන් ඇති වූ ගැටුම් හේතුවෙන් අප බොහෝ ගැහැටවලට මුහුණ දුන්නු ජාතියක් බව කිව යුතුයි. අප රටක්-ජාතියක් වශයෙන් පසු පසට යාමටත් මේ ගැටුම් බලපානු ලැබුවා. මේ රටේ නැවතත් ජාතිවාදී අරගලයක් ඇති වුවහොත්, එම අරගලය ඉතා භයංකර විය හැකියි.
ඩී එස් සේනානායක මැතිතුමාගේ දර්ශනයේ ඉතා වටිනා සැලැස්මක් වූයේ රටේ ඇති විය යුතු ආහාර සුරක්ෂිතභාවයයි. එතුමා කෘෂිකර්මය දියුණු කිරීම පිණිස සිදු කළ අසීමිත කැපවීම සහ ඒ වෙනුවෙන් දුක් විඳි ආකාරය ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. ඕනෑම රටකට ආහාර සුරක්ෂිතභාවය අත්‍යාවශ්‍ය වෙනවා. ලෝක ජනතාව යුධ මානසිකත්වයෙන් පෙළෙන අද වැනි කාලයක මෙම ආහාර සුරක්ෂිත භාවය රැක ගැනීමට ලෝකයේ බලවත් රටවල් ක්‍රියා කරන ආකාරය රහසක් නොවේ.
අපේ පැරණි සංස්කෘතිය, ගොවිතැන සමඟ බද්ධව පවතින නිසා කෘෂිකර්මාන්තය රැක ගැනීම රජයේත්, සමාජයේත්, යුතුකමක් වනවා. ආහාර සුරක්ෂිත භාවය ඇති කිරීම සඳහා රටක් වශයෙන් අපට අවේනික වූ සැළැස්මක් ඇති කර ගත යුතුයි කියලා අපි යෝජනා කරනවා.
අද ගොවියා විවිධ සමාජ ප්‍රශ්න හේතුවෙන් ඉතාමත් අසරණ භාවයට පත්ව තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව වශයෙන් අප දකින්නේ ගොවියාත්, පාරිභෝගිකයාත් අතර තිබෙන අසීමිත මිල පරතරයයි. එම තත්ත්වය දැඩි සමාජ අසාධාරණයක් වශයෙන් අපි දකිනවා. එම අතරමැදි ලාභ පරතරය සමහර විට රුපියල් 100 සහ රුපියල් 150 පමණ දක්වා සිදු වෙනවා.
සිය කණකර පවා උකස් කර වගා කරන ගොවියාත්, තමන්ගේ පවුලේ කෑම වේල අසීරුවෙන් සපයා ගන්නා පාරිභෝගිකයාත්, මෙසේ පීඩා විඳිද්දී අතරමැදියන් අති විශාල අයුතු ලාභ ගනිමින් ජනතාව ගසා කන ආකාරය දකින විට දැඩි වේදනාවක් දැනෙනවා.
නුවරඑළියේ දී රුපියල් 250 ට මිල දී ගන්නා කැරට් කිලෝව කොළඹ දී රුපියල් 2500 ට විකුණන්නේ මෙම කූට ජාවාරම් කරුවන් විසිනුයි. මේ කරුණු කාරණා අපි තේරුම් ගත යුතුයි. කෙසේ හෝ නිවැරදි කළ යුතුයි. සමහර අවස්ථාවලදී මිරිස් කරල රුපියල් 15ක් වෙනවා. ඉස්සර ගෙවත්තක මිරිස් ගහක් නැති වෙන්නේ නැහැ. මිරිස් ගහක් හිටවා ගන්න බැරි ගෙවත්තක් තියනවා කියලා අපි හිතන්නෙ නැහැ. පුරවැසියන් ලෙස මේ කරුණු ගැන අප ලැජ්ජා විය යුතුයි. මේ දේවල් දකින්න ඩී.එස් සේනානායක මැතිතුමා ජීවත්ව සිටියා නම් එතුමාගේ දෑස් කඳුලෙන් තෙත් වනවා නියතයි.
ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් අපටත් ලොකු වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. රටක් වශයෙන් අපි අසාර්ථක වුණේ ඇයි..? පපුවට අත තබා අප මේ කරුණු ගැන අපේම හෘදය සාක්ෂියෙන් විමසා බැලිය යුතු කාලයක් මේ. අප මෙම කරුණු හැම තැනම කියනවා
නිවාඩු වැඩිම රට අපේ ශ්‍රී ලංකාවයි. හැම දේටම නිවාඩු ලැබෙනවා. අඩුවෙන්ම වැඩ කරන රට අපියි. මීට අමතරව රාජ්‍ය සේවය වැඩිම රට ද අපයි. ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියන් 13 දෙනෙකුටම එක් රාජ්‍ය සේවකයෙකු ඉන්නවා. දියුණු රටවල ඉන්නෙ පුරවැසියන් 250 ට එක් රාජ්‍ය සේවකයෙක් විතරයි.
ඉතින් ඔබ සිතා බලන්න..! අපේ රටේ ඒ තරමට පුරවැසියන් වෙනුවෙන් සේවයක් වෙනවද කියලා. අතලොස්සක් සේවය හරියට කරද්දි බොහෝ පිරිසක් නිකරුණේ කාලය ගත කරනවා. වේලාවට වැඩ නොකිරීම තවත් එක කාරණයක්. හරි වෙලාවට හරි දේ කරනව නම් මේ රටට ගොඩක් ඉදිරියට යන්න තිබුණා.
ගොවියා රැක දුන් ඩී එස් සේනානායක මැතිතුමාගේ පිළිරුව අභියස සිට අප ආයාචනය කරන්නේ රජය වහාම ඉදිරිපත් වී මෙම සමාජ අසාධාරණය නැති කරන ලෙසයි. පාරිභෝගික අධිකාරිය පැය 24 ම ක්‍රියාත්මක විය යුතු කාලය පැමිණ තිබෙනවා. අප දැන්වත් ඒ කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබෙනවා.
මේ අවස්ථාවේ දී ඩී එස් සේනානායක නාමයට කළ හැකි වටිනාම ගෞරවය වනුයේ ගොවියා රැක දීමයි. ජාතියට නිදහස ලබා දුන් ශ්‍රේෂ්ඨ පුද්ගලයාගේ පිළිරුව ඉදිරිපිට අපිට ආකල්පමය වෙනසක් ඇති කිරීමට කාලය පැමිණ තිබෙනවා. එසේ නොමැති නම් අප නූපන් පරපුරට කරන්නේ විශාල අසාධාරණයක් බව කිව යුතුයි.
මෙම අවස්ථාවට ආචාර්ය පූජ්‍යපාද බණ්ඩාරවෙල විමලධම්ම හිමිපාණන් වහන්සේ, රුක්මන් සේනානායක මහතා, හටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් විජේවර්ධන මහතා සහ වසන්ත සේනානානයක මහතා, සේනානායක මහතාගේ පවුලේ ඥාතීන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී සිටි අතර මහාචාර්ය කමල් වලේබොඩ මහතා විසින් ආරාධිත දේශනය පවත්වන ලදි.