අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඩඩ්ලි සිරිසේනගේ කතාව සහ 2019 ජනවාරි 8 කඩඉම..!

ඩඩ්ලි සිරිසේනගේ කතාව සහ 2019 ජනවාරි 8 කඩඉම..!

මෛත්‍රී ආයෙමත් පොදු අපේක්ෂකයා ද..? හදිසි ඡන්දය මෛත්‍රීට කොහොම හිටීවි ද ..? හදිසි ජනපතිවරණයකට නොයනවා නම් නිල කාලයෙන් පසු විශ්‍රාම යන්න ජනපතිට සිදු වනු ඇත..! (උපුල් ජෝෂප් ප්‍රනාන්දු) ලබන අඟහරුවාදා 8…

මෛත්‍රී ආයෙමත් පොදු අපේක්ෂකයා ද..?

හදිසි ඡන්දය මෛත්‍රීට කොහොම හිටීවි ද ..?

හදිසි ජනපතිවරණයකට නොයනවා නම් නිල කාලයෙන් පසු විශ්‍රාම යන්න ජනපතිට සිදු වනු ඇත..!

(උපුල් ජෝෂප් ප්‍රනාන්දු)

ලබන අඟහරුවාදා 8 වැනි දින කඩඉම් දිනයකි. ඒ කඩඉම නම් වසර හතරකට පසු මෛත්‍රීපාලට ජන්ධිපතිවරණයක් කැඳවීමට අවස්ථාව හිමි වීමයි. මේ ජනවාරි 8 ට මෛත්‍රී ජනාධිපති වී වසර හතරකි. ජන්ධිපතිවරයෙකුගේ නිල කාලය වසර හතරකට පසු අවසන්වීමත් සමග ජනාධිපතිවරණයකට යෑමේ අවස්ථාව 78 ව්‍යවස්ථාවේ සඳහන් වුවකි. එය 19 වැනි ව්‍යවස්ථා සංශෝදනයෙන් වෙනස් වුයේ  නැත. ඒ කියන්නේ 8 වැනි දිනට පසු ඕනෑම මොහොතක මෛත්‍රීපාලට  ජනාධිපතිවරණයකට යා හැකිය.

හරියටම ජනවාරි 8 කඩඉම් දිනයට දින කිහිපයකට පෙර මෛත්‍රීගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන පළමු වරට ඔහුගේ අරලිය සමාගම් සමුහයේ උත්සවයකදී දේශපාලන කතාවක් කළේය. ඔහු කිවේ ඔහු දන්නා දේශපාලනයට අනුව රට පළාත් කිහිපයකට බෙදන්න යන බවත්, එම සැලසුම පරාජය කරන්න ජීවිතය පූජා කොට හෝ සටන් කළ යුතු බවත්ය. ඒ සඳහා ඔහුත් සමග එක් වන  ලෙස ඔහු ජනතාවට ආරාධනයක් ද කර තිබිණි.

ඩඩ්ලි සිරිසේනගේ මේ කතාව සහ විමල් වීරවංශලාගේ-උදය ගම්ම්මන්පිලලාගේ  මතය අතර අරුම පුදුම සමානකමක් තිබේ. ඔවුන් උදේ හවා කතා කරන්නේත් රට බෙදීම ගැනය. විමල්ලා, උදයලා වගේම ඩඩ්ලිත්  මේ කතාව කරන්නේ නව ව්‍යවස්ථාව ගැන විය යුතුය.

කෙසේ හෝ මේ නව ව්‍යවස්ථාව හරහා ඩඩ්ලි, විමල්, උදයලාගේ නව සන්ධානයක් හැදෙනවාද  කියන්න දන්නේ නැත. මෛත්‍රී ඒ සන්ධානයේ පොදු අපේක්ෂකයාද කියන්න දන්නේත්  නැත. එම පොදු සන්ධානය හැදුනොත් මෛත්‍රී හදිසි ජනාධිපතිවරණයකට යයිද කියන්න දන්නේත්  නැත.

78 ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු හැම ජනාධිපතිවරයෙකුම තම පළමු නිල කාලයේ වසර හතර සම්පූර්ණ වූ පසු හදිසි ජනාධිපතිවරණයකට ගියේ ඉන්න ඉන්න තමන්ට අවාසි නිසාය. ජේ. ආර්. 82 හදිසි ජනාධිපතිවරණයකට ගියේ කාරණා දෙකක් නිසාය. එකක් නම් ලෝක ආරථික අර්බුදයක් එන ලකුණු පෙනුණ නිසා එයින් රටේ ආර්ථිකයට පහර වැදුනොත් නිල කාලය අවසානයේ ජනාධිපතිවරණයකට යෑම අවධානම් සහගත නිසාය. අනෙක එවකට විපක්ෂය වූ ශ්‍රීලනිපයේ බෙදීමය. කල් යන්න යන්න බෙදීම් සමථයකට පත්වනු ඇතැයි  ජේ. ආර්. ගණන් හැදිය.

චන්ද්‍රිකා  1999 හදිසි ජනාධිපතිවරණයකට ගියේ එක වැලට යුධ මෙහෙයුම් පරාජය වූ නිසා ඉන්න ඉන්න අවාසි බව දැන ගෙනය. ඇය 1999 පළාත් සභා ඡන්දය දිනා යූ.ඇන් . පී යෙන් කොටසක් කඩා ගෙන ජනධිපතිවරණයට ගියේ පළාත් සභා ජය පළුදු වෙන්න පෙරදීය.

මහින්දත් 2010 යේ හදිසි ජනාධිපතිවරණයකට ගියේ යුධ ජයග්‍රහණය ජනතාවට අමතක වෙයි කියන බයටය. 2015  ඔහු හදිසි ජනාධිපතිවරණයකට ගියේ චීන ණය ගෙවන්න පටන් ගත් විට ජනතාවට පාන් කියා ගන්න බැරි වෙන බව දැන ගෙනය. මත්තල ගුවන් තොටුපොල, වරාය ඇතුළු චීන ව්‍යාපෘති සඳහා ගත් ණයවල පොලිය ගෙවීමට දී තිබූ සහන කාලය නිම විය යුතුව තිබුණේ 2015 දිය.  මහින්ද ඊට කලින් ඡන්දයට ගියේය. මහින්ද කලින් ඡන්දයට ගිහින් ඉල්ලා ගෙන කෑවා කියා මහින්දට කිවත් කලින් ඡන්දයකට නොගියා නම් වෙන්නේ රාජපක්ෂලාට පාරේ බැහැලා යන්න බැරි වෙන යුගයක්ය. මිනිස්සු රාජපක්ෂලාගේ  නමටත් කෙළ ගහන යුගයක්ය. මහින්ද පැරදිලා මහින්ද සුළඟින් නැගිට්ටේ චීන ණය ගෙවන පාපය “මෛත්‍රී-රනිල්” ගේ ආණ්ඩුවට භාර ගන්න සිදු වූ නිසාය. එහෙම බලන කොට හදිසි ජනාධිපතිවරණයකට  යෑම මෙතෙක් කිසිදු ජනාධිපතිවරයෙක්ට වැරදි නැත.

“ හදිසි ඡන්දය මෛත්‍රීට කොහොමට හිටි ද..?

මෛත්‍රී යළි ජනාධිපතිවරණයකට යන්න හිතනවා නම් යා යුතු වේලාව මේකය. මෛත්‍රී නිල කාලය අවසන් වන තෙක් හිටියොත් මෛත්‍රීට ශ්‍රීලනිප නායකත්වයත් අහිමි විය හැකිය. පොහොට්ටුවෙන් අලුත් අපේක්ෂකයෙක් මතු විය හැකිය. මහින්දව අගමැති කොට මෛත්‍රී මහින්දවාදීන් වෙනුවෙන් කළ සේවය මහින්දවාදීන්ට අමතක විය හැකිය. විධායක බලය දුර්වල විය හැකිය. ඒත් මෛත්‍රීට දිනන්න පුලුවන්ද..?

ප්‍රශ්නය තියෙන්නේ එතනය. හැබැයි මෛත්‍රීට දිනන්න හෝ පරදින්න දේශපාලන සුදුවක් සඳහා යළි ජනාධිපතිවරණයකට යන්න ඕනෑ නම් යන්න තියෙන එකම අවස්ථාව මේකය. අනාගතයේ මෛත්‍රීට ජනාධිපති අපේක්ෂකත්වයක් ගැන හිතන්න අමාරුය. ඔහු මේ මොහොතේ  ජනාධිපතිවරණයකට නොයනවා නම් නිල කාලය අවසන් කොට විශ්‍රාම යන්න හිත හදා ගත යුතුය.

ඩඩ්ලි සිරිසේනගේ කතාව සහ 2019 ජනවාරි 8 කඩඉම..!

 -ගුරුදා විග්‍රහය-

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
ඩඩ්ලි සිරිසේනගේ කතාව සහ 2019 ජනවාරි 8 කඩඉම..! | Lanka Newsweek