ජොනීගේ නින්දිත ක්‍රියා කලාපය කරූ තරයේ හෙළා දකියි

කතා නායකට ලිඛිතව කරුණු දක්වයි චරිත ඝාතනය පහත් සහ නින්දිත ක්‍රියාවක් "යහ පාලන රජයේ අවශ්‍යතාවයට මන්ත්‍රීන් අත්අඩංගුවට ගන්න ඉඩ දුන්නේ නැහැ" (නිලන්ති මානෙල්) කතා නායකවරයා වශයෙන් තමාගේ නිල කාලයේ දී…
කතා නායකට ලිඛිතව කරුණු දක්වයි
චරිත ඝාතනය පහත් සහ නින්දිත ක්‍රියාවක්
"යහ පාලන රජයේ අවශ්‍යතාවයට මන්ත්‍රීන් අත්අඩංගුවට ගන්න ඉඩ දුන්නේ නැහැ"
(නිලන්ති මානෙල්)
කතා නායකවරයා වශයෙන් තමාගේ නිල කාලයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම යහ පාලන රජයේ අවශ්‍යතාවයට අනුව සිදු වූ බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී නිතර එල්ල කරන අභූත, අසත්‍ය, පදනම් විරහිත සහ නින්දිත චෝදනා තරයේ හෙළා දකින බව හිටපු කතා නායක දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.
දේශබන්දු කරු ජයසූරිය මහතා මේ බව අවධාරණය කර සිටින්නේ වත්මන් පාර්ලිමේන්තුවේ කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් වන අතර එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.
නව පාර්ලිමේන්තුව ආරම්භ කළ දා සිටම හිටපු කතා නායක වශයෙන් මාගේ කාලයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීන් අත්අඩංගුවට ගැනීම රජයට ඕනෑ ආකාරයකට සිදු වූ බවට ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා විසින් නිරන්තර චෝදනා නගයි.
මට පිළිතුරු ලබා දීමට අවස්ථාවක් නොමැති නිසාත් මෙම චෝදනා සම්පූර්ණයෙන් අසාධාරණ සහ ගෙතූ කරුණු නිසාත්, රාජකාරිය හෘදය සාක්ෂියට එකඟව ඉටු කළ බවට මා විශ්වාස කරන නිසාත් සත්‍යය තත්ත්වය ඔබතුමාගේ කාරුණික දැන ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට තීරණය කළෙමි.
2015 වසරේදී කතා නායක පුටුවේ වාඩි වූ දින සිට නව කතා නායකවරයකු පත් වන තුරු කිසිම අවස්ථාවක කිසිම මන්ත්‍රීවරයෙකු අයුතු ලෙස අත්අඩංගුවට ගැනීමට මා විසින් ඉඩ දුන්නේ නැත. එක් අවස්ථාවකදී ගරු චම්පික රණවක ඇමතිතුමාගේ නිවසට එවැනි දැන්වීමකින් තොරව ඇතුළු වී එතුමා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී නීත්‍යානුකූල ක්‍රමවේදය නිම කරන තුරු අත්අඩංගුවට ගැනීම වැලක් වීමට කටයුතු කළෙමි.
ශ්‍රී ලංකා රජයේ වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා මට පුටුවලින් පහර දෙද්දී එම සිද්ධීන් මෛත්‍රියෙන් අමතක කළෙමි. ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා රිමාන්ඩ් භාරයේ සිටියදී එතුමාට මුහුණ දීමට සිදුවූ ගැටලු මා විසින් පෞද්ගලිකවම විසඳා දුන්නෙමි. මා මෙම කරුණු ඔබතුමාගේ කාරුණික අවධානයට යොමු කරන්නේ දේශපාලනයේදී චරිත ඝාතනය ඉතා පහත් සහ නින්දිත ක්‍රියාවක් බව පෙන්වා දීමටයි.