අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“ජොන් කිව්වේ මං ගැන නෙමෙයි..රන්ජන් ගැන..”

“ජොන් කිව්වේ මං ගැන නෙමෙයි..රන්ජන් ගැන..”

“මම කිව්වේ අජිත් ගැන තමයි..ඒක අනිත් අයටත් අදාළයි..” (සුජිත් මංගල ද සිල්වා) “ජෝන්ගෙන් අජිත්ට කණේ පහරක්” යන ශීර්ෂය යටතේ “ lankanewsweek ” ඊයේ (27) පළ කළ වාර්තාව සියයට සියයක් අසත්‍ය බව විදුලි බල සහ…

“මම කිව්වේ අජිත් ගැන තමයි..ඒක අනිත් අයටත් අදාළයි..”

“ජොන් කිව්වේ මං ගැන නෙමෙයි..රන්ජන් ගැන..”

 

(සුජිත් මංගල ද සිල්වා)

“ජෝන්ගෙන් අජිත්ට කණේ පහරක්” යන ශීර්ෂය යටතේ “lankanewsweek” ඊයේ (27)  පළ කළ වාර්තාව සියයට සියයක් අසත්‍ය බව විදුලි බල සහ පුනර්ජනනීය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කර සිටියි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් “සිරිකොත” එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී පෙරේදා (26) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සංචාරක අමාත්‍ය ජොන් අමරතුංග මහතා කළ කතාවේදී සිය නම කිසිම අවස්ථාවක සඳහන් නොකළ බව ද ඔහු පෙන්වා දෙයි.

දැන්වීම

සංචාරක අමාත්‍ය ජොන් අමරතුංග මහතා සිය කතාවෙන් ඉලක්ක කළේ තමා නොව සමෘද්ධි සහ සමාජ සවි බල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා බව පෙන්වා දුන් අජිත් පී පෙරේරා මහතා ඔහු එම කතාවේදී තමා නායකත්වය ලබා දෙන බණ්ඩාරගම ආසනය ගැන කිසිවක් සඳහන් නොකළ බව ද අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ජොන් අමරතුංග මහතාගෙන්  “lankanewsweek” කළ විමසීමේදී ඔහු සඳහන් කළේ තමා ඒ කතාව කළේ අජිත් පී පෙරේරා මහතා ඉලක්ක කර ගෙන බවය.

ඒ කතාව අජිත් පී පෙරේරා මහතාට පමණක් නොව සිය ආසනයවත් දිනා ගැනීමට අසමත්ව සිටියදී එක්සත් ජාතික පක්ෂයේ නායකයා සහ ජ්‍යෙෂ්ඨයින් එළවා දැමිය යුතු යැයි කියමින් විනය සහ නීති විරෝධීව පක්ෂයෙන් එළියේ ජනමාධ්‍ය අල්ලා ගෙන කුමන්ත්‍රණය කරන සියලුම තරුණ දේශපාලන නායකයින්ට අදාළ යැයි ද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තමා පැවැත් වූ කතාව සම්බන්ධයෙන් “lankanewsweek” කළ වාර්තාව තහවුරු කරමින් සංචාරක අමාත්‍ය ජොන් අමරතුංග මහතා යළිත් මෙසේ ද කීය.

“එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඇතුළු  ජ්‍යෙෂ්ඨයින් සියලු දෙනා එළවා දැමිය යුතු යැයි අජිත් පී පෙරේරා මහතා ජනමාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ කියා තිබුණා. සිය ආසනවත් දිනා ගැනීමට නොහැකි අජිත් පී පෙරේරා මහතා ඇතුළු  තරුණ නායකයින් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඇතුළු ජෙෂ්ඨයින් එළවා දැමීමටකතා කිරීම කණගාටුදායකයි. ඔව්…අපි ජ්‍යෙෂ්ඨයින් තමයි.1977 සිට මේ දක්වාම අපි එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දර දිය අදිමින් ඇපකැප වී ක්‍රියා කරනවා.

ඒ වගේම ජෙෂ්ඨයින් ලෙස අප සෑම මැතිවරණයකදීම අපේ ආසන එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අප ජයග්‍රහණය කරවා දී තිබෙනවා.මේ ජෙෂ්ඨයින් නොමැති නම් එක්සත් ජාතික පක්ෂයකුත් ජයග්‍රහණයකුත් අපට ඇත්තේ නැහැ.

නමුත් මේ අපේ අජිත් පී පෙරේරා මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නායකයා සහ ජෙෂ්ඨයින් එළවා දැමිය යුතු යැයි කියන සමහර තරුණ මහත්වරුන් ඒ අයගේ අසනවත් දිනා දී තිබෙනවා ද ? නැහැ..! අජිත් පී පෙරේරා නායකත්වය ලබා දෙන බණ්ඩාරගම ආසනය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් පළාත් පාලන මැතිවරණයේදීත් අන්ත ලෙස පරාදයි.

ඒ අනුව මේ අය කියන ආකාරයට සිය ආසන සෑම විටම දිනන, නායකයා ඇතුළු ජෙෂ්ඨයින් එළවා ආසන පරාජයට පත් වන තරුණ මහත්වරුන් පමණක් තියා ගත්තාම එක්සත් ජාතික පක්ෂයට දේශපාලන අනාගතයක් තිබේවිද?

ඒක නිසා මේ අජිත් පී පෙරේරා ඇතුළු අයට අප කියා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා සහ ජෙෂ්ඨයින් එළවා දැමීම ගැන කතා කිරීමට පෙර සිය ආසනවලට නිසි නායකත්වය දී එම ආසන දිනවා දිය යුතු බවයි.

එක්සත් ජාතික පක්ෂයේ විනය,සම්ප්‍රදාය, නීතිය සහ ඉතිහාසයමේ තරුණ මහත්වරුන්  දන්නේ නැහැ.ජේ ආර් ජයවර්ධන මහතාගේ කාලයේ කවුරුන් හෝ මෙසේ පක්ෂයත්,නායකයාත්,ජෙෂ්ඨයින්වත් ප්‍රසිද්ධියේ විවේචනය කළොත් පසුදාම ඒ අය පක්ෂයෙන් නෙරපා හැර මන්ත්‍රීකමද අහෝසි කෙරෙනවා.

එම නිසා එක්සත් ජාතික පක්ෂයත්,නායකයාත්,ජෙෂ්ඨයින්වත් විවේචනය කරන මේ අයට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අප ඉල්ලා සිටිනවා.සිය අදහස්,යෝජනා,චෝදනා සහ විවේචන ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ස්ථානයක් සහ පිළිවෙළක් තිබෙන බවවත් මේ තරුණ නීතීඥ මහතා ඇතුළු සමහරුන්  නොදැන සිටීම කණගාටුදායකයි”

මේ සම්බන්ධයෙන් සමෘද්ධි සහ සමාජ සවි බල ගැන්වීම් අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ අදහස විමසා සිටීම සඳහා “lankanewsweek”  ඔහුගේ ජංගම දුරකතනයට තුන් වතාවක් ඇමතුම් ලබා දුන්න ද ඔහු දුරකතනයට සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
“ජොන් කිව්වේ මං ගැන නෙමෙයි..රන්ජන් ගැන..” | Lanka Newsweek