අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජාති වාදය-ආගම් වාදය අපේ පරම්පරාවෙන් ඉදිරියට නොදෙමු

ජාති වාදය-ආගම් වාදය අපේ පරම්පරාවෙන් ඉදිරියට නොදෙමු

ජාතිවාදය සහ ආගම්වාදය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් අත්පත් කර ගෙන ඇති සහ අත්පත් කර ගනිමින් සිටින විනාශය රටක් වශයෙන් අප මැනවින් තේරුම් ගත යුතුව ඇතැයි ප්‍රකාශ කරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ…

ජාතිවාදය සහ ආගම්වාදය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් අත්පත් කර ගෙන ඇති සහ අත්පත් කර ගනිමින් සිටින විනාශය රටක් වශයෙන් අප මැනවින් තේරුම් ගත යුතුව ඇතැයි ප්‍රකාශ කරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති සහ ශ්‍රී ලංකාභිමාන්‍ය දේශබන්දු කරු ජයසූරිය මහතා අද අප හමුවේ ඇති අභියෝග ජය ගැනීම සඳහා තහවුරු කර ගත යුතුව ඇති පළමු කරුණා අතර ජාතික සමගිය ඉතා වැදගත් බව සඳහන් කරයි.

කරු ජයසූරිය මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ, "යහපත් රටක් උදෙසා ගත යුතු මග කුමක්ද" යන තේමාව යටතේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මඟින් පුත්තලම ඉසුරු ශාලාවේ දි සංවිධානය කෙරුණු සම්මන්ත්‍රණයක දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 

මම පළමුවෙන්ම අවධාරණය කළ යුතු කරුණක් තිබෙනවා. ඒ තමයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ සංවිධානයක් නොවෙයි. අප සම්පූර්ණයෙන්ම ස්වාධීන සංවිධානයක්. ඒ වගේම අපේ ප්‍රධාන පරමාර්ථය තමයි මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීම සහ විශේෂයෙන්ම ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමයි.

දැන්වීම

පූජ්‍ය මාදුළුවාවේ සෝහිත ස්වාමීන් වහන්සේ සමග අප  එක් වුණේ විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම සඳහායි. ඇත්තෙන්ම අප පෙනී සිටින්නේ සහ ක්‍රියාත්මක වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පමණයි. එම අරමුණ ඉටු වන ඕනෑම අවස්ථාවක අපි මේ කටයුතු අවසන් කරනවා.

මාදුළුවාවේ සෝහිත හිමියෝ නිසා තමයි අපේ රාජ්‍ය පාලනයේ යම්කිසි වෙනසක් සිදු වු‌ණේ. එදා, 2015 දී උන්වහන්සේ කළ ඉල්ලීම තමයි, අපිට මේ රටේ සාධාරණ සමාජයක් බිහි කිරීම සඳහා දින 100ක ජන වරමක් ලබා දෙන්න කියන එක. උන්වහන්සේ දින 100ක ජන වරමකින් අපේක්ෂා කළේ දින 100කට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට ගොස් 2/3ක බලයක් ලබා ගෙන ව්‍යවස්ථාව සංශෝධනය කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටයි. අපේක්ෂා කළ පරිදි ජන වරමක් ලැබුණත් දින 100ක දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

මාදුළුවාවේ සෝහිත හිමියෝ අපවත් වීමෙන් පසුව අපි මේ ව්‍යාපාරයට නායකත්වය දෙන්න පියවර ගත්තා. ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරවා ගැනීමට සහ මේ අවස්ථාවේ රටට අත්‍යවශ්‍ය ජාතික සහ ආගමික සමගිය වෙනුවෙන් අපි කටයුතු කරනවා. රට පුරා විවිධ වැඩසටහන් සහ සම්මන්ත්‍රණ සංවිධානය කරමින් ජනතාව දැනුවත් කරනවා.

පසුගිය 75 වසරක ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට අපි විවිධ අභියෝග සහ දුෂ්කරතාවලට මුහුණ දී තිබෙනවා. හමුදා කුමන්ත්‍රණ දෙකකට අපි මුහුණ දුන්නා. දකුණේ සන්නද්ධ අරගල දෙකකට සහ බෙදුම්වාදී යුද්ධයකට අපි මුහුණ දුන්නා. ජාතිවාදී අරගල දෙකකට මුහුණ දුන්නා. මේ ආකාරයෙන් විවිධ අභියෝග රැසකට අපි නිදහස දිනාගත් දා සිට මුහුණ දී තිබෙනවා. ඒ නිසා අපි නැවත මෙවැනි දේවල් සිදු නොවීමට පියවර ගත යුතුයි. මේ අරමුණ නිසා අපි මාසිකව රටේ විවිධ ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කරනවා. අපි මෙම වැඩසටහන්වලදී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ "අපි එක්වෙමු" කියලයි.

අපි අද දකිනවා ජාතිවාදය සහ ආගම්වාදය නිසා ලෝකයේ ජනතාව මොන තරම් දුක් කරදරවලට මුහුණ දෙනවාද කියලා. ජාතිවාදය සහ ආගම්වාදය කරපින්නා ගෙන ගොස් දියුණු වුණ රටක් ලෝකයේ නැහැ.

මෙහිදී වැදගත් කරුණක් ඉදිරිපත් වුණා. 2018 දී අපට අවස්ථාව ලැබුණා ජාතික සමගිය වෙනුවෙන් දියවන්නා ප්‍රකාශනය එළිදැක්වීමට. එම ප්‍රකාශනයට වත්මන් ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු යහපාලන සමයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම දේශපාලන පක්ෂවල සහාය හිමි වුණා. දියවන්නා ප්‍රකාශනය මගින් අපි ඉල්ලා සිටියා සියලුම පාසල්වල දැනට අධ්‍යාපනය ලබන සිසුන්ගේ ජාතිකත්වයෙන් බාහිරව වෙනත් ජාතීන්ට අයත් දරුවන් 20%ක් ඇතුළත් කළ යුතුයි කියලා. නමුත් අවාසනාවන්ත ලෙස මෙම වැඩ පිළිවෙළ ආණ්ඩු මාරුව නිසා ක්‍රියාත්මක කළ නොහැකි වුණා.

අපි විශ්වාස කරන ආකාරයට ජාතික සහ ආගමික සමගිය පාසලෙන් ආරම්භ විය යුතුයි. අපි දන්නවා දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදය ඇති වුණේ සුදු හමට එක පාසලක් - කලු හමට තවත් පාසලක් ආදි වශයෙන් බෙදා පාලනය කළ නිසයි. කණගාටුවට කරුණ නම් අදත් ශ්‍රී ලංකාවේ ජාති සහ ආගම් වශයෙන් බෙදා වෙන් කළ පාසල් තිබෙනවා. අපි මීට කලකට පෙර බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කතෝලික ආගමික නායකයින් සමග මේ ගැන සාකච්ඡා කර තිබෙනවා. ජාතික සමගිය ඇති කළ හැකි හොඳම ස්ථානය තමයි පාසල. අපේ වැඩිහිටි පරපුර අතර ජාතිවාදය සහ ආගම්වාදය තුරන් කළ නොහැකි වුණත් පාසල් අධ්‍යාපනය ඔස්සේ අනාගත පරම්පරාවන් අතරින් ජාතිවාදය සහ ආගම්වාදය තුරන් කර දැමිය හැකියි.

නිදහසට පෙර උපන් පුද්ගලයෝ වන අපි සියලු ජාතීන්ට සහ ආගම්වලට අයත් මිතුරන් සමග පාසල් විය ගත කළා. අපි මහත් බලාපොරොත්තුවෙන් අනාගතයට මුහුණ දුන්නා. රට වර්තමානයේ මුහුණ දී සිටින අර්බුද ඇති වුණේ ජාතිවාදය සහ ආගම්වාදය නිසා බව මම තදින්ම විශ්වාස කරනවා.

මම පසුගිය කාලය පුරා බලයේ සිටි සියලුම ජනතාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ අපේ පරම්පරාව මුහුණ දුන් මේ ජාතිවාදය සහ ආගම්වාදය අනාගත පරම්පරාවට යා නොදී අපේම පරම්පරාවෙන් අවසන් කරමු කියලා. ඩයස්පෝරාව සමග පවතින ගැටුම අවසන් කරමු කියලා. ඉදිරි මැතිවරණයට පෙර උතුර - දකුණ අතර පවතින අසමගිය අවසන් කරමු කියලා මම යෝජනා කළා. ජාති - ආගම්වාදය අවසන් කළොත් බොහොම කෙටි කලක දී අපේ රටට දියුණු වෙන්න පුළුවන් බව අප සියලු දෙනා වටහා ගත යුතුයි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
ජාති වාදය-ආගම් වාදය අපේ පරම්පරාවෙන් ඉදිරියට නොදෙමු | Lanka Newsweek