අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජාතිවාදයට එරෙහිව ජනතාව පෙරට ආ යුතුයි

ජාතිවාදයට එරෙහිව ජනතාව පෙරට ආ යුතුයි

ආණ්ඩුව සිය බලය වෙනුවෙන් ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සනවා ජාතිවාදය යොදා ගෙන බලයට පැමිණි ආණ්ඩුව සහ එය නියෝජනය කරන විවිධ පාර්ශ්වයන් නැවත ජාතිවාදී සහ ආගම්වාදී බෙදීම් සම්බන්ධ ප්‍රකාශ සිදුකරමින් සිටින අතර…

ආණ්ඩුව සිය බලය වෙනුවෙන් ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සනවා

ජාතිවාදය යොදා ගෙන බලයට පැමිණි ආණ්ඩුව සහ එය නියෝජනය කරන විවිධ පාර්ශ්වයන් නැවත ජාතිවාදී සහ ආගම්වාදී බෙදීම් සම්බන්ධ ප්‍රකාශ සිදුකරමින් සිටින අතර  තමන්ගේ බල ව්‍යාපෘති වෙනුවෙන් ජාතිවාදය පැතිරවීමට තිත තැබීම වෙනුවෙන් ජනතාව පෙරට ආ යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසුවේ බදාදා(06) කොළඹ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී වන අතර එහිදී තව දුරටත් අදහස් දක්වමින් ඇය මෙසේ ද පැවසුවාය.

වර්ගවාදී දේශපාලන ප්‍රවේශයක් නැවත මතුවෙමින් තිබෙන අවස්ථාවක ජාතික ජන බලවේගයේ අදහස දැක්වීම වැදගත් වෙනවා. මහාචාර්ය ජී.එල්.පීරිස් ඇමතිවරයා ඉංග්‍රීසි භාෂාවෙන් ඉතා ප්‍රබුද්ධ කතාවක් හතරවැනිදා පාර්ලිමේන්තුවේදී කළා.

දැන්වීම

ලංකාවේ පවතින විවිධත්වයෙන් යුතු සමාජය ගැන, ඒ මතින් ජාතික අනන්‍යතාවයක් ගොඩනැගීම ගැන කතා කළා. සාමය සහ  සංහිඳියාව වෙනුවෙන් කැපවී කටයුතු කරන බව  ප්‍රකාශ කරමින් සිවිල් සමාජයටත්  එම කර්තව්‍ය වෙනුවෙන් ආණ්ඩුවත් සමග එක්වන ලෙස ආරාධනා කළා.

නමුත් මේ කතාව කරන්නේ  කාටද කියලා ප්‍රශ්නයක් අපිට ඇතිවුණා. ඔහු නියෝජනය කරන්නේ මොන පක්‍ෂයද කියලත් ප්‍රශ්නයක් ඇති වුණා. ඊට හේතුව ආණ්ඩුව සහ එය නියෝජනය කරන විවිධ පාර්ශ්වයන් නැවත ජාතිවාදී සහ ආගම්වාදී බෙදීම් සම්බන්ධ ප්‍රකාශ සිදුකරමින් සිටීමයි.

බල ව්‍යාපෘති සඳහා ඉතිහාසයෙන් බලය ගත් සියලුම දෙනා ජාතිවාදය යොදාගත් බව දන්නවා. ජාතිවාදය ඉතාමත් තදින් පාවිච්චි කර බලය ගත් ව්‍යාපාරයක් දැන් ආණ්ඩුව බවට පත්වී සිටිනවා. යුද්ධයෙන් පසුව පාස්කු ප්‍රහාරයෙන් ඇතිවුණු සමාජ කැළඹීම තමන්ගේ බල ව්‍යාපෘතිය වෙනුවෙන් යොදා ගත්තා. එය වඩා හොඳින් වර්ධනය කර ගැනීමට විවිධ කණ්ඩායම් දියත්කර තිබුණා. 

පාස්කු ප්‍රහාරයෙන් පස්සේ කාදිනල්තුමාගේ මැදිහත්වීමෙන්  ප්‍රහාරයට ලක්වුණු ප්‍රජාව සංහිඳියාව ලබාගැනීමට කටයුතු කළා. එම  ක්‍රියාමාර්ග  අපි  සියලු දෙනාම අගය  කරනවා. වින්දිතයන්ට  සාධාරණත්වය ඉටු කිරීමට කැපවිය  යුතුයි කියන ස්ථාවරයේ සිට එතුමා කටයුතු  කළා.

මේ වෙලාවේ නැවත සාධාරණත්වය වෙනුවෙන් කාදිනල්තුමා සහ තවත් පිරිස් කතා කරන අවස්ථාවේ ඉතාමත්ම පහත් ප්‍රහාරයන් එල්ල කරන බව අපි දකිනවා. කතෝලික ප්‍රජාව වගේම මුස්ලිම් ප්‍රජාවත්  ඉලක්ක කර ටික කාලයක් නිශ්ශබ්දව හිටපු පුද්ගලයන් නැවත කරළියට ඇවිත් පහර දෙනවා.

පාස්කු ප්‍රහාරය ගැන යම්කිසි හෝ ප්‍රකාශයක් කිරීම, ආණ්ඩුව විවේචනය කිරීම සම්බන්ධයෙන් සී.අයි.ඩී. එක ඉතාමත්ම ඉක්මනින් මැදිහත් වෙන ආකාරය අපි දැක්කා. නමුත් ඉතාමත්ම ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන පුද්ගලයන් ඔවුන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මාධ්‍යවලින්  කරන ප්‍රකාශ සම්බන්ධයෙන් කිසිම විමර්ශනයක් කරන්නේ නැහැ.

නමුත් ජාතිවාදය හෝ පාස්කු ප්‍රහාරයට කිසිම සම්බන්ධයක් නැති ගුරුවරුන්ගේ අරගලයේදී ත්‍රස්තවාදීන් හා සමාන ආකාරයෙන් ප්‍රතිචාර දක්වන බව සරත් වීරසේකර ඇමතිවරයා කියා තිබෙනවා. පොලිස් අණදීම් අනුව ක්‍රියාත්මක වන්නේ නැතිනම් දණහිසින් පහළට වෙඩි තැබීමේදී හිසට වෙඩි වැදුනත් අදාළ පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින  බව මේ ඇමතිවරයා කියා තිබෙනවා. 

ජාතිවාදී අදහස් ආණ්ඩු පාර්ශ්වයෙන් ප්‍රකාශ වෙන්නේ තමන්ව විවේචනය කරන පිරිස් දඩයම් කරන්න කියලා අපි හොඳටම දන්නවා. මේ වෙලාවේ ආණ්ඩුව බැරෑරුම් ප්‍රශ්න රාශියකට මුහුණ දෙමින් පිළිතුරු නැතිව ඉන්නවා. ජනතාවගේ මූලික ප්‍රශ්න, ජාත්‍යන්තර සම්බන්ධතා, ආර්ථිකය වැනි ප්‍රශ්නවලදී ආණ්ඩුව ඉතා ඉක්මනින් ජනතාවගේ අප්‍රසාදයට පත්වෙලා ඉන්නේ.

මේ තුළ ආණ්ඩුව පරණ සෙල්ලම පටන් ගෙන කියලා ඉතාමත්ම පැහැදිලියි. මේ අවස්ථාවේ ජනතාව ආණ්ඩුවේ ජාතිවාදී කැත සෙල්ලමට අහුවෙන්නේ නැහැ කියලා අපි හිතනවා. ඒ වගේම ජාතික ජන බලවේගය හැටියට මෙවැනි පහත් ක්‍රියාවන් හෙළා දකිනවා. අපි ජනතාවත් එක්ක සංවාදයක් ගොඩනගන්නේ ඉතිහාසය පුරාම තමන්ගේ බල ව්‍යාපෘති වෙනුවෙන් ජාතිවාදය පතුරුවන තත්වයට තිත තියන්න ඕනෑ.

එය කළ හැක්කේ ජනතාවටයි. මේ පිටුපස තිබෙන  අරමුණු ගැන ඉතාම අවබෝධයෙන් ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිනවා. රට විශාල ප්‍රශ්න ප්‍රමාණයකට මුහුණ දී සිටින වෙලාවේ ජනතාව බෙදෙනවා වෙනුවට එකතු වෙන්න ඕනෑ. අපිව ජාතිවාදී ලෙස බෙදන්න ක්‍රියා කරන අය අතර ඉතාම හොඳ සම්බන්ධතා තිබෙනවා. මේ නිසා මේ රටේ තිබෙන ඇත්ත ප්‍රශ්නවලට මුහුණ දීමට අපි සියලු දෙනාම එක්වන ලෙස ආරාධනා කරනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
ජාතිවාදයට එරෙහිව ජනතාව පෙරට ආ යුතුයි | Lanka Newsweek