අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ජාතිය අමතා දුන් පොරොන්දුව වහාම ඉටු කරනු

ජාතිය අමතා දුන් පොරොන්දුව වහාම ඉටු කරනු

කරූ ජනපතිට බල කරයි රට බේරා ගැනීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක්සත් විය යුතුයි 2022 මැයි මස 11 වැනිදා ජාතිය අමතමින් රටට-ජනතාවට ලබා දුන් ප්‍රතිඥාව නොපමාව යථාර්ථයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…

කරූ ජනපතිට බල කරයි 

රට බේරා ගැනීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක්සත් විය යුතුයි 

ජාතිය අමතා දුන් පොරොන්දුව වහාම ඉටු කරනු

2022 මැයි මස 11 වැනිදා ජාතිය අමතමින් රටට-ජනතාවට ලබා දුන් ප්‍රතිඥාව නොපමාව යථාර්ථයක් බවට පත් කිරීමට  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එසේ නොවුණ හොත් රටේ මේ වන විට උද්ගත වී තිබෙන තත්ත්වයට වඩා ඉතා දරුණු සහ අනතුරුදායක තත්ත්වයක් ඇති වනු ඇති බවට අනතුරු අඟවා සිටින කරු ජයසූරිය මහතා  අත්වීමට යන ඒ බිහිසුණු ව්‍යසනයෙන් රට බේරාගැනීම සඳහා සියලු දේශපාලන බලවේග එක්සත් විය යුතු යැයි ද අවධාරණය කර සිටියි.

දැන්වීම

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් වරට ජාතිය අමතමින් රටට ඉතාමත්ම වැදගත් වූ ප්‍රතිඥාවක් ලබාදී තවමත් දෙපෝයක් හෝ ගතවී නැත. ඉතාමත්ම මෑත කාලයකදී එතුමා රට හමුවේ ලබා දුන් එකී පොරොන්දු යථාර්තයක් බවට පත් නොකරන බව අද වන විට පවතින ක්‍රියාකාරීක්වයන් අනුව පැහැදිලි වෙමින් පවතියි. 

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කරමින් ආණ්ඩුව අපේක්ෂා කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ මේ රටේ සිවිල් සමාජ බලවේගයන් සේම දේශපාලන පක්ෂ ඉල්ලා සිටින සමාජ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ අතර පවතින පැහැදිලි දුරස්ථභාවය මගින් ඒ බව ඉතා පැහැදිලිය.

ඒ අනුව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය ප්‍රථමයෙන්ම ගරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, 2022 මැයි මස 11 වන දින ජාතිය අමතමින් රටට ලබාදුන් ප්‍රතිඥාව නොපමාව යථාර්තයක් කරන ලෙසටය. එමෙන්ම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව ආණ්ඩුව ප්‍රදර්ශනය කරමින් සිටින අරමුණ සහ රටේ පොදු අපේක්ෂාවන් අතර දක්නට ඇති පරතරය සැලකීමේදී අපට ඒ පිළිබදව සාධාරණ විශ්වාසයක් තබා ගත නොහැකි බවද එතුමා වෙත වගකීමකින් යුක්තව දැනුම් දෙන්නෙමු.

එබැවින් මේ රටේ අනාගත සුබසෙත උදෙසා පෙනී සිටින වගකීමක් ඇති සංවිධානයක් ලෙස ශ්‍රී ලංකාව තුළ අත්‍යවශයෙන්ම කළ යුතුව ඇති දේශපාලන, ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ උදෙසා වන අපගේ අපේක්ෂාවන් සේම ඒ තුළ ගත යුතුව ඇති ක්‍රියාමාර්ග අත්හැර දැමීමට අප කිසිසේත්ම සූදානම් නොමැති බව අවධාරණය කරන අතරම අප මේ මොහොතේ රටේ සියලුම දේශපාලන පක්ෂ සහ නායකයන්ගෙන් සේම සිවිල් සමාජ ව්‍යාපාරයන්ගෙන් ඉල්ලා සිටින්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව පැවැති මූලික අන්තර්ගතය යළි බලාත්මක කර ගැනීම සදහා ඒකාබද්ධව පෙනී සිටින ලෙසටය.

ඊට අමතරව රටේ උද්ගතව ඇති දැවැන්ත දේශපාලන සහ ආර්ථික අර්බුදයට නොපමාව පිළියම් යෙදීමේ අතිශය බරපතළ වගකීම කෙරෙහිද අප බලවත් ලෙස අවධානය යොමු කරන්නෙමු. ඒ සදහා කඩිනම් ප්‍රායෝගික දේශපාලන වෙනසකට මේ රට යොමු නොකළ හොත් ඇති විය හැකි බිහිසුණු සහ ඛේදනීය තත්ත්වයන් පිළිබදව ද රටේ සියලුම දේශපාලන බලවේගයන් වෙත අනතුරු අඟවන්නෙමු.

රජය සහ මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ ඒවායේ නායකත්වයන් එහිදී සිය වගකීම නිවැරදිව හදුනා ගනිමින් එම වගකීම් නොපමාව ඉටු කිරිමට යම් හෙයකින් හෝ අපොහොසත් වුව හොත් රටේ මේ වන විට පවතින අවාසනාවන්ත තත්ත්වයට වඩා බිහිසුණු සහ ඛේදනීය තත්ත්වයකට ඇද වැටිය හැකි අතර එවැනි තත්ත්වයකට රට යොමු කළ හොත් එහි වගකීම ඒ සියල්ලන් වෙතම පැවරෙන බවද අවධාරණය කරන්නෙමු.

ඒ අනුව මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහ මහ ජන නියෝජිතයන්ගෙන් අප අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටින්නේ ජනතාව මුහුණ දෙන ආර්ථික අර්බුදයට මේ මොහොතේ ගත යුතුව ඇති මූලික විසදුම් ලබා දිම සදහාත් රටේ අනාගත යහ පැවැත්ම සහතික කරනු උදෙසාත් දේශීය සහ ජාත්‍යන්තර ප්‍රජාවන්හි විශ්වාසය දිනා ගත හැකි වන ආකාරයට වහාම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන ලෙසටය. එහිදී අති පූජ්‍ය මහා නායක ස්වාමීන් වහන්සේලා මේ වන විට අවස්ථා දෙකකදීම ඉදිරිපත් කර ඇති යෝජනාවන්ට අපගේ පූර්ණ අනුකූලතාවය දක්වන අතරම ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ සිවිල් සමාජ සංවිධාන ද ඇතුළු විද්වත් වෘත්තික සංවිධාන ගනණාවක් විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ඒ සඳහා පදනම් කර ගන්නා ලෙසද ඉල්ලා සිටින්නෙමු.

අප ද ඉතාමත් දැඩි ලෙස විශ්වාස කරන ආකාරයට එකී සර්ව පාක්ෂික ආණ්ඩුවේ වගකීම් කාල පරාසය උපරිම ලෙස වසරකට හෝ වසර එකහාමාරක් වැනි කෙටි කාල පරිච්ජේදයකට සීමා විය යුතුව තිබේ. ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය සහ ආධාර පදනම් කර ගනිමින් රට මුහුණ දී ඇති දැවැන්ත ආර්ථික අර්බුදයට කෙටි කාලීන විසඳුමක් ලබා ගැනීම එහි මුඛ්‍ය අරමුණ විය යුතුව ඇති අතර රටේ යහ පැවැත්ම උදෙසා සම්පූර්ණ කළ යුතුව ඇති දේශපාලන ප්‍රතිසංස්කරණ උදෙසා මූලික පියවර ගැනීම එහි ද්විතීය අරමුණ විය යුතුය. 

එවැනි නිශ්චිත සහ සීමා සහිත වගකීමක් පමණක් එකී සර්ව පාක්ෂික ආණ්ඩුව වෙත පවරා දිය යුතු අතර එහි අවසාන ප්‍රතිඵලය විය යුත්තේ වසරක් හෝ වසර එකහමාරක් වැනි කාලයක් ඇතුළත පාර්ලිමේන්තු මහා මැතිවරණයක් පවත්වා රටට ස්ථාවර නව රජයක් පිහිටුවා ගැනීම සඳහා අවස්ථාව සලසා දීමය. ඊට පෙර රටට අවශ්‍ය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උදෙසා පාර්ලිමේන්තුවේ නිසි අනුමැතිය ලබා ගනිමින් මහ මැතිවරණයට සමගාමීව අවශ්‍ය වන්නේ නම් ජනමත විචාරණයක් කැඳවීම ද එකී සර්ව පාක්ෂික ආණ්ඩුව වෙත පැවරිය යුතුව ඇති වගකීම වන්නේය.

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය උදෙසා මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ ව්‍යාපාරය නියෝජනය කරන පිරිසකින්ද සමන්විත නියෝජිත පිරිසක් නම් කර ගනිමින් නොපමාවම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර පැහැදිලි එකඟත්වයකට පැමිණිය යුතුව ඇති අතර එකී එකඟත්වය දින 10ක් හෝ ඊට පෙර ඇති කර ගත යුතුව තිබේ.

මේ පිළිබඳව කඩිනමින් සහ බලවත් උනන්දුවකින් යුතුව මැදිහත් වෙමින් රටට ඉදිරියේදී අත්විය හැකි අති බිහිසුණු ව්‍යසනයෙන් රටත් ජනතාවත් මුදා ගැනීම උදෙසා කටයුතු කරන ලෙස අප මේ රටේ සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින අතර ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සහ ආශිර්වාදය ලබා දෙමින් පෙරට එන ලෙස අති පූජ්‍ය මහා නායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් ද, කතෝලික, ක්‍රිස්තියානි, හින්දු සහ ඉස්ලාම් සියලුම ආගමික නායකත්වයෙන් ද සිවිල් සහ දේශපාලන ව්‍යාපාරයන්ගෙන් ද බැගෑපත්ව ඉල්ලා සිටින්නෙමු.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න